ක්‍රිකට් පිටියට ත්‍රිකුණාමලයෙන් පෑයූ තරු යුවළ

සැප්තැම්බර් 4, 2023

ක්‍රිකට් සුපිරි පැළැන්තියේ ක්‍රීඩාවක් වී තිබූ යුගයක් විය. ඒ අවදියේදී ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසියේ දිවයිනේ ජනප්‍රිය පාසල්වල දරු දැරියන් විතරය. පාසල් කිහිපයකට සීමා වූ ඒ පාසල්වලින් බිහිවන ක්‍රීඩකයකු හැරෙන්නට ගමේ දරුවෙකුට ජාතික තලයට ප්‍රවේශවීමට අවස්ථාවක් ගැන කිසි දිනක අසන්නට නොලැබුණි. සැහැල්ලු පන්දුවකින් කොයි තරම් දස්කම් දැක්වුවත් ලෙදර් පන්දුවකට අත තබන්නට ඔවුන්ට වාසනාව නොවීය.

ඒ දුෂ්කර වූ අතීතය පසුකරමින් අද ගමේ පාසල්වලට ද ක්‍රිකට් ක්‍රීඩාව ළඟා වී තිබීම වාසනාවකි. මේ වනවිට ඈත ගම් දනව්වල දුෂ්කර පාසල්වලින් ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිවීම විශාල භාග්‍යයකි. බොහෝ විට අපේ රටේ දක්ෂයන් බිහි වූයේ ගමේ පාසලෙනි. තාක්ෂණය හා පහසුකම් අවමවීම හමුවේ ගමේ පාසල් කරා ක්‍රිකට් ක්‍රීඩාව ළඟාවීම ප්‍රමාද වුව ද මේ වනවිට එය ඉතා වේගයෙන් වෙනස්වෙමින් පවතී.

එයට කදිම සාක්ෂියක් සපයමින් පසුගිය දා ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් සංචිතයට ත්‍රිකුණාමලයේ පාසල් දැරිවියන් දෙදෙනකු තෝරා ගැනීම සුවිශේෂි සිද්ධියකි. මෙලෙසින් තෝරා ගත් පාසල් සිසුවියන් අතුරින් එක් දැරිවියක් ත්‍රිකුණාමලයේ සිංහල මහ විද්‍යාලයේ පාසල් සිසුවියකි. විමොක්ෂා බාලසූරිය නම් ඇය කුඩා වයසේදීම දස්කම් දැක්වීම අනාතගය පිළිබඳ සුබ නිමිති ඵල කරයි. ඇය සමඟ මෙම සංචිතයට තෝරාගත් අනෙක් ක්‍රීඩිකාව වන්නේ කන්තලේ අධ්‍යාපන කොට්ඨාසයේ කන්තලේ රජ ඇළ විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මිතලි අයෝධ්‍යා බණ්ඩාරනායක දියණිය. මේ ක්‍රීඩිකාවන් දෙදෙනාම 2025 වසරේදී පැවැත්වෙන යොවුන් කුසලතා තරඟාවලිය වෙනුවෙන් සූදානම්. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් අවුරුදු 19 න් පහළ මූලික සංචිතය සඳහා තේරී පත් වී තිබේ.

මේ ක්‍රීඩිකාවන් දෙදෙනා මෙලෙසින් මෙම සංචිතයට තෝරා ගැනීමට හේතු වී ඇත්තේ ඔවුන් පසුගිය කාලයේ පැවැති අන්තර් දිස්ත්‍රික් තරඟයන්හිදී හොඳින් දස්කම් දැක්වීමයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් මේ වසරේ පැවැත් වූ වයස අවුරුදු 23 පහළ කාන්තා ක්‍රිකට් අන්තර් දිස්ත්‍රික් තරඟාවලියේදී තරග පහෙන් තරග තුනක් ජයග්‍රහණය කරමින් ත්‍රිකුණාමල දිස්ත්‍රික් කණ්ඩායම ජයග්‍රහණය කරවීමට මේ දැරිවියන් දෙදෙනාගේ දක්ෂතාවය ඉවහල් වී තිබේ.

දකුණතින් මද වේග පන්දු යවන විමෝක්ෂා බාලසූරිය 23න් පහළ කාන්තා ක්‍රිකට් අන්තර් දිස්ත්‍රික් තරඟාවලියේදී අඩුම වයසින් ලකුණු අතරට පිවිසි දක්ෂ ක්‍රීඩිකාවකි. ඇය එම තරඟ පහේදීම ලකුණු 121ක් ලබාගනිමින් කැපී පෙනෙන දස්කම් දැක් වූ ක්‍රීඩිකාවක් බවට පත්විය. මෙවැනි අඩු වයස් ප්‍රමාණයකින් ඇය දැක් වූ දක්ෂතාවය 30.25කි. මිනාලි අයෝධ්‍යා බණ්ඩාර සැහැල්ලු පන්දු ක්‍රීඩාවෙන් ක්‍රිකට් පිටියට පිවිසි දක්ෂ වේග පන්දු යවන ක්‍රීඩිකාවකි. ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමය සංවිධානය කළ ටේප් බෝල් තරඟාවලියේ දැක් වූ දක්ෂතාවය මත ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ක්‍රිකට් සංචිතයට ඇය තෝරාගෙන තිබේ. මිනෝලි හෙල්ල විසි කිරීමේ පාසල් ශූරතා රැසක් දිනාගත් ක්‍රීඩිකාවකි. ඇය එම ක්‍රීඩාවට දැක් වූ දක්ෂතාවය නිසාම වේග පන්දු යැවීමට සුවිශේෂි දක්ෂතාවක් පෙන්වයි. එසේම ඇයගේ පන්දු යවන ඉරියව්ව ද ක්‍රීඩා ලෝලින්ගේ සිත් ඇද ගැනීමට සමත්ව තිබේ. ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්ව පෙන්වන ඇය මේ වනවිට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩා සංචිතයේ පන්දු යවන ක්‍රීඩිකාවන් අතර කැපී පෙනෙන ක්‍රීඩිකාවක් බවට පත් වී තිබේ.

මේ දැරිවියන් දෙදෙනාගේ දක්ෂතාව පිළිබඳ අදහස් දක්වමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ක්‍රීඩා පුහුණුකරු ප්‍රගීත් චානක මහතා සඳහන් කළේ මෙලෙසිනි. “මේ ක්‍රීඩිකාවන් දෙදෙනා අපගේ දිස්ත්‍රික් කණ්ඩායමට හමුවුණු වටිනාම සම්පතක්. ඇත්තට පසුගියදා පවත්වනු ලැබූ අන්තර් දිස්ත්‍රික් තරගාවලිය ජයග්‍රහණය සඳහා මේ ක්‍රීඩිකාවන් දෙදෙනාම විශාල දායකත්වයක් ලබා දුන්නා. මේ දෙදෙනාම පන්දු යැවීමේදී හා පන්දුවට පහරදීමේදී හොඳින් ක්‍රීඩා කරනවා. මිනෝලි අයෝධ්‍යා දැරිවිය තවම අවුරුදු 14ක ලාබාල ක්‍රීඩිකාවක්. නමුත් ඇය උපරිම දස්කම් දක්වනවා. මම හිතන්නේ මේ ක්‍රීඩිකාවන් දෙදෙනාම තව අවුරුදු 2 -3 ක් තුළ ජාතික සංචිතයට ක්‍රීඩා කිරීමට තරම් හැකියාවක් තිබෙනවා. මේ වගේ දුෂ්කරතා මැද මේ ක්‍රීඩිකාවන් දෙදෙනා දැක් වූ දක්ෂතාවය අප අගය කළ යුතුයි. අපට ලෙදර් ක්‍රීඩා කිරීම සඳහා ත්‍රිකුණාමලයේ ක්‍රීඩා පිටියක්වත් නැහැ. පුහුණුවීම් කටයුතු කරන්නේ පොළොන්නරුවේ ක්‍රීඩා පිටියක. මේ වගේ දුෂ්කරතා රැසක් මැද මේ තරම් දස්කම් පෙන්වමින් මේ දරුවන් ආ ගමන හරිම දුෂ්කරයි. ඒ වෙනුවෙන් ඔවුන්ට පුහුණුවීම් කළ ඩබ් ඒ. සී. වික්‍රමසිංහ හා තරිඳු දිසානායක දෙදෙනාගේ කැපවීම අගය කළ යුතුමයි. ඒ වගේම අපගේ පළාත් පුහුණුකරු නිලන්ත විමලවීම මහතා දක්වන සහයෝගයත් ඉතාම වටිනවා.”