නොනිවී දැල්වෙන ගුරුතරුව ඔබයි....

ජනවාරි 22, 2020

ලොවක් සනසන කලාකරුවකු වන්නට නම් පෙර පින්කර තිබිය යුතුය. ඒ කලාත්මක හැකියාවන් දුර්ලභ වනවා සේම එවැනි හැකියාවකින් සිදු කළ හැකි සමාජ මෙහෙවර ද පුළුල් වන බැවිනි. කලාකරුවකු වූ පමණින් ම මිනිස් හදවත් දිනා ගැනීමට ද නොහැකි ය.

එසේ ජන හදවත් දිනා ගත් සොඳුරු කලා කරුවකු වීමට කොතරම් නම් පින් කඳක් විය යුතු දැයි මොහොතකට සිතන්න.

ඔහු එවැනි වූ ජනහද දිනූ කලාකරුවෙකි. මහා පින් කඳකි. ජයලත් මනෝරත්න ලෙස නාමකරණය වුවද කලාවේදී විවිධ වූ ඉසව් ස්පර්ශ කරමින් විවිධ වූ චරිත ඔස්සේ සහෘද සිත් සන්තර්පණය කළ අපූර්ව වූ කලාකරුවෙකි. නළුවෙකු, ගේය පද රචකයකු, නාට්‍ය අධ්‍යක්ෂවරයකු, පිටපත් රචකයකු, ගායකයකු, ගුරුවරයකු, කවියකු, ලේඛකයකු යන භූමිකා කිහිපයක ම දක්ෂතා දැක්වූවෙකි.

නළුවෙකු ලෙස මනෝරත්නයන් වේදිකා නාට්‍ය, රූපවාහිනිය, සිනමාව යන සෑම ක්ෂේත්‍රයක ම තම සතර අභිනයන්ගෙන් පෙළහර පෑමට සමත් විය. ඔහුගේ නළුකමේ විශේෂත්වය වන්නේ ශෛලිගත සම්ප්‍රදායේ නාට්‍යවල මෙන්ම ස්වාභාවික නාට්‍යවල ද එක සේ රඟපෑමට ඇති සමත්කමයි. මනමේ, සිංහබාහු, සොක්‍රටීස්, තලමල පිපිලා, අන්දරේලා, ගුරු තරුව, රතු හැට්ටකාරී, ද්විත්ව, නරි බෑනා ආදී වේදිකා නාට්‍ය බොහෝ ගණනක ඔහු තම සමත්කම් විදහා පෑවේ ය.

ඇතැම් නළු නිළියන් එක් සීමාවකට කොටු වී පුංචි තිරය ප්‍රතික්ෂේප කරන විට පවා ඔහු තමාගේ රංගන කෞෂල්‍ය විදහා පෑමට කුමන කලා මාධ්‍යයක් වුව සෑහේ යැයි වදනින් නොපවසා ක්‍රියාවෙන් ම ඔප්පු කළේය. දූ දරුවෝ, ගම්පෙරළිය, ගංගා සහ නිශ්ශංක, සරදියෙල්, රම්‍ය සුරම්‍ය ගල් පිළිමය සහ බොල් පිළිමය, සකිසඳ එළියස්, සඳ අමාවකයි, හිරුට මුවාවෙන් වැනි ටෙලි නාට්‍යවල මෙන්ම කුඩා දරුවන් වෙනුවෙන් නිමැවූ හත්පණ, සිංදුයි බිංදුයි වැනි නාට්‍යවල ද සාර්ථකව චරිත මැවීය. ප්‍රහසන නාට්‍යවල පවා ඉතා අනර්ඝ ලෙස රඟපෑමට ඔහු සතු දක්ෂතාව නිසා ම විවිධාකාර ඉසව් ස්පර්ශවන චරිතවලින් ඔහු සහෘද සිත් පිනවීමට සමත් විය.

තිලක හා තිලකා, සිරිබෝ අයියා, හඳයා වැනි චිත්‍රපටවල සිට මංගල තෑග්ග, ස්ත්‍රී, සිසිල ගිනි ගනී, සුදු කළු සහ අළු, සූරිය අරණ, හිරිපොද වැස්ස, ප්‍රවේගය, හෝ ගානා පොකුණ, ඒ ලෙවල්, වෛෂ්ණාවී, ගෝල්, තාල යන චිත්‍රපට දක්වාම තම විවිධ වූ චරිත නිරූපණයෙන් තම රංගන පරාසය විදහා දැක්වීය. මේ කුමන මාධ්‍යයක වුවද ඉතා සාර්ථක ලෙස තම රංගනයෙන් නිර්මාණවලට සාධාරණය ඉටු කිරීමට ඔහු සමත් විය.

මනෝරත්නයන්ගේ රංගනය ගැන රවීන්ද්‍ර රන්දෙණිය ප්‍රවීණ රංගධරයා පවසන්නේ, 'මට දැනෙන්නේ මනෝට වේදිකාව, රූපවාහිනිය, සිනමාව කියන මාධ්‍ය තුනම මාළුවකුට වතුර වගේ එක හා සමානයි. මොකද අපි දකිනවා වේදිකාවේ අති දක්ෂ සමහරු සිනමාවට ගියාම වතුරෙන් ගොඩදාපු මාළුවා වගේ.. අපි හැමදාම මේ මාධ්‍ය තුනෙන් ම මනෝව දකිනවා. ඒත් අපි ජයලත් මනෝරත්න දකින්නේ නෑ දකින්නේ ඔහුගේ භූමිකාවයි..'

නළුවකු ලෙස මෙන්ම පිටපත් රචකයකු ලෙසද ඔහු සම්මානයට පාත්‍ර වූවෙකි. ඒ සියල්ලට ම වඩා මනෝරත්නයන් ජනතා සම්මානයෙන් පිදුම් ලැබූවෙකි.

ඔහු තම බාල පරපුරට අධ්‍යාපනය ලබා දෙමින් හා නිරන්තරයෙන් ගුරුහරුකම් දෙමින් නියම ගුරුවරයකුගේ භූමිකාව ද සැබෑ ලොව තුළ ජීවමාන කළේය. ආචාර්ය උපාධි දෙකක් තිබූ කලාකරුවකු වුවද ආචාර්ය ජයලත් මනෝරත්නයන් නිහතමානී කමින් පිරිපුන් ය.

ඡායා - නිශ්ශංක විජේරත්න

2020/01/22 තරුණි බලන්න