කාන්තා ඔබ වෙනුවෙන් ම වනිතා ලෝකයේ සුන්දරත්වය කියන ලොව සුපතළ සඟරා

ඔක්තෝබර් 10, 2022

'තරුණී' ලාංකේය කාන්තා ඔබ වෙනුවෙන් ඇති පුවත්පතකි. එහි ඔබේ දැනුම වර්ධනය කරන්නට අවැසි බොහෝ දේ අන්තර්ගතයි.

රුව, ඇඳුම් විලාසිතා, ඔබේ සහ පවුලේ සෞඛ්‍යය, කෑම බීම, පාවහන්, අත් බෑග්, ආභරණ, හිසකෙස් විලාසිතා, සාමාන්‍ය දැනීම, ස්වයං රැකියා මාර්ග, ක්‍රීඩා, නැටුම්, සංගීත, සිනමා තතු, මැහුම්, ගෙතුම් හා අත්කම් ආදී බොහෝ විශේෂාංග එහි අන්තර්ගතයි. තරුණී සතිපතා නිකුත් වන පුවත්පතකි.

මේ බොහෝ දේවල් අන්තර්ගත කර මුළු ලෝකයේම ඉන්න කාන්තාවන් වෙනුවෙන් මුද්‍රණය කරන කාන්තා සඟරා බොහොමයක් තියෙනවා.

සමහර විට මේවා මේ ඉහතින් කියූ එක් දෙයක් හෝ කිහිපයක් වෙනුවෙන් ම මුද්‍රණය කරනවා. ඒ වගේම මේවා නිකුත් කරන්නේ මාසිකවයි.

මේ සඟරා මුද්‍රණයෙන් නිකුත් කරනවා වගේම තරුණී ඊ පුවත්පත මෙන් ඩිජිටල් සඟරා ද ප්‍රකාශයට පත් කරනවා.

 

දහසකට වැඩියි

ලෝකය පුරා ජනප්‍රිය වූ කාන්තා සඟරා තියෙනවා ද? ඒ මොනවා ද? ඒවා මුද්‍රණය කරන්නේ කවුද? කොහොමද? ආදී ලෙස විවිධ කරුණු කාරණා ලාංකේය කාන්තා ඔබත් දැන සිටිය යුතුමයි.

 

වෝග්, එලේ, හාපර්ස් බසාර්, මාරි ක්ලෙයාර්, L'officiel, වැනිටි ෆෙයාර්, කොස්මොපොලිටන්, ග්‍රේසියා, ඉන් ස්ටයිල්, ෆස්ට් ෆෝ ව්මෙන්, ගුඩ් හවුස්කීපිං, ග්ලැමර්, ඇලුරෙ, විමෙන්, විමෙන්ස් හෙල්ත්, විමෙන්ස් වර්ල්ඩ්, ෆෙමිනා, විමෙන්ස් එරා, ෂේප් මැගසින්, නිව් බියුටි ආදී සඟරා බොහෝය.

 

වසරකට ලෝකය කාන්තාවන් වෙනුවෙන් සඟරා දහසකට වැඩි ප්‍රමාණයක් නිකුත් කරයි. ඉහතින් සඳහන් කළේ එසේ නිකුත් වන සඟරාවලින් බොහෝ ජනප්‍රිය කිහිපයකි. මේ බොහොමයක් සඟරා අමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය හා ඉතාලිය මුල් කරගෙන මුද්‍රණය කරන ඒවාය. මේ සඟරා බොහෝ රටවල තම රටේ ප්‍රධාන භාෂාවෙන් මුද්‍රණය කරයි. එලේ, වෝග්, හාපර්ස් බසාර්, L'Officiel, ආදී සඟරා තායි, චීන, අරාබි, කොරියන් ආදී භාෂාවන්ගෙන් එම රටවල දී මුද්‍රණය කෙරේ. ඉන්දියාව නම් බොහෝ සඟරා මුද්‍රණය කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි. ප්‍රංශ හා ඉතාලි භාෂාවෙන් මුද්‍රණය වන සඟරා ද බොහෝය.

 

වැඩියෙන්ම ජනප්‍රිය

Elle රාජ්‍යයන් 60 කට අධික ප්‍රමාණයක භාෂා 46 කින් මුද්‍රණය වේ. මෙය ප්‍රංශ සඟරාවකි. එය ලොව විශාලතම විලාසිතා සඟරාව ලෙසින් සැලකෙන අතර එයට මිලියන 69 කට අධික පාඨක පිරිසක් ඇත. Elle යන්නේ තේරුම 'ඇය' වේ. වෝග් සඟරාව අමෙරිකානු සඟරාවක් වන අතර එය දැනට අන්තර්ජාතිකව රාජ්‍ය 26ක මුද්‍රණය වේ. හාපර්'ස් බසාර් යනු අමෙරිකන් සඟරාවකි.

මෙය රටවල් 36 ක මුද්‍රණය කරයි. L'Officiel ප්‍රංශ සඟරාවක් වන අතර එය දැනට රාජ්‍යයන් 24ක් නිකුත් කරයි.

 

අරමුණු

මේ සඟරා විවිධ අරමුණු මුල්කර ගෙන මුද්‍රණය කරන අතර ඒවා බොහොමයක මූලික අංගය වන්නේ විලාසිතා වේ. සෞඛ්‍යය, ගෘහ අලංකරණය, ජීවන රටා, ඉවුම් පිහුම් ආදී අංශ නියෝජනය කරන සඟරා ද ඒ අතර වේ. වෝග්, හාපර්ස් බසාර්, L'officiel ආදී සඟරාවල ප්‍රධානතම අරමුණ විලාසිතාය.

 

විලාසිතා යනු ඇඳුම් පමණක් නොවේ. ආභරණ, පාවහන්, අත් බෑග්, රූපලාවණ්‍ය, හිසකෙස් විලාසිතා ආදිය ද ඒවාට ඇතුළත්ය. ලොව බොහොමයක් ජනප්‍රිය විලාසිතා සති ද පැවැත්වෙන්නේ මේ සඟරා මුල්කර ගනිමිනි. විලාසිතා හැරුණු විට ජීවන රටාවන්, සිනමාව හා සංගීතය ආදී විනෝදාස්වාදය හා සෞඛ්‍යය මේ සඟරාවල මූලිකම අරමුණුය.

 

ගුඩ් හවුස්කීපිං

ගේ දොර අලංකාරය හා කෑම බීම වෙනුවෙන් ප්‍රසිද්ධ ය.

අපේ අසල්වැසියා, ඉන්දියාව ඔවුන්ට ම ආවේණික රටාවකට ෆෙමිනා හා විමෙන්ස් එරා යන සඟරා දෙක ප්‍රකාශයට පත්කරයි. වෝග්- ඉන්දියා, හාපර්ස් බසාර්- ඉන්දියා, එලේ ඉන්දියා, ග්‍රේසියා-ඉන්දියා, නිව් විමෙන්, ආදී සඟරා 18ක් පමණ ඉංග්‍රීසි බසින් ප්‍රකාශයට පත්කරයි.

මේ සඟරාවලින් කාන්තාව ඉලක්ක කරගෙන කරන නිෂ්පාදන ලොවට හඳුන්වා දෙයි.

 

කවර හා සිහින

එසේම මේ සුපිරි සඟරාවක කවරය හැඩකිරීමට බොහෝ නිරූපිකාවෝ සිහින දකියි. ඒ සිහින දකින්නියන් අතර ප්‍රකට මෝස්තර නිරූපිකාවන් මෙන්ම හොලිවුඩ්, බොලිවුඩ්, කොරියන්, තායි, චීන ආදී නිළියන් ෙවයි. නමුත් බොහෝවිට එම වාසනාව හිමි වන්නේ නම් අතළොස්සක් වූ ප්‍රමාණයකට පමණි.

 

මේ බොහොමයක් සඟරා පිරිමි පාර්ශ්වය වෙනුවෙන් වෙනමම මුද්‍රණය කරන බව ද ඔබ දැන සිටිය යුතුයි. අතීතයේ දී මේ සඟරා අපේ රටේ දී දැකගත හැකි විය. දැනුදු ඔබට ඒවා අවශ්‍ය නම් ඔන්ලයින් ක්‍රමයට මිල දී ගත හැකියි. අපේ රටේ මේ සඟරා බොහෝ විට ගෙන්වන්නේ විලාසිතා නිර්මාණකරුවන් හා එම ක්ෂේත්‍රය හා සම්බන්ධ අයයි.

 

තොරතුරු අන්තර්ජාලයෙනි