ලෝකයටම අපේ නැටුම ගෙන ගිය භාග්‍යවන්තිය

-භාග්‍යා-
පෙබරවාරි 27, 2023

 

 

මගේ දුවයි පුතයි දෙන්නම කුසේ ඉඳන්ම නැටුම් කලාව හැදෑරුවා කියලයි මට හිතෙන්නේ. මොකද මම ඒ දෙන්නා කුසේ තියාගෙනත් පුහුණුවීම් සිදු කළා. ඊට පස්සේ ඇවිදින්න පුළුවන් වුණු දා ඉඳලම එයාලා මාත් එක්ක නර්තනයේ යෙදුණා.

දේශීය නර්තන කලාව විදෙස් රටක දී බබළවන්නට වෙහෙසෙන්නී ඕ භාග්‍යා පලිහවඩන. ඇය පමණක් නොව ඇයගේ දයාබර පුතණුවන් සහ දියණිය ද මවගේ අඩි පාරේ හරි අපූරුවට ඇවිදයමින් මේ වනවිට නර්තන කලාවේ විශිෂ්ටත්වය විදහාපාති. එපමණක් නොව පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි "සිව් සඳ රූ" නර්තන ප්‍රසංගය සංවිධානය කරමින් ඔවුන් බොහෝ දෙනාගේ පැසසුමට පාත්‍ර වූවාය.

 

අකිල පලිපාන නර්තන ආචාර්යවරයාගේ " ස්වර්ණ යාත්‍රා " නර්තන ප්‍රසංගය උදෙසා පසුගිය දා මෙරටට පැමිණි මේ අපූරු කලාකාමි පවුල සමඟ සුහද පිළිසඳරක යෙදෙන්නට අපට අවස්ථාව ලැබුණි.

අද විදෙස්ගතව නර්තන කලාවේ නවමු ඉසව් සොයා යන්නට පෙර ඔබ අපේ රටේ හිටපු දක්ෂ නර්තන ගුරුවරියක්.

 

" ඔව්. තල්පාවිල මධ්‍ය මහා විද්‍යාලය, ශාන්ත තෝමස් බාලිකා විද්‍යාලය වාගේම මොරටුව වේල්ස් කුමාරි විද්‍යාලයේත් නැටුම් ආචාර්යවරිය විදිහට මම සේවය කළා. විවාහයත් සමඟ විදෙස්ගත වූ නිසයි මට ගුරු වෘත්තියෙන් සමුගැනීමට සිදු වුණේ. "

 

ඒක ලේසි පහසු තීරණයක් නෙවෙයි නේද ?

 

" සත්තකින්ම. මොකද පුංචි පැටවු පිරිවරාගෙන හිටපු මට මේ ගෝලයෝ ටික දාලා ගිහින් හිත හදාගෙන ඉන්න බැරි වුණා. ඒ නිසාම තමයි ඕස්ට්‍රේලියාවේ දී නැටුම් පන්තියක් පටන් ගන්න මාව පෙළඹුණේ. දරුවන් හතකගෙන් ආරම්භ කළ ඒ නර්තන ඇකඩමියේ දැන් බොහෝ සිසු පිරිසක් නර්තන කලාව හදාරනවා."

 

ඔස්ට්‍රේලියාවේදී වසරක් පාසා ඔබ නර්තන ප්‍රසංගයක් පවත්වනවා.

 

" 2003 වසරේ සිඩ්නිවලදි පැවැති අපේ පළමු ප්‍රසංගය තමයි ' සත්සර රංගන'. ඊට පසුව සෑම වසර දෙකකට වරක්ම අපි ප්‍රසංගයක් පවත්වනවා. කොරෝනා වසංගතයක් එක්ක ලෝකයම අඩපණ වුණු නිසා වසර හතරකට පස්සෙ තමා පසුගිය වසර අවසානයේ ප්‍රසංගය පැවැත්වූයේ."

 

ඔබේ පුතණුවන් සහ දියණියත් ඔබ වාගේම දක්ෂ නර්තන ශිල්පීන්.

 

" ඇත්තටම කිව්වොත් මගේ දුවයි පුතයි දෙන්නම කුසේ ඉඳන්ම නැටුම් කලාව හැදෑරුවා කියලයි මට හිතෙන්නේ. මොකද මම ඒ දෙන්නා කුසේ තියාගෙනත් පුහුණුවීම් සිදු කළා. ඊට පස්සේ ඇවිදින්න පුළුවන් වුණු දා ඉඳලම එයාලා මාත් එක්ක නර්තනයේ යෙදුණා. අපේ පුතා වයස අවුරුදු දහයේ දී විතර වගේ නැටුම්වලට ආස වුණේ නෑ. නමුත් මම කැමති වුණේ නෑ පුතා නැටුම් නවත්වනවාට. දැන් පුතා වෛද්‍ය විද්‍යාල සිසුවෙක්. ඒත් නර්තනය නවත්තලා නෑ. අධ්‍යාපන කටයුතුයි, නර්තන කටයුතුයි දෙකම සමබරව කරගෙන යනවා. පුතා කියන්නේ නර්තනය කියන්නෙ මනස සන්සුන් කරන හොඳ භාවනාවක් කියලයි. "

 

පුතා ඉපදුණු දවසේ ඉඳන් ඔයා දැකපු හීනයක් තිබුණා. මේ වෙනකොට ඒ හීනය ඉටු වෙලාද ?

 

" අනේ ඔව්. මගේ පුතා රිචඩ් සත්සර ඉපදුණු දවසේ ඉඳන් මම දැකපු හීන තුනක් තිබුණා. එකක් පුතා බෙර ඇඳුම අඳින එක. අනෙක එයා වෙස් පළඳින එක සහ වෛද්‍ය නලාව එල්ලගන්න එක. ඉතින් මේ වනවිට පුතා මගේ හීන තුනම සැබෑ කළා. "

 

පුතා වගේම දියණියත් නැටුමට උපන් හපනියක් නේද ?

 

" මගේ දුව ලෝචනා රදලියගොඩ. එයා නැටුමට මටත් වඩා දක්ෂයි කියලා හිතෙනවා. මගේ පන්තිවල බොහෝ නර්තන නිර්මාණයන් කරන්නෙත් දූ තමයි. අපි මේ මෑතකදී නිර්මාණය කළ ස්වර්ණමාලි නාට්‍යයේ ස්වර්ණමාලි කුමරියගේ චරිතයට වගේම එයා නර්තනයේ යෙදෙන මොනර නැටුමටත් ඉහළ ප්‍රශංසා හිමි වුණා. "

 

එහෙනම් ඇය අම්මා වාගේම දක්ෂ නර්තන ගුරුවරියක් වේවි.

 

" ඇය නර්තනයේ යෙදෙන එක නම් නවත්වන එකක් නෑ. නමුත් ගණිත අංශයෙන් හෝ විද්‍යා අංශයෙන් වැඩිදුර ඉගෙන ගැනීමයි ඇයගේ බලාපොරොත්තුව. අනාගතයේ දී ඒ අංශයෙන් ගැළපෙන රැකියාවකට යොමු වේවි. කවදා හෝ දවසක රැකියාව වගේම නර්තන කටයුතුත් හොඳින් කරගෙන යයි කියලයි අපේ බලාපොරොත්තුව.

 

ඒ වගේම මගේ සැමියා ගැනත් කියන්නම ඕනේ. එයා ලකී රදලියගොඩ. වසර ගණනාවක පටන් මේ කලා ක්ෂේත්‍රයේ නියැළී සිටින කෙනෙක්. ඒ වගේම හොඳ සැමියෙක්, තාත්තා කෙනෙක් විදිහට අපිට පුදුමාකාර සහයෝගයක් ලබා දෙනවා. නිරතුරුවම ලැබෙන ඔහුගේ සහයෝගය නොවෙන්න මේ කටයුතු සාර්ථක කරගන්න හරිම අපහසුයි."

 

ජායාරූප - ශාන් රූපස්සර