රටම හඬවා මෙලොව හැරගිය පුංචි දොස්තර නෝනා

මැයි 22, 2023

තරුණීට සමීප ශිල්පීන් ශිල්පිනියන් බොහෝය. ඒ සමීපතමයන් අතුරින් වසර ගණනක ඉතිහාසයක් ඇති ශිල්පීනියන් ද වෙති. තිරාණි පීරිස් එවැනි යුග ගණනක ඉතිහාසයක සබැඳියාවක් හිමි ශිල්පිනියකි. දුකේදී මෙන්ම සතුටේදී අප සමඟ ඒ ‍ෙළන්ගතු සබැඳියාව නිරතුරුවම බෙදාගත් ඇය යාන්තමින් හෝ දුරස් වුණේ පසුගිය කොරෝනා සමයේ පමණකි. ඒ කාලය තුළ බොහෝ දේ සිදු විය.

 

එදා තරුණී ‘ප්‍රතිභා’ වේදිකාවේ තිරාණී අපගේ පාඨකයන්ට දැනුම බෙදන්නට ඈත ගම් දනව් කරා ගිය ගමන් අපට මතකයට නැගෙයි. ඇය ඒ වැඩසටහන්වලට එන විට පුංචි සුරංගනාවියක් වැනි සිඟිත්තියක් ද ඇගේ ඇඟිල්ලේ එල්ලී එන අයුරු අපට අද මෙන් මතකය. හුරුබුහුටි මේ දැරිය තම මවගේ හැකියාවන් දකිමින් තමුන්ගේ පාඩුවේ ඉදිරි අසුනකට වී බලා සිටින අයුරු මැවී පෙනෙයි. අතීතය බෙහෙවින්ම සුන්දරය. කාලය කෙමෙන් ගෙවී ගියේය. දින, මාස, අවුරුදු ගෙවී ගියේ අතීත මතකයන් ඉතිරි කරමිනි. කාලය කෙතරම් ගෙවී ගියත් අප අතර වූ සබැඳියාව ඈත් වූයේ නැත. නිරතුරුවම දුක සැප විමසන්නට වේලාවක් නොවුණත් තිරාණීගේ පවුලේ තොරතුරු හා සැප දුක ඉඳහිට හෝ හමු වූ මොහොතක විමසන්නේ ඉතා දුෂ්කර වූ අතීතය පහුකරමින් ඇය පැමිණි ගමන ගැන අපද හද පතු‍ෙලන්ම සතුටු වෙමිනි.

 

ඇයගේ එකම දියණිය නෙතාෂා රූමන්ති පීරිස් පුංචි දොස්තර නෝනා මෙලොව සදහටම හැර ගොසිනි. පසුගියදා දැනගන්නට ලැබුණු ඒ කනගාටුදායක පුවත ගැන ඇයගෙන් විමසන්නට අපට සිත් නොදෙයි. මවක් ලෙස ඇයගේ කඩා වැටුණු සිත පාරන්නට අපට නොසිතෙයි. එහෙත් ඇයගේ පුංචි සුරංගනාවිය අහිමිවීම ගැන පාඨකයෝ අපගෙන් අසයි. ඒ නිසාම මේ සටහන තබන්නේ තිරාණිගේ හදතුළ දැවෙන උතුරා ගලන දරු සෙනෙහසට අත්වැසිල්ලක් ලබා දෙන්නටයි. එසේම ඒ පුංචි සුරංගනාවිය අපට අහිමිවීම හමුවේ පැතිරයන විවිධ කටකතා වෙනුවට සත්‍ය සිදුවීම පිළිබඳ පුංචි සටහනක් තබන්නටය.

 

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී තිරාණී පීරිස් හා ඇයගේ ආදරණීය සැමියා නීතිඥ ගීතාල් පීරිස් දෙදෙනාගේ ආදර කැදැල්ලට මුලින්ම එක් වූයේ වැඩිමහල් පුත් හසිතය. ඉන් වසර කිහිපයකට පසුව නෙතාෂා දරු සිඟිත්තිය එක් වන්නේ පවුලේ වාසනාව උතුරා ගලමිනි. 2003 වසරේ අගෝස්තු 31 වැනිදා උපත ලබන නෙතාෂා ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන් සිප් සතර හදාරන්නේ ඉතාම කීකරු ශිෂ්‍යාවක ලෙසිනි. කුඩා කළ පටන්ම මස් මාංස පවා කෑම අත්හළ නෙතාෂා බුදු දහමට තදින්ම බැඳී සිටියේ කාගේවත් මඟ පෙන්වීමක් නොමැතිවමය. දහම් පාස‍ෙල් පවා කැපී පෙනෙන ශිෂ්‍යාවක් වූ ඇය 2020 වසරේදී ලන්ඩන් උසස් පෙළ සමත්ව වැඩිදුර උසස් අධ්‍යාපනය සඳහා මැලේෂියාවේ මොනෑෂ් සරසවියට ගියේ දහසක් රෝගීන්ගේ සුවය සඳහා වෛද්‍යවරියක් වීමේ සිහිනය දකිමිනි. එහෙත් ඒ සිහිනය නොසිතන ලෙසින් බොඳ වී ගියේ සියල්ලන්ගේම නෙතට කඳුළක් ඉතිරි කරමිනි. ඒ හදිසි වියෝව ගැන තිරාණී පීරිස් මහත්මියගේ පවුලේ සමීපතමයෙක් වූ ජනප්‍රිය ගායක මධුමාධව අරවින්ද ඉතා සංවේදී සටහනක් තබා තිබුණි. ඒ සටහනේ ඇයගේ වියෝව ගැන බොහෝ දේ සටහන්වී තිබුණේ සිද්ධිය පිළිබඳ සාරාංශයක් ලෙසිනි.

පුංචි දොස්තර නෝනා හෙට ගෙදර එනවා... දෝණි ගියේ කොහොමද? හැමෝම අහනවා. දෝණි ගිය ආරංචිය ගැන දැන ගත්තු විට නොගැස්සුණු හිතක් නැති තරම් දෝණියේ.. දන්න නොදන්නා... දැක්ක නොදැක්ක හැමෝටම ඇගේ සුරතල් මුහුණ දකිද්දී හීල්ලුනා ඉබේටම. ඒ අතින් අපේ මිනිසුන්ගේ පපු හරි බරයි, සංවේදියි. පසුගිය දිනවල විවිධ සිද්ධි නිසා කම්පනයට පත්වෙලා හිටිය හැමෝටම දොස්තර නෝනා කෙනෙක් වෙන්න හිටිය ඇයට තට්ට තනියම රෝහල් ඇඳක් උඩම අන්තිම හුස්ම ටික පිට කරන්න වීමේ කම්පනය තදින්ම දැනුණා. කවදා හරි කාගේ හරි වැහෙන ඇස් දෙකකට පණ දෙන්න පෙරුම් පිරුව පුංචි දොස්තර නෝනා අන්තිමට ඇස් දෙක පියා ගත්තේ දැඩි සත්කාර ඒකකයේ. අන්තිම මොහොතේ ඒ අන්තිම හුස්ම ටික සුරංගනා මුහුණෙන් යන්නම යන කොට ඒ චූටි බෝනික්කිට අම්මවයි තාත්තවයි අමතක නොවෙන්න කිසිම හේතුවක් තිබුණේ නැහැ. තිරාණී, ගීතාල්, හසිත, නෙතාෂා කියන්නේ හතරක් නෙවෙයි එකක්.

 

බම්බලපිටියේ කිංරෝස් පාරේ සද්දන්තව තිබුණු ඔවුන්ගේ නිවහන හරිම සතුටින් පිරී තිබුණු තැනක්. ලංකාවේ එහි නොගිය කලා කරුවෙක්, මාධ්‍ය‍ෙව්දියෙක් නොසිටින තරම්. හැබැයි සතුට පිරුණු ඒ නිවහන අද හරිම මූසල පාටයි. තිරාණීවයි, ගීතාල්වයි දැකපු මුල්ම මොහොතේ මට ලෝකයම ඇහෙන්නේ නැතුව ගියා. පොඩි දරුවෙක් වගේ දුවගෙන ආපු ගීතාල් දුවගෙන ඇවිත් මුහුණ පපුව ළඟින් තියලා අපි කොහොමද ජීවත්වෙන්නේ මචෝ කියද්දී නැඟිටින්න හයියක්වත් නැතුව හිටි තිරාණී මධු....ඒ මගේ සුරංගනාවී නේද මධූ.. ඒ මගේ ලේ ටික නේද මධූ අපිට එයා අපේ මුළු ලෝකෙම නේද මධූ කියලා අහද්දී මට කොහේ හරි හැංගෙන්න හිතුණා දරු පැටියෝ. ඔවුන්ව බදාගෙන ඒ කඳුළ විඳිනවා හැර කරන්න කිසිම දෙයක් ඉතිරි වෙලා තිබුණේ නැහැ. පපුව පැලෙන්න වගේ එන නිසා ඇඬුවා. කිසිම අම්මෙකුට තාත්තෙකුට මේ වගේ දෙයක් වෙන්න නරකයි.

 

අම්මා, අප්පගේ, නෑ හිතවතුන්ගේ, යාළුවන්ගේ, ගුරුවරුන්ගේ දයාව කරුණාව බිංදුවක් වත් අඩු වෙලා නෙවෙයි. පුංචි හදවතට වැටෙන හුස්ම ටිකට අඩු වුණේ සීනි. මස් මාළු නොකන ඇය ඇඟ කෙට්ටු කරගන්න සීනි පාලනය කරන්නත් ඇති. එකවරම ඇදගෙන වැටෙනකම් ඒ පුංචි හිතට එය දැනෙන්න නැතුව ඇති. එදා ලයිසියම් පාසලේ උසස් පෙළ උසස් ලෙසින් සමත්වෙලා ගෙදර හැමෝම එකතු වෙලා සතුටට උඩ පැන්න හැටි තිරාණී කියද්දී එය මැවී පේනවා. ඔයාව මොනෑෂ් විශ්වවිද්‍යාලයට යැවීම ගැන තිබුණු ආඩම්බරය වගේම ඔයාගේ අයියා නීතිවේදියෙක් වුණු සතුට මේ නිවහන උතුරා ගියා. නමුත් ඒ සියල්ලම ලැබුණත් ඔයා නැතුව හැමෝම කඳුළු සලනවා. ඔයාව දැක්ක නොදැක්ක හැමෝම ඔයා ගැන ලියා තිබූ සටහන් දැක්කා නම් පුදුම හිතෙනවා චූටියෝ.

 

ඒත් ඒ හැමෝම ඔයාට එන්න කියද්දී එන්න බැරි බව දැනිලා අඩනා ශබ්දය ඔයාට දැනුණා නම් දුව ඉකි ගගහා ඊට වඩා අඬයි. ආහාර පාලනය අප හිතනවාට වඩා හිතන්න ඕනෙ දෙයක් බව පුංචි දුව අපට කියා දීලා ගියා. එදා කටුනායක ගුවන්තොටුපොළට එන විට

අම්මා උයනා කෑම කන්න උඩ පනිමින් බලා සිටි දෝණි අද රාගම රෝහලට ආවේ නිසලව. සමහර විට ඇගේ පපුව නැවතුණු මොහොතේ සිට අම්මගේයි තාත්තාගේයි පපුව වැඩ කළේ තෝන්තු වෙලා වගේ. පුංචි සුරංගනාවී වෙලාවකට මනාලියක් වෙලා ගෙදර එනවා වගේ දැනෙන්න ඇති. පුංචි සුරංගනාවී අපි හැමෝම දාලා සුරංගනා ලෝකයට යනවා.

 

අවුරුදු 19ක් වූ නතාෂා දියණියගේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය රාගම මෘත ශරීරාගාරයේදී සිදු වූ අතර එහිදී මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ලබා දී තිබුණි. මෘත දේහය පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් මැලේසියාවේදී ද සිදු කර තිබූ අතර මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළ රාගම රෝහලේ අධිකරණ වෛද්‍යවරයා සඳහන්කර තිබුණේ බාහිර තුවාලයක් හෝ සීරීමක් මෘත දේහයේ දකින්නට නොලැබුණු බවයි.