වල්ලි මාතාවගේ සමීපතම යෙහෙළිය කුමී මමයි

HARINI KAWYANJANA
ජූලි 31, 2023

දෙවියන් කෙරෙහි අප ජන සමාජයේ ඇත්තේ පුදුමාකාර භක්තිවන්ත බවකි. ශිව හා විෂ්ණු දෙවියන් මෙන්ම බොහෝ රටවල කතරගම දෙවියන් වෙනුවෙන් ද පුද පූජා පැවැත්වෙන අතර ඒ ඔස්සේ ඔවුන් බලාපොරොත්තු වන්නේ දෙවියන්ගෙන් ආශිර්වාදය ලබා ගැනීමයි. අතීත පුරාවෘත්තවලට අනුව දෙව්ලොව සිට වැඩම කළ කඳසුරිඳුන් තම වාසභවන ලෙස තෝරා ගත්තේ අපේ රටේ කතරගම පුරවරයයි.

දේව කතා සාහිත්‍යයේ මිනිස් දුවක් සරණ පාවාගත් දෙවියකු ලෙස සඳහන් වන්නේ කතරගම දෙවියන් ගැන පමණි. පුංචි සන්ධියේ පටන් දෙවිකෙනෙකුට ආලය කර ඒ ආලයේ මහිමෙන් ඔහු කතරගමට ගෙන්වාගෙන සරණ කර ගත් වැදි ජනයා අතර හැදුණු රූමතියක් සිටී. ඇය වල්ලි අම්මායි.

ඒ් අැසුරින් ස‍ම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න ඇදුරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද කදිර දිව්‍යරාජ චිත්‍රපටය මේ දිනවල සිනමා ලෝලීන්ට නැරඹීමේ අවස්ථාව උදාවී තිබේ.

වල්ලි අම්මා සමඟින් කුඩා කල සිටම හැදී වැඩෙන ඇගේ සමීපතම යෙහෙළිය කුමි ය.

කුමී සඳහා රඟදක්වන්නී හරිනි කාව්‍යංජනා පෙරේරාය. කදිර දිව්‍යරාජ ඇගේ කුලුඳුල් සිනමා සිත්තමයි.

හරිනි ඔබේ සිනමා ආගමනය හරිම සෞන්දර්යාත්මකයි.

ඇත්තටම ඔව්, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න ඇදුරුන් වැනි අධ්‍යක්ෂවරයකුගේ ගේ සිනමා කාව්‍යයක් ඔස්සේ මම මගේ පළමු සිනමා රංගනය සඳහා යොමුවෙනවා. එය පෙර පිනක් ලෙසයි මම දකින්නේ.

සුනිල් සර්ගේ චිත්‍රපටයක් සඳහා ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියෙන බව මම දැන ගන්නවා. වල්ලි මාතාවගේ ක්‍රියාකාරකම් හඳුනන, ඇගේ හැඟීම් දැනීම් දැනෙන, කෙළිදෙළෙන් ගත කරන චරිතය තමයි කුමී. ස්ක්‍රීන් ටෙස්ට් එකෙන් සමත්වන මට ලැබෙන්නේ කුමීගේ චරිතය.

කතරගම දෙවිඳුන් සහ වල්ලි මාතාවන් දේවකතා සංකල්පයන්වලදී වන්දනීය, පූජනීය චරිත ලෙස ගැනෙන්නේ. එහිදී වල්ලී මාතාවගේ සමීපතම යෙහෙළිය කුමී ලෙස රඟන්නට ලැබීම හරිම භාග්‍යයක්.

 

මේ චරිතය සෞන්දර්යාත්මක ලෙස ගලා යන්න ඔබ සතු නර්තනමය හැකියාවත් බොහෝසෙයින් ඉවහල් වෙනවා.

 

පාසල් යන කාලේ ඉඳන්ම මම නර්තනය සම්බන්ධයෙන් දක්ෂතා දක්වලා තියෙනවා.ගලහිටියාව හේමමාලි විද්‍යාලය මගේ පාසල. සමස්ත ලංකා ජයග්‍රහණ රැසක්ම පාසල් කාලයේ දක්වා තිබෙනවා. පසුව රුසියානු ජාතික නර්තන ශිල්පිනියන් වන අල් රකී යටතේ බිලී ඩාන්සින් හදාරනවා.

මේ චිත්‍රපටයේ නර්තන වින්‍යාසය සිදු කෙරෙන්නේ සංඛ අබේසිංහගෙන්. ඔහු අපිව මැනවින් හසුරුවනවා.

 

කදිර දිව්‍යරාජ සිනමා සිත්තමේ ප්‍රධාන චරිත දෙක රඟන්නෙ භාරතීය රංගන ශිල්පීන්වන සමර් වර්මානි සහ රංගන ශිල්පිනී සොනාක්ෂි සිං රාවන්. මේ අතුරින් වල්ලි මාතාවට රඟ දක්වන සොනාක්ෂි සමඟින් වැඩිපුරම කාලය ගත කරන්න වෙන්නේ

ඔබට විදෙස් රංගන ශිල්පිනියක් සමඟින් ලැබූ ඒ අත්දැකීම කොහොමද ?

 

මුල්ම දින දෙක තුනේදී නම් ඇය එතරම් මිත්‍රශීලී බවක් පෙන්නුවේ නැහැ. එහෙත් ඊළඟ දින කිහිපය වෙද්දී ඇය පුදුම තරම් මිත්‍රශීලී වුණා. ඇයට මාව නැතිවම බැරි වුණා. ෂූටීන් අවසන් වෙලා යද්සී ඇය මාව වැලඳගෙන අඬලයි ගියේ. මම ඇතුළුව රංගන ශිල්පීන්, කාර්මික ශිල්පීන් ඇතුළු හැමෝම ශ්‍රී ලංකාව පිළිබඳ සුන්දර මතකයක් ඔවුන්ගේ සිත්හි ඇති කිරීමට ඇප කැප වුණා.

 

රූගත කිරීම් සිදුවන කාලය කොයි විදිහටද ගෙවුණේ.

 

දින 26 ක් පුරාවට වගේ මට රූගත කිරීම් පැවතියා. රන්මිණිතැන්න ස්ටූඩියෝ එකේ දිව්‍ය ලෝකය, කතරගම දෙවියන්ගේ පිළිමය නෙළා තැබෙන ගුහාව නිර්මාණය වෙනවා. කතරගම හා ඒ අවට ගම්, කැලෑ ආදියේ අනෙකුත් රූගත කිරීම් සිදුවෙන්නේ. හරිම ලස්සන ඉසව් දර්ශනතල බවට පත්වුණා.

මේ චිත්‍රපටයේ ඇඳුම්, මේක් අප්, කොණ්ඩ මෝස්තර හරිම ලස්සනයි. ඇඳුම් නිර්මාණය වෙනුක වික්‍රමාරච්චිගෙන්. මේක්අප් ප්‍රියන්ත දිසානායකගෙන්. හරූන් ෂයිඩීන් කොණ්ඩ මෝස්තර කළේ.

කඩොල් ඇතා ලෙස රඟන වාසනා ඇතා පිළිබඳත් සුන්දර මතකයක් මේ චිත්‍රපටය හරහා මට ලැබුණා. මම හස්තිරාජයන්ට කොහොමත් කැමතියි. වාසනා හස්තිරාජයා ඇත්තටම බෝසත් ආත්මයකට පෙරුම් පුරන කෙනෙක් කියලා හිතෙනවා. හරිම හීලෑයි.

ක්ෂීර සාගරය කැළඹිණ චිත්‍රපටය හරහාත් ඔබේ අපූරූ රංගනයක් සිනමා ප්‍රේක්ෂකයිනට දැක ගන්නට ලැබෙනවා.

මම දෙවනුව රඟ දැක්වූ චිත්‍රපටය ඒ. නමුත් පළමුව තිරගත වුණු චිත්‍රපටය. කදිර දිව්‍යරාජ චිත්‍රපටය හරහා සුනිල් සර් මාව මේ චිත්‍රපටය ට ෙතා්රා ගන්නවා. සයිමන් නවගත්තේගම සූරීන්ගේ ක්ෂීර සාගරය කැළඹිණ නවකතාවේ ප්‍රධාන චරිත වෙන්නේ අධිරාජ්‍යයා, කැරලිකාරයා සහ දැරිය. මම රඟන්නේ එහි දැරියගේ් චරිතය. මහාමාරිය රෝගය වැලදීම නිසා මාපියන් අම්බලමක තනිකර යන දැරිය කැලේ තියෙන ගහකොළවලින් බෙහෙත් හදාගෙන තමන්ගේ රෝගය සුව කරගනිමින් ජීවිතය ගෙන යනවා. අසනීප වී පැමිණෙන අධිරාජ්‍යයා දැරියට හමුවෙන්නේ් ඉන්පස්සේ. ජැක්සන් සර් එක්ක රඟන්න ලැබෙන මේ අවස්ථාව මට හරිම සුවිශේෂියි. දැරියට මුහුණ දෙන්නවන අනුවේදනීය සිදුවීම් රැසක් මේ චිත්‍රපටයේ අඩංගුයි.

මේ චිත්‍රපට දෙකේම කාර්මික ශිල්පීන් ලෙස කටයුතු කළේ එකම පිරිසක්.මාව නවකයෙක් ලෙස නොසලකා හොඳින්ම සැලකුවා. ඒ හැමෝටම බොහොමත්ම ස්තූතියි.

 

ඔබ කලා ක්ෂේත්‍රයට පියමනින්නේ ⁣නිරූපණ ශිල්පිනියක් ලෙස.

මම ඒ වෘත්තියට හරිම ආදරෙයි. සේනක ද සිල්වා, ලෝ චිං, රොසෑන් ඩයස් වගේ ප්‍රවීණයන්ගේ ගුරුහරුකම් හරහා අදටත් මම නිදහස් නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කරමින් යනවා. වෙෙළඳ දැන්වීම් සඳහා පෙනී සිටිනවා.