අපේ රටේ ලොකු පිළිගැනීමක් නොලැබුණාට ජාත්‍යන්තරව ලැබුණු ප්‍රතිචාරය හරිම ඉහළයි.

නදිෂා මධුමාලි දිසානායක
අගෝස්තු 14, 2023

ව්‍යාපාරික ලොවේ වපසරිය බොහෝ විශාලය. එම විශාල ලෝකයට ශ්‍රී ලංකේය සන්නාමය රැගෙන යෑම තරමක අභියෝගයකි. විශේෂයෙන්ම මෑත කාලීන ඉතිහාසය තුළ අපට හිමිව තිබුණේ කළු වලාවකි. මේ කළු වලාවෙන් පිරි අහස කෙමෙන් නිල්වන් පැහැයට හැරෙමින් තිබීම සුබ ලකුණකි. ඒ සඳහා සංචාරක ව්‍යාපාරය බෙහෙවින්ම වැදගත්ය. එසේම අපගේ සංස්කෘතික උරුමය ද ලොවට රැගෙන එන්නට හැකි වූ අවස්ථා කිහිපයක්ම පසුගිය කාලය තුළ උදා විය.

පසුගිය මාර්තු මාසයේ වියට්නාමයේ පැවැති Miss Business Globale  – 2023 රූ රැජින තරගාවලිය ද එවන් වටිනා අවස්ථාවකි. එහිදී මේ පුංචි රටේ තරුණියක ලබාගත් ජයග්‍රහණය ව්‍යාපාරික ලෝකයම අවධි කරන සිදුවීමක් විය. එහෙත් මේ ජයග්‍රහණය ගැන අපගේ මාධ්‍ය තුළ එතරම් ප්‍රමුඛත්වයක් සිදු නොවීම විශාල රික්තයකි. එම තරගාවලියේදී Miss Business Heritage  කාණ්ඩයෙන් කිරුළ හිමිකරගත් නදීෂා මධුමාලි දිසානායක එම ජයග්‍රහණය හිමිකර ගන්නේ රටවල් 20ක තරගකාරියන් 28 දෙනකු පරාජය කරමිනි.

නදීෂා ... ඔබ මේ ජයග්‍රහණය ලබා දැන් මාස ගණනක් ගත වෙනවා. ඇත්තට ඇයි මේ ගැන අපේ රටේ ඇගයීමකට ලක් නොවුණේ ..?

මම මේ තරගයට ඉදිරිපත් වෙන්නේ විශාල අභියෝග රාශියක් මැද. තරගය සංවිධානය කරන අපේ රටේ අධ්‍යක්ෂිකා තිළිණ ද සිල්වා මහත්මිය මම මේ ජයග්‍රහණය ලබා කලක් වෙනකන් අසනීපයෙන් හිටියේ. ඒ නිසා ඇයට මාව පිළිගන්න ගුවන්තොටුළෙටවත් එන්න බැරි වුණා. ඒ නිසා මේ තරග මාලාව ගැන මාධ්‍ය තුළ වැඩි කතා බහක් ඇති වුණේ නැහැ.

ඔබට මේ තරගය සඳහා ඉදිරිපත් වීමට පසුබිම නිර්මාණයේ වුණේ කොහොමද?

මම පසුගිය වසරේදී මුලින්ම Miss Tourisum  තරගයට ඉදිරිපත් වුණා. එහිදී beautiful Smile  තරග කාණ්ඩයට ඉදිරිපත් වෙමින් මම ජයග්‍රහණය හිමිකර ගත්තා. එහිදී මට තිළිණි ද සිල්වා මහත්මිය හඳුනා ගන්න ලැබුණා. ඉන්පසුව තමයි මට මේ තරගය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලැබෙන්නේ.

ඔබ මේ තරගයට ඉදිරිපත් වෙනනේ Miss Business Heritage Globle  කාණ්ඩය යටතේ . ඒ සඳහා ඔබට ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ තිබුණු සුදුසුකම් මොනවාද?

මම දැනට පෞද්ගලික ආයතන දෙකක කළමනාකාරීත්වය දරනවා. එක් ආයතනයක් තමයි ර්‍ථඅඉ අධ්‍යාපන ආයතනය. PS Clinic නමැති සෞන්දර්යාත්මක සායනික ආයතනයේ කළමනාකාරිනිය ලෙසටත් දැනට මම කටයුතු කරනවා. මෙම තරගයේදී විශේෂයෙන්ම තරගය සඳහා ඉදිරිපත් වෙන තරගකාරියන් විනිශ්චය මණ්ඩලයට තමුන්ගේ රටේ නිෂ්පාදනය කර සංස්කෘතික වටිනාකමක් ඇති තෑගි පිරිනැමීම සිදු වෙනවා. මේ සඳහා මම අපේ රටේ අත්කම් නිර්මාණ ලෙස සකස් කරන පන්කොළ නිර්මාණ වැනි අපගේ දේශීය අත්දම් නිර්මාණ තමයි ඔවුන්ට තෑගි තිළිණ කළේ. ඒ තිළිණවලට වියට්නාම් රටේ වැඩි කැමැත්තක් තියනවා. විශේෂයෙන්ම ආසියාතික රටක් ලෙස අපගේ සංස්කෘතික උරුමයට අපේ වෙස්මූණු කලාවට ඔවුන් වඩාත් කැමැතියි. මගේ ජයග්‍රහණයට ඒ ඉදිරිපත් කළ දේශීය නිර්මාණත් ප්‍රධාන හේතුවක් වුණා.

නදී මේ වගේ කර්යයබහුල ජීවිතයක් ගත කරන ඔබ පෞද්ගලික ජීවිතයක් හොඳින් කළමනාකරණය කර ගන්නා ආකාරය ගැනත් කතා කරමුද? ඔබේ පෞද්ගලික තොරතුරු ගැනත් දැන ගන්නට කැමැතියි.

මගේ මුල් ගම තමයි කැප්පැටිපොළ. මම උසස් පෙළ සමත් වුණේ බණ්ඩාරගම සාන්ත ජෝෂප් විද්‍යාලයේ. දැන් පදිංචිය රත්මලානේ. මට ඉන්නේ නංගියි මල්ලියි. දැන් මම විවාහකයි. මට අවුරුදු දෙකහමාරක පුංචි පුතෙක් ඉන්නවා. මගේ සැමියා පෞද්ගලික විද්‍යාලයක ගුරුවරයෙක්. ඇත්තටම මම කොයි තරම් කාර්යයබහුල වුණත් මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා නැහැ. දැනටත් මම පරිගණක ඩිප්ලෝමාවක් හදාරනවා. මේ සියලු දේ කළමනාකරණය කර ගනිමින් තමයි මම මේ වගේ තරගවලටත් ඉදිරිපත් වෙන්නේ.

නදී ඔබගේ ජයග්‍රහණය තුළින් ඔබ ලැබූ අත්දැකීම ගැනත් කතා කරමුද?

ඇත්තටම මේ තරගයට ඉදිරිපත් වීමෙන් ලොකු අත්දැකීමක් ලැබුණා. ලෝකයේ රටවල් ගණනාවක තරගකාරිනියන් හඳුනා ගැනීමට ලැබුණා. ඒ වගේම මේ ජයග්‍රහණයන් සමඟ අපේ රට ගැන ව්‍යාපාරික ලෝකයට ගෙන යන්න හොඳ අවස්ථාවක් මට ලැබුණා. එය ඇත්තටම මම ලැබූ භාග්‍ය්‍යක් ලෙසයි සලසන්නේ. අපේ රටේ ඒ සඳහා විශාල ප්‍රචාරයක් නොලැබුණ මට ලැබුණු අවස්ථාව ගැන සතුටක් තිබෙනවා.