අනුල ද සිල්වා ලියූ කළු තිරය

ඔක්තෝබර් 9, 2023

 

ප්‍රවීණ මාධ්‍යවේදිනියක, ලේඛිකාව, ගත් කතුවරියක වූ අනුල ද සිල්වා පිිළිබඳ ලේක්හවුස් ආයතනයට එහෙමත් නැතිනම් පත්තර මහගෙදරට ඇත්තේ අපූරු බැඳීමකි.

ඒ අතරින් තරුණී පුවත්පතට වඩාත් විශේෂිත වන්නේ ඇය තරුණී පුවත්පතෙහි මුල් පුටුව හෙබ වූ හිටපු කතුවරියක වූ නිසාමයි. පසුකලෙක තරුණියෙන් මෙන්ම ලේක්හවුසියේ සේවයට ආයුබෝවන් කියූවද ඇය සමඟ තරුණී බැඳීමෙහි අඩුවක් නොවිණි. ඇය අලුතින් පොතක් ලියූ කළ ඒ ගැන ලියන්නට, කාන්තාවන්ට රටක් වටිනා ඔවදනක් දෙන්නට අප ඇය සොයා ගියා සේම තරුණියේ සංවත්සරයන්හිදී සුබ පතන්නට ඇය ද තරුණියට ගොඩ වැදුණාය.

ඒ සියල්ලම මතක ගොන්නකට පමණක් ඉතිරි කරමින් පසුගිය අගෝස්තු මාසයේ ඇය සිය දිවි ගමන නිමා කළාය. ඒ ඇය විසින් ලියූ පොත් 125කට අධික සංඛ්‍යාවක් පාඨක ඔබ වෙත ඉතිරි කරමිනි.

සිය දිවියෙන් සමුගන්නට පෙර ඇය විසින් ලියූ අවසන් අත් පිටපත් කිහිපයක් ප්‍රකාශන ආයතන වෙත ලබා දී ඇති අතර මේ ‘කළු තිරය‘ ඒ අවසන් කෘති කිහිපය අතරින් එකකි.

කෙහෙලි ප්‍රකාශකයන් වෙතින් එළි දැක් වූ මේ ‘කළු තිරය‘ පරිවර්තන කෘතියකි. Denis Wheatly විසින් රචිත 'Curtain of Fear' කෘතියේ පරිවර්තනයක් වූ මෙය පරමාණු බෝම්බය සෑදු පුද්ගල චරිතය පසුබිම් කරගෙන ලියැවී තිබේ. ච්ඥදඪඵ යනු පළමු සහ දෙවැනි ලෝක යුද්ධයන් පිළිබඳ අත්දැකීම් සහිත පුද්ගලයෙකි. එබැවින් සමාජවාදී රටවල් ගෙනයන දරුණු ක්‍රියාකලාප ඔහු මෙහිදී විස්තර කරන්නේ ඒවා තම අත්දැකීමෙන්ම ලද තොරතුරු නිසාවෙනි. පරිවර්තන කෘති බොහෝ සංඛ්‍යාවක් ලියා අත්දැකීම් බහුල ප්‍රවීණ ලේඛිකාවක වූ අනුල ද සිල්වා ඒ සියල්ල අපේ බසින් අපට ලියා තබා නික්ම ගොසිනි. යළිත් මෙවැනි වටිනා පොත් ඔබ අපට තිළිණ නොකරාවි. ඉතිං ආදරණීය අනුල අක්කේ ඔබට සුබ ගමන්.