ජැක්සන් තවමත් ජීවතුන් අතර...

ඔක්තෝබර් 16, 2023

විශ්වය විශ්වකර්ම මිනිස්සු මවයි. මේ මිනිස්සු අපේ හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරන්නේ කිසිම දවසක අමතක නොවන ලෙසිනි. එහෙත් එහෙම මිනිස්සු ඉක්මනින්ම මෙලොවින් නික්ම යති. මැවීම හා වෙන්වීම අතර ලොකු හිඩැසක් තියෙනවා කියලා හිතෙන්නේ මේ වගේ හදවතේ රැඳුන මිනිස්සු අපෙන් වෙන්වෙලා යනකොට. මේ පුංචි සටහන පත්තිරු අතර තබන මොහොත වනවිට ඔහු අපව අතැර බොහෝ දුර ගිහින්....“ඔබ අප අතරට නොයෙන්නම සදහටම දෑස පියා ගත්තා. එහෙත් ඔබේ රුව.. කොහොම අමතක කරන්නද?”

කොන්ගානිගේ ජොසප් මල්සි ජැක්සන් ඇන්තනි නොහොත් ජැක්සන් ඇන්තනී නම් ආදරණීය රංගවේදියා පසුගිය 09 වැනිදා මෙලොවින් සමුගෙන ගියත් ඒ අසහාය රංග පෞරුෂය තුළ අපට ඉතිරි කළ මතක සිත්තම් ගොන්නක්ම තිබෙනවා. ඒ සෑම එකක්ම එකිනෙකට අකුරු ගළපන්න පොතට වඩා විස්තර ඔහු හා ඇසුරු කළ ප්‍රවීණයන් අතර තිබෙනවා. මේ සියලු මතක ආවර්ජනයක් අතුරින් ‘තරුණී’ පත්තිරු අතර ඔහු තැබූ වටිනා අදහස් හා ලිපි මඟින් අපේ පාඨකයන් පෝෂණය කළා. අප මේ සටහන ඔහු වෙනුවෙන් තබන්නේ කලාකෙත පෝෂණය වෙනුවෙන් ඔහු කළ විශ්ෂ්ට මෙහෙවරට උපහාරයක් ලෙසිනි.

ඔහුගේ ජීවන ගමනේ ළඟින්ම ඇසුරු කළ බොහෝ ප්‍රවීණයන් විය. මේ පිිරිස අතුරින් මහැදුරු සුනිල් ආරියරත්නයන් ඔහු ගැන හොඳින්ම දනියි. මහාචාර්ය ආරියරත්නයන් තැබු සටහනින් වැදගත් කරුණු කිහිපයක් අප ඔබ අතර තබන්නේ ජැක්සන් ඇන්තනී නම් ඒ අමරණීය වූ කලාකරුවාගේ ගුණ සුවඳ සිහිපත් කරමිනි.

1958 ජුලි 08 වැනිදා මෙලොව උපත ලැබූ ජැක්සන් ඇන්තනී කලාව උපතින්ම රන්කිරි කට ගෑ දක්ෂයෙකි. ඔහු හෙළ සිනමාව, වේදිකාව සහ රූපවාහිනියේ නළුවෙක් පමණක් නොව අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, තිර රචනය, රූපවාහිනි සංස්කරණය, නවකතා රචක, තිර රචක, ගීත රචක, ඉතිහාසය සහ සංචාරක යන අංශ සියල්ල තුළ කැපී පෙනෙන පෙරළියක් කළ චරිතයකි.

කුමාරි සුලතා මුණසිංහ සමඟ අතගත් ජැක්සන් ඇන්තනී මහතා දරුවන් තිදෙනෙකුගේ ආදරණීය පියෙකි. මාධවී වත්සලා, අකිල ධනුද්දර සහ සජිත ඇන්තනී ඔහුගේ ගමන් මගේම ඉදිරියට යන දක්ෂ‍ෙයා්්ය. ජැක්සන් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම කලාකරුවකු ලෙසින් දහසය වතාවක් හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීම වාර්තාගත සිදුවීමකි. මෙරට ඉතිහාසය ඉතාම සුන්දර ලෙසින් වාර්තාකරණය කිරීම තුළ ඔහු කළ සේවය සුළු පටු නොවේ. අපේ ප්‍රෞඩ ඉතිහාසය ජාත්‍යන්තරයට රැගෙන යෑමට එය හේතු විය.

උපතින්ම කතෝලික‍ෙයක් වූ ජැක්සන් බෞද්ධ පොත පත කියවන්නට පටන් ගන්නේ ගනේමුල්ල ගලහිටියාව මහා විද්‍යාලයේදීය. ඒ උසස් පෙළ විෂයයක් වශයෙන් බෞද්ධ සංස්කෘතිය තෝරාගනිමිනි. බෞද්ධ ධර්මය, බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රාචීණ ඥානයක් ලබාගත් ඔහුගේ ගමන නැවතුණේ වසර 5ක් අඛණ්ඩව බෞද්ධයා නාලිකාවට ‘මහා සිංහලේ බෞද්ධ ඉතිහාස’ වැඩසටහන් මාලාව සම්පාදනය කිරීමෙනි.

විශ්වවිද්‍යාල අවධිය ඔහුගේ ජීවිතයේ සොඳුරුතම කාලයයි. කොළඹ විශ්ව විද්‍යාලයේ හොඳම නළුවා බවට ජැක්සන් පත්වන්නේ සුගතපාල ද සිල්වාගේ වේදිකා නාට්‍යයකිනි. ඒ ‘මරාසාද්’ වේදිකා නාට්‍යයේ ප්‍රධාන භූමිකාවට පණ දෙමිනි. ජැක්සන්ට ප්‍රඥාවත් රුවත් එක සේ උරුම වූ නළුවෙකි. සරච්චන්ද්‍රයන්ගේ ‘ලෝමහංස’, දයානන්ද ගුණවර්ධනගේ ‘මධුර ජවනිකා’ ලූෂන් බුලත්සිංහලයන්ගේ ‘තාරාවෝ ඉඟිලිති’ ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ධවල භූෂණ’ ජයන්ත චන්ද්‍රසිරිගේ ‘අත්, මෝරා, ඔත්තුකාරයා’ වැනි නාට්‍යවල ජැක්සන්ගේ රංගනය අති විශිෂ්ටය. ඔහුට වේදිකාව සේම පුංචි තිරය ද කදිම භූමිකාවකි. ‘අකාල සන්ධ්‍යා, කඩුල්ල, අප්පචිචි’ වැනි ටෙලි නාට්‍ය ඔහු දීප්තිමත් කළ භූමිකාවෝ වෙති.

ඔහු වේදිකාව මෙන්ම සිනමාව ද එක ලෙස අතික්‍රමණය කළේ දක්ෂ ලෙසිනි. ඔහුගේ සිනමාවේ රංගනය කොතරම් දක්ෂ ලෙස ප්‍රගුණ කළේ ද යන්න සපථ කරන චිත්‍රපට බො‍හෝය. ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘බවදුක’, සහ ‘බව කර්ම’, උදයකාන්ත වර්ණසූරියගේ ‘ගිනි අවි සහ ගිනි කෙළි’ හා ‘රන්දිය දහර’ එච්.ඩී. ප්‍රේමරත්නගේ ‘විසිදැල’, බෙනට් රත්නායකගේ ‘අස්වැසුම‘, ජයන්ත චන්ද්‍රසිරිගේ අග්නි දාහය, ‘ගරිල්ලා මාකටිං’ සහ ‘මහරජ ගැමුණු’ ආචාර්ය සෝමරත්න දිසානායකගේ සූරිය අරණ, ජැක්සන්ගේ ‘ඇඩ්‍රස් නෑ’ එස්. රවිගේ ‘ධර්ම යුද්ධය’, චිත්‍රපට කිහිපය තුළ ඔහු රඟපෑ චරිත සිංහල සිනමාවේ සදා මතකයේ රැ‍ෙඳන සටහන්ය. එම හැකියා පෞරුෂය ඔහු ‘ලක්නව්‘ නම් මලයාලම් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය දක්වා රැගෙන ගියේ ලොවම මවිත කරමිනි.

ජැක්සන්ගේ අධ්‍යක්ෂණය කළ හොඳම චිත්‍රපටය අප තවම දැක නැත. ඒ ඔහු රඟ පෑ සියලු චරිතයන් අබිබවමින් ඉදිරියෙන්ම සිටියි. ඒ ‘එකගෙයි සොකරිය’. ඔහු ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දිනාගත් සම්මාන 42කි. සුමති, රයිගම් හා උණ්ඩා OCIC සම්මානය.

රංගනයට මෙන්ම ගායනට ද එක සේ දස්කම් පෑ ජැක්සන් ජනප්‍රිය ගී රාශියක් ගායනාකර තිබේ. එසේම නිවේදකයකු ලෙසින් පුංචි තිරයේ උදෑසන ආලින්දයේ මිතුරක් ලෙසින් සමීප වී සිටි කාලය බොහෝය.

මේ ඔහුගේ දස්කම් අතර පුංචි මතකයක් පමණකි. ඔහු හදිසියේ අනතුරට පත් නොවන්ට. තවත් බොහෝ දක්ෂතා ඔහුගෙන් අපට දැක ගන්නට තිබුණි. එහෙත් දෛවය ඔහුට සරදම් කරමින් වසරකට වැඩි කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපෙන් සමුගෙන ගියේ අමරණීය මතකයන් රැසක් ඉතිරි කරමිනි.