අපේ තාත්තා තැබූ හිස්තැන තාමත් එහෙම්මමයි

නුවන් ගුණවර්ධනගේ දියණිය ප්‍රථම වරට ප්‍රසිද්ධ වේදිකාවට
නොවැම්බර් 13, 2023

 

එක්තරා උදෑසනක තාත්තාගේ අතේ එල්ලී රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල වෙත ගිය හැටි තාමත් මතකය. එදවස ඒ මඟ දෙපස එතරම් වාහන තිබුණේ නැත. ගස් සෙවණවල් යටින් තාත්තාගේ අත අල්ලා මා බොහෝ දුර ඇවිද ගියෙමි. ඒ දුර මෙතරම් බොහෝ දුරක් යැයි එදින මා සිතුවේ නැත. තාත්තාගේ මුවින් ගිලිහෙන ලයාන්විත පදවැල්වලින් සුපෝෂිත වූ මම ඒ හඬට සහ පෞර්ෂත්වයට අසීමිතව ආදරය කළෙමි. ආදරණීය තාත්තේ ඔබ කොහේ හෝ සිට මට මෙන්ම ඔබේ කුඩා දූ සිඟිත්තියට ආශිර්වාද කරන බව මම දනිමි.

එසේ අතීතය සිහි කරමින් මෙසේ කතා බහට එක්වන්නේ යුගයක් ස්වර අමන්දානන්දයට පත් කළ නුවන් ගුණවර්ධනගේ පුත් ගයාන් ගුණවර්ධන සහ ආදරණීය දියණිය දුලාරි ගුණවර්ධන සමඟයි. ඔවුන් දෙදෙනා මේ කතා බහට එක්කර ගැනීමට සුවිශේෂී නිමිත්තක් තිබේ. ගයාන් නළුවකු ලෙසත් ගායකයකු ලෙසත් බොහෝ දෙනා දන්නා නමුත් දුලාරි ගැන දන්නේ ලංකාවේ අතළොස්සකි. ඔවුන් දෙදෙනා එක්ව මේ වන විට සුවිශේෂී ප්‍රසංගයක් සංවිධානය කොට තිබේ. අප ඔවුන් මුණ ගැසෙන්නේ ඒ සුවිශේෂී මොහොත ගැනත් ජීවිතය ගැනත් කතා බහ කරන්නටය...

ගයාන් අපි ප්‍රසංගයෙන්ම මේ කතා බහ අරඹමු.

මගේ තාත්තා කියන්නේ යුගයක් සංගීතයෙන් කුල්මත් කළ යුග පුරුෂයෙක්. ඒ නිසාම මිනිස්සු අදටත් අපේ තාත්තා ගැන කතා කරනවා. ඒ නිසා තාත්තා වෙනුවෙන් උපහාර ප්‍රසංගයක් අපි සූදානම් කරනවා. ඒ BMICH එකේ නොවැම්බර් 18 වැනි දා සවස 6 ට. කාවින්ද්‍යා අධිකාරි, සජිත ඇන්තනී, සචින් චතුරංග, කුසල් මදුරංග, ගයාන් උඩවත්ත, ඉඳුවර සූරියබණ්ඩාර වගේ අය ආරාධිත ගායන ශිල්පීන් විදිහට සම්බන්ධ වෙනවා. මගේ සහෝදරිය දුලාරි ගුණවර්ධනත් ගායනයෙන් සම්බන්ධ වෙනවා.

මගේ සංගීත කණ්ඩායම Rawds තමයි සංගීතයෙන් දායක වෙන්නේ. පාර දිගේ ටෙලි නාට්‍ය හරහා තමයි මේ සංගීත කණ්ඩායම නිර්මාණය වුණේ. මේ ප්‍රසංගය ඉදිරිපත් කරන්නේ ධනංජය සිරිවර්ධන. ගීත ගායනා කිරීමට අමතරව තාත්තාගේ කටහඬින් කරපු පොඩි පොඩි දේවල් කිහිපයකුත් ප්‍රසංගයට එකතු කරලා තියෙනවා. ඒ වගේම තාත්තා අපිට ඉතිරි කරලා ගියපු සංවේදී සටහන් කිහිපයකුත් ප්‍රසංගය අතරේදී ඉදිරිපත් කරනවා. ඇත්තටම මෙතරම් හඬ පෞර්ෂයක් හිමි තාත්තාට කිසිදිනෙක සම්මානයක් ලැබී තිබුණේ නැහැ. මෙය ඔහුට දෙන එක්තරා විදිහක සම්මානයක් කියලත් මම හිතනවා. තාත්තයි පුතයි tribute to nuwan කියලයි මේ කොන්සට් එක නම් කරලා තියෙන්නේ.

තාත්තා නැති වීමේ අඩුව ගයාන්ගේ ජීව්තයට දැනෙන්නේ කොහොම ද?

තාත්තා එක්ක ළඟින්ම ඇසුරු කරපු කෙනා මම. ඔහු සමඟ විදෙස් සංචාර රැසකට සහභාගි වුණා. ලංකාවේ ප්‍රසංගවලට තාත්තට ආරාධනා කළාම මමයි එයාගේ ඩ්‍රයිවර් වුණේ. අවසන් වතාවට එයා ගීත ගායනා කළෙත් මගේ කණ්ඩායම එක්ක. ඒ අනුරාධපුරයේදී පැවැත්වූ තාත්තයි පුතයි ප්‍රසංගයට.

එයා නැතිවීමේ අඩුව කියලා නිම කරන්න බැහැ. එයයි මගේ අත් දෙක වුණේ. ඒ අත් දෙක මට නැති වෙලා ගියා. ඉතින් දැන් මට දැනෙන්නේ වහලක් නැති ගෙදරක ඉන්නවා වගේ. මොකද මට උපදෙසක් ගන්න මට උඩින් හිටපු චරිතය තාත්තා. තාත්තාගේ නැති වීමත් එක්ක අපේ ගෙදර ගොඩක් වගකීම් මට පැවරුණා. කොටින්ම කිව්වොත් මම දැන් නිල නොවන ගෘහ මූලිකයා වෙලා.

තාත්තා ගැන ඔබට තියෙන අවසන් මතකය ගැන මතක් කළොත්..

ඔහු අවසන් හුස්ම හෙළුවේ මගේ අත් දෙක උඩ. අදටත් මට ඒ සිදුවීම අමතක කරන්න බැහැ. ඒ අඳුරු රාත්‍රිය. හැමදාමත් මගේ ජීවිතයේ කොටසක් වෙයි. මං ඔහුට ගොඩක් ආදරය කළා. ගරු කළා. අදටත් හෙටටත් ඒ ආදරය ඒ ගෞරය වෙනස් වෙන්නේ නැහැ. ඔහු නැති වුණේ 2022 දෙසැම්බර් 09. අවුරුද්දකට ආසන්න කාලයක් ගත වෙලා. ඒ සිදුවීම දැනෙන්නේ අද ඊයේ වුණා වගේ. මායි තාත්තයි අතර තිබුණු සම්බන්ධය පිය පුතු සම්බන්ධයකටත් වඩා සහෝදර බැඳීමක් කිව්වොත් හරි. ඒක එක්තරා විදිහක මිත්‍රත්වයක්.

මේ ප්‍රසංගය ඔබේ සොයුරියගේ ජීවිතයේ සුවිශේෂීම දිනයක්. ඇය ගැනත් වචනයක් කතා කරමු...

දුලාරා ගුණවර්ධන මගේ අක්කා. අපේ තාත්තගේ හුරතලී. තාත්තා තමයි ඇයට දුලාරි කියලා නම දාලා තියෙන්නේ. දුලාරි කියන නමේ තේරුම හුරතලී. අදටත් ඇය ඒ හුරතලීම තමයි. ඇය වැඩිකාලයක් විදෙස්ගත අධ්‍යාපනය හැදෑරුවා. ඇය ප්‍රසිද්ධියේ ගීත ගායනා නොකළාට ඇයට හොඳ ගායන හැකියාවක් තියෙනවා. පියාට ලොකු ආසාවක් තිබුණා ඇයව ගායිකාවක් කරන්න. ඉතින් මං හිතනවා මේ තමයි ඒකට අවස්ථාව කියලා. තාත්තට වගේම ඇයට හින්දි ගීත ගායනා කිරීමේ හොඳ හැකියාවක් තිබෙනවා.

නුවන් ගුණවර්ධනයන් දෑසක් මෙන් රැකගත් ඔහුගේ ආදරණීය පුංචි හුරතලිය දැන් අප ළඟ...

ඉතින් දුලාරි ප්‍රසංගයට සූදානම කොහොම ද?

මෙය මාගේ පළමු ප්‍රාසාංගික අත්දැකීම. ප්‍රසංගයේදි ගීත පහක් තාත්තා වෙනුවෙන් ගයනවා. ප්‍රසංගයේ සියලුම කටයුතු කරන්නේ මල්ලි. මට තියෙන්නේ පොඩි කොටසක්. අවුරුදු 17 දී උත්සවවලදී තාත්තා එක්ක ගීත ගායනා කරලා තියෙනවා. මම ගොඩක්ම ගයන්නේ හින්දි සිංදු. සිංහල සිංදු කියනවා අඩුයි. මගේම කියලා නිර්මාණ නැති නිසා ෂෝ එකේදී තාත්තාගේ සිංදු මගේ හඬින් ගයනවා. ඉතින් අපි හැමෝම එකතු වෙලා කරන මේ ප්‍රසංගය තාත්තා ගැන මතකය ආවර්ජනය කිරීමක් වේවි.

තාත්තා ගැන මතකය දියණියකට අමරණීයයි. නුවන් ගුණවර්ධන වන ඔබේ පියානන් ගැන මතකය ආවර්ජනය කළොත්....

ඔහු පියෙක් වුණේ මම නිසා. ඉතින් ඔහුත් මාත් අතර තිබුණේ ආදරණීය බැඳීමක්. දියණියකට තාත්තෙක් කියන්නේ මහමෙරක්. ඔහු මිය යන විටත් හිතුවේ මා තවමත් ඔහුගේ පුංචි දැරිය කියලයි. ඔහු ගැන ඇති මතකයන් මෙතෙකැයි කියා කිව නොහැකියි. මාගේ මතකය තුළ ඉන්නේ තාත්තාම පමණයි.

ඉතින් දුලාරි රටක් කතා කරන එවන් පියකුගේ දියණියක වීම ගැන මොකද හිතෙන්නේ.

මට ඔහු ගැන ආඩම්බරයි. මල්ලිත් මමත් අද යම් තැනක ඉන්නවා නම් ඒ ඔහු නිසයි. මල්ලිත් ඔහුගේ මඟ යමින් අද කලාව තුළ හොඳ නමක් දිනා සිටිනවා. නමුත් මාව දන්න පිරිස ඉතාම අල්පයි. නමුත් නුවන් ගුණවර්ධනගේ දියණිය කිව්වාම මාව දන්න පිරිස බොහොමයි. ඒ තාත්තා උපයාගත් දෙයයි. ඔහු මිනිසුන්ගේ ආදරය රසිකත්වය දිනාගත් කලාකරුවෙක්. ඔහු ඔහුමයි. තාත්තා තැබූ හිස්තැන කිසිදා පිරවිය නොහැකිය.

කිරි මුහුදු වෙරළේ නැළවී තරංගා කාගේද පිළිරූ අඳී... ඒ රූප ඡායා ඔබගේ නොවේදෝ.. කඳුලින්ම ගැයූ පෙම් ගීත අසන්න එදාට අනිවාර්යෙන් එන්න.