නිවෙසින් ඉවතලන කුණු මල්ලෙන් කන්දක අස්වැන්න

දෙසැම්බර් 23, 2020

වස විසෙන් තොර ආහාර වේලක් සපයා ගැනීම වූ කලී වර්තමානය වනවිට තරමක් දුෂ්කර කටයුත්තක් බවට පත් වී හමාරය. ඒ තරමටම වස විස සහිත කෘත්‍රිම, ක්ෂණික ආහාරපාන අපේ දෛනික කෑම වේල බිලි අරගෙන.

ඒ විතරක් නම් නෙමෙයි මේ වස විස නිසා බෝ නොවන රෝග කීයකින් නම් අපේ අය පීඩා විඳීනවා ද?

නොසිතූ මොහොතක දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් විතරක් නෙමේ පිළිකා වාගේ දේවල් වුණත් පැන නගින්නේ අප සතුව ඇති මේ අවිධිමත් ආහාර පාන රටාව නිසාමයි.

ඒ වාගේම මේ දිනවල අපව බිය වද්දන කොරෝනා වසංගතයට පවා වැඩි වශයෙන් බලපානු ලබන්නේ අපේ ප්‍රතිශක්ති හීනතාවයි. අප ගන්නා ආහාරපානවල අඩංගු වස විස අපේ ප්‍රතිශක්තිකරණයට බලපානු ලබයි. ඒ නිසා වසංගත රෝග වැලඳීම සඳහා ද මෙම ආහාරවල අඩංගු වස විස වක්‍රාකාරයෙන් උදවු උපකාරී වන බව ඔබ මොහොතකට නොසිතන්නට ඇති.

ගෙවතු වගාවටත් වස විස

ඉතින් ඇත්තටම අපිට බැරි ද මේ වස විසෙන් තොර ආහාර වේලක් සකසා ගන්න. බැරි නැහැ පුළුවනි. නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ එතැන නෙමෙයි.

අපේ ගෙවත්තේ තියෙන පුංචි ඉඩකඩෙහි හදන වගාවටත් වසවිස සහිත රසායනික පොහොර වර්ග යොදා ගැනීමයි. මොකද අනාදිමත් කාලයක සිට අප හිතාගෙන ඉන්නේ හොඳ අස්වැන්නක් ලබාගන්න නම් නිසි කලට පොහොර යොදා ගත යුතුයි කියලයි.

හැබැයි ඒ කලට වේලාවට යොදා ගන්නා රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදා ගන්න පුළුවනි කියන කාරණය අපට අමතක වෙලා.

එහෙමත් නැත්නම් අමතක කරලා. මොකද ලස්සනට පැකට්වල අහුරලා තියෙන පොහොර ටිකක් මිලදී ගන්නවාට වඩා තමන්ගෙ නිවෙසේ දී කාබනික පොහොර ටිකක් හදාගන්න එක කරදරයක් විදියට තමා අපි හිතෙන්නෙ. එහෙමත් නැත්නම් බොහෝ දෙනෙක් සතුව තියෙන උත්තරේ තමයි ඒකට අපිට වෙලාවක් නෑ. අපි ඕවා ගැන දන්නේ නෑ කියන එක.

එහෙම වෙලාවක් නෑ. දන්නෙ නෑ. ඕවට ඉඩකඩ නෑ කියන අය වෙනුවෙන් තමයි අද අපි මේ නිවෙසේදීම කාබනික පොහොර ටිකක් හදාගන්න හැටි කියා දෙන්න සූදානම් වන්නේ.

මුළුතැන්ගෙයින් ඉවතලන අපද්‍රව්‍ය

නාගරික මහල් නිවාස, අර්ධ නාගරික නිවාස නැතිනම් ගම්බද නිවාස කියා වෙනසක් නැහැ. මුළුතැන්ගෙය තුළ සිදු කෙරෙන්නේ එකම රාජකාරියයි.

ඉතින් අපේ මේ මුළුතැන්ගෙය තුළින් දිනකට කොයිතරම් නම් දිරාපත්වන කුණු කසළ ප්‍රමාණයක් අවට පරිසරයට එකතු වෙනවා ද? නාගරිකව නම් මේ සියල්ල පුරුද්දක් හැටියට කුණු ලොරියට භාරදීමයි සිදුවෙන්නෙ.

ගමක නම් ගෙවත්තේ කොහේ හෝ ඉඩක් ඒ සඳහා වෙන්වනවා ඒ කුණු ගොඩක් හැටියට.

මේ විදිහට මුළුතැන්ගෙයින් බැහැරලන දිරාපත්වන පිළුණු ආහාර, එළවළු හා පලතුරු කොටස් අපට පහසුවෙන් කොම්පෝස්ට් පොහොර බවට පත්කරගන්න පුළුවනි. එසේ නොකරන ඔබ තමන්ගෙ ගෙවතු වගාවට කොම්පෝස්ට් පොහොර සල්ලිවලට ගන්න පුරුදු වෙලා.

මොහොතක් සිතන්න. ඔබේ ගෙවත්තේ තිබෙන ඉඩකඩෙහි කුඩාවට හෝ වළක් කපාගන්න. එලෙස වළක් කපා ගැනීමේ ඉඩ කඩක් නොමැති නම් කුණු කසළ දැමිය හැකි බඳුනක් තබන්න. ඔබ නාගරික මහල් නිවාසයක ජීවත් වුවද නිවෙසේ බැල්කනියක මෙම කුණු බඳුනක් පහසුවෙන්ම තබා ගත හැකියි.

අනතුරුව දවස පුරාම මුළුතැන්ගෙයින් ඉවතලන පහසුවෙන් දිරන අපද්‍රව්‍ය සියල්ලම එයට දමන්න. දිනපතා නිවෙස අතුගාන කුණු දූවිලි ටික ද දමන්න.

ගස්කොළන්වලින් වැටෙන කොළ ටික ද එයටම දමන්න. හැබැයි නොදිරන ද්‍රව්‍ය ඒ කියන්නේ ප්ලාස්ටික්, පොලිතීන්, කඩදාසි මෙයට නොදමන්නට වගබලාගන්න. ඒවා එකතුකර ඔබේ කුණු ලොරියට බාර දෙන්න.

මාස කිහිපයක් ගත වුණාට පසුව ඔබේ පොහොර අස්වැන්න ගොඩ ගන්න. ඒවා පෝච්චිවලට පුරවා අපූරු වගාවක් සකසාගන්න.

තවත් විශාල ප්‍රමාණයක් ඉතුරුවුණා නම් පොහොර ටික පැකැට්ටුවලට දමලා වෙළෙඳපොළට ලබා දෙන්නත් පුළුවනි.

ඔබ දකින මේ පස් කන්ද වසරක් පුරා රැකගත් එවැනි කුණු වළක සාරවත් අස්වැන්න යි. තවත් කෙටි කලකින් මෙබඳුම සාරවත් කුණු වළක් සකසාගෙන සරු අස්වැන්නකට හිමිකම් කිවහැකියි. එමඟින් වගා සෞභාග්‍යාවේ මිහිරියාව ඔබටත් අත්විඳීය හැකියි. ඒ සතුට විඳීන්නට ඔබට කිසිදු වෙහෙස මහන්සියක් හෝ වියදමක් නැති වේවි.

 

උපදෙස් - ප්‍රවීණ ජනශ්‍රැති පර්යේෂක සහ ලේඛක

මහින්ද කුමාර දළුපොත