නි‍ෙවසට ධනය ගලා එන උල්පත මතු කරන රහස

ජනවාරි 22, 2024

 

 තාක්ෂණයෙන් ඉදිරියට පැමිණි කෘත්‍රිම බුද්ධිය හා වැඩ කරන සමාජයක අද අපි දිවි ගෙවමු. එහෙත් තාක්ෂණය කෙතරම් දියුණු මට්ටමක පැවතියත් ඇතැම් දේ අපට අවබෝධ කර ගැනීමට නොහැකි සංකීර්ණ ගැටලු ද රාශියක් පවතී. නි‍ෙවසක් තැනීමට භාවිත කරන්නේ ගොඩනැගිලි තාක්ෂණයයි.

එයද වර්තමානය වන විට ඉතාම දියුණු වී, බොහෝ කාර්යයන් ඉතාම සරල ක්‍රම යොදා ගැනීම දක්වා දියුණු වී පවතී. මේ තරම් දියුණු තාක්ෂණයක් හමුවේ ද ඇතැම් විට නිවෙසක් තනා ගැනීමට අපට ඇතිවන බාධා බොහෝය. එම බාධා ගැටලු ලෝකයේ දියුණු යැයි සම්මත තාක්ෂණයට විසඳා ගැනීමට අසීරු ය. අද අප සිටින්නේ තාක්ෂණය දියුණු ආධ්‍යාත්මය සමඟ ගොඩනැඟෙන සංකීර්ණ වූ උපරිම සමාජ ව්‍යුහයකය. ඒ සමාජය තුළ අතීතයේ පැවති ජෝ‍යතිෂ්‍ය විද්‍යාව හා බැඳි වාස්තු විද්‍යාත්මක න්‍යායන් ගැඹුරින් අධ්‍යයනය කිරීමට සිදු වී ඇති අතර, ඒවා සම්පූර්ණයෙන් බැහැර කිරීමට නොහැකි පසුබිමක් ද නිර්මාණය වී තිබේ.

ඒ නිසාම අපට වාස්තු විද්‍යාවේ විවිධ සම්මතයන් හා සිද්ධාන්ත වර්තමාන සමාජ ප්‍රපංචයන් හා ව්‍යුහගත කිරීමට සිදු වී තිබේ.

නි‍ෙවසක් තැනීමට පෙර කළ යුතු වැදගත් කාර්යයන් අතර ඉඩමේ පාද බෙදා ගැනීම විශේෂ වේ. වර්තමානයේ පර්චස් දහයට අඩු පර්චස් තුන දක්වා වූ කුඩා ඉඩම් කැබැලිවලද නිවාස ව්‍යාපාර වැනි ගොඩනැඟිලි ඉදි කිරීම් සිදු කරයි. පාද බෙදීමේදී මෙවැනි කුඩා ඉඩම් කැබලිවල ගොඩනැඟිලි ඉදි කිරීමේදී විවිධ අපහසුතාවයන් මතු වේ. නමුත් දක්ෂ වාස්තු විද්‍යාඥයෙකුට එවැනි ගැටලු විවිධ උපක්‍රම මඟින් විසඳා ගැනීමට හැකියාව ඇත. ඒ සඳහා හොඳම විසඳුම වන්නේ ඉඩමේ පාද බෙදීමයි. පාද බෙදීමේදී ඉඩම් කැබැල්ලේ මායිම් රේඛාවල සිට ප්‍රේත පාදය, මනුෂ්‍ය පාදය, දේව පාදය, බ්‍රහ්ම පාදය, යනුවෙන් වෙන් කරනු ලැබේ. නමුත් කුඩා ඉඩම් කැබැල්ලකට මෙම කොටස් වෙන් කර ගැනීම ප්‍රායෝගික කටයුත්තක් නොවනු ඇත.

මෙහිදී කළ යුත්තේ මෙම පාද බෙදීමද උපයෝගී කරගෙන නිවෙසට වාතාශ්‍රය වැනි ශුභ ශක්තීන් ගලා එන ආකාරයට නිවෙස සකසා ගැනීමට වාස්තුවේදියකුගේ උපදෙස් ලබා ගැනීමය.

මෙම ශුභ ශක්තිය පිළිබඳ ජ්‍යොතිෂවේදීන් පවසන අන්දමට විශ්ව ශක්තිය ගේ තුළට ඒම බාධා වන ආකාරයට නිවෙස ඉදිකළහොත් එම නිවෙසේ පංදිචි වන අයට විවිධ කරදර බාධක ආර්ථික අපහසුතා, ලෙඩ රෝගවලට නිරන්තරයෙන් මුහුණ දීමට සිදු වේ. උදාහරණයකට උතුර සහ නැඟෙනහිර අන්ද බිත්තියක් (Blind Wall) යොදාගෙන නිවෙස ඉදිකළහොත් ගෙහිමියන් දිනෙන් දින පරිහානියට පත්වන බව සඳහන් කළ යුතුය. මෙම කාරණා මෙසේ වුවද එම ඉදිකිරීම් කිරීමේදී යම් යම් උපක්‍රම මඟින් ස්වාභාවික ශක්තිය ගලා ඒමට සැලැස්විය හැකි ක්‍රම තිබේ.

ඉහත සඳහන් කළ පාද බෙඳීම තරමක ප්‍රමාණයෙන් වැඩි ඉඩම් කැබැලිවලට පහසුවෙන් ආදේශ කළ හැකිය. මෙහිදී මෙම සඳහන් කළ පාද 4න් බ්‍රහ්ම පාදය විශේෂ ස්ථානයක් ගනී. මෙම බ්‍රාහ්ම පාද පීඩාවෙන ආකාරයට ඉඩමක යම් ඉදි කිරීමක් හෝ Toilet වළක් දමා අපිරිසුදු වුවහොත් එයද විශාල වාස්තු දෝෂයකි. විශේෂයෙන් නි‍ෙවසට ද එය අදාළ වන අතර, නි‍ෙවසක පවතින මෙම බ්‍රාහ්ම පාදයද එනම් මාධ්‍ය ලක්ෂ්‍යය පීඩා නොවන අාකාරයට ඉදිකිරිමක් කරගැනීම ඉතා වැදගත් වේ. මෙම බ්‍රාහ්ම පාදයට එනම් මධ්‍ය ලක්ෂ්‍යය මත යම්කිසි අත්තිවාරමක්, උළුවස්සක්, වැසිකිළික්, වහලක ලී පරාල එකට සම්බන්ධ වන ස්ථානයක් මර්මස්ථානයක් හැටියට සැලකේ. ඉහත සඳහන් කළ මෙවන් සාමාන්‍ය වාස්තු දෝෂවලින් තොරව නිවෙස තනාගැනීමෙන් ගෙහිමියාට සෞභාග්‍ය යහපත ධන සම්පත් උදාකර ගැනීමේ භාග්‍ය ඇත.

ඉදිරි සතිවලදී අප වාස්තු විද්‍යාත්මක නිවෙසක අංග ස්ථානගත කරන ආකාරය හා එම කොටස්වල නිවැරැදි පිහිටීම පිළිබඳ වඩාත් හොඳින් සාකච්ඡා කරමු.

 

උපදෙස් -

ධර්මපාල සොන්දප්පෙරුම

ආරච්චිගේ

සංහිඳ ජෝතිෂ්‍ය හා වාස්තු විද්‍යාපදනම

මඩපාත පාර කොටගෙදර

පිළියන්දල