මුල්ගල කඩෙන් ගත්තොත් දෝෂ ගොඩයි

ජනවාරි 15, 2024

 

පැතුම් ගොන්නක් මැද විකසිතවන නව වසරේ ඔබ සැබෑ කරගත යුතු සිහිනයක් තිබේ. ඒ තමයි තමුන්ටම කියා සාදන සොඳුරු නිවහන. මේ සොඳුරු නිවහන ඉතාම පිවිතුරු ලස්සනම ලස්සන නිවහනක් බවට පත්කර ගැනීමේ වගකීම සම්පුර්ණයෙන්ම පැවැරෙන්නේ ගෘහණියකට. ඒ කියන්නේ නිවෙසක් සෑදීමේ කටයුත්තට මුල පුරපු දිනයේ පටන්ම ඔබට ලොකු වගකීමක් වගේම රාජකාරියක් පැවරෙනවා. මෙවැනි සොඳුරු නිවෙසක් තැනීම සඳහා අපට භෞතිකව අවශ්‍ය වන අමුද්‍රව්‍ය, නිවාස සැලසුම හා කාර්මික ශිල්පීන්ට අමතරව අධ්‍යාත්මිකව ලබන ආශිර්වාදය හා වත් පිළිවෙත් විශාල බලපෑමක් සිදුකරනවා. අප පසුගිය සතියේදී නිවෙසක් තැනීමට පෙර කළ යුතු බහිරව පූජාව ගැන කෙටි පැහැදිලි කිරීමක් කළේ ඒ නිසයි.

 

මෙලෙස බහිරව පූජාවක් තැබීමට පෙර ඉඩමේ ස්වභාවය ගැන ද කෙටි පැහැදිලි කිරීමක් කළේ ඉඩමක පවතින වාස්තු දෝෂ ද මඟ හරවා ගැනීමට පහසු කිරීමටයි. ඉඩමක් තෝරා ගැනීමේදී ඉඩමේ හැඩය, පසේ ස්වභාවය, මායිම්වල ස්වභාවය, ඉඩමෙහි වටපිටාව ගැන ද අපගේ අවධානයට යොමු කළ යුතුව ඇත. එසේ අප ඉඩම තෝරා ගැනීමේදී එවැනි ඉඩමක් තෝරා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ අලුතින්ම ඉඩමක් මිලදී ගන්නා විටය. නමුත් මිලදී ගත් ඉඩමක වාස්තු දෝෂ ඇති නම් කළ යුතු පිළියම් රාශියක් වස්තු විද්‍යාවේ සඳහන්ව තිබේ. ඒ සඳහා ප්‍රවීණ වාස්තු ශාස්ත්‍රඥයකුගේ උපදෙස් ලබාගැනීම මුලින්ම කළ යුතු කටයුත්තකි.

බහිරව පූජාවක් තැබීමෙන් පසු ඊළඟට අප කළ යුතු ප්‍රධානතම පියවර වන්නේ නිවෙස තැනීම සඳහා මුල් ගල් තැබීමයි. මෙය ද වාස්තු විද්‍යානුකූලව ඉතාම වැදගත් සාධකයකි. විවාහ මංගල නැකැතට නොදෙවැනි වූ මේ මුල්ගල් තැබීමේ නැකැත සඳහා පළමුවෙන්ම අදාළ ගෙහිමියාගේ සහ ගෘහණියගේ මෙන්ම දරුවන් සිටී නම් එම දරුවන්ගේ නැකැත්වලට සීහුම් වන දිනයක් ඒ සඳහා තෝරා ගැනීමයි. මෙලෙස දිනයක් තෝරා ගැනිමේදී කෝණ මාසවලට අදාළ නොවන දිනයක් වීම ඉතාම වැදගත්ය. එනම් රවි ග්‍රහයා, මිථුන, කන්‍ය, ධනු සහ මීන රාශිවල ගමන් කරන කාල හෝරාවක් සහ වකවානුවක් නොවිය යුතුය. මෙහිදී  ජ්‍යොතිෂ්‍ය සිද්ධාන්තවලට නැකැතක් සාදා ගැනීමේදී විශේෂයෙන් මේ ග්‍රහයා සිටින නැකැතේ සිට අප තෝරා ගන්නා නැකැත පහත දැක්වෙන ඉසිවරුන්ගේ මතයට අනුව සුදුසු දිනයක් විය යුතුය. ජ්‍යෙතිෂ්‍ය විද්‍යාවේදී මෙය ‍ගෙවල්සක නම් වූ සිද්ධාන්තයට අනුව තෝරාගැනීමේ දිනයක් වඩාත් සුදුසුය. මුදුන නව නැකැති ගින්නෙන්ම දන්නේ ගෙතුළේ දෙපිට සයගේ පාළු වන්නේ

ගේ මුල නැකැත ගේ හිමියා මැරෙන්නේ

මැද දොළසින් සිරි දී ලාභ වන්නේ

 

පැරැණි ජ්‍යෝතිෂ්‍ය ග්‍රන්ථයක සඳහන් මෙම කවියේ සඳහන් ආකාරයට ගෙයක් සැදීමේ නැකැත ඉතා ප්‍රබල සාධකයකි. මෙම නැකැත රවි සිටින නැකැතේ සිට 15 වැනි නැකැත වුවහොත් ගෙහිමියාට මාරකවන බව මේ කවියෙන් කියැවේ. මෙය වළකා ගැනීම සඳහා නැකැත් සකසාදීම ජ්‍යෝතිශවේදීයකුගේ වගකීමකි. මුල්ගල් තැබීමේ නැකැතට හරිබාහිරව සෙසු නැකත් ලෙස ගෙපළ සුද්ධ කිරීම, ප්‍රථම කුඤ්ඤය ගැසීම, ලණු ඇදීම, අත්තිවාරම් කැපීම සහ අනෙකුත් කටයුතු සඳහා ඒදිනයේදීම නැකැත් පිළියෙල කරදීම ජ්‍යෝතිශාස්ත්‍රඥයේ වගකීමකි.

මෙම නැකැත් පිළිවෙළ කරදීමෙන් පසු මුල්ගල් තැබීම සඳහා අපගේ විශේෂ අවධානයක් යොමුවිය යුතුය. බොහෝ දෙනෙකු වර්තමානයේ මුල්ගල් තැබීමේ චාරිත්‍රය ද විලාසිතාවක් බවට පරිවර්තනය කරගෙන තිබේ. ඒ සඳහා බොහෝ දෙනෙකු මුල්ගල් විකුණන සිංහල ඔසු හලකින් හෝ කඩයකින් මුල්ගලක් මිලදී ගනියි. මෙය එතරම් සාර්ථක පියවරක් නොවේ. මේ සඳහා විශේෂයෙන් කළු ගලෙන් සකස් කරන ලද ගලක් පිළියෙලකර ගැනීම ඉතා වැදගත්ය. වාස්තු ග්‍රන්ථයන්හි සඳහන් ආකාරයට එම ගලට නවරත්න, පස්ලෝ... ආදී ද්‍රව්‍යයන් තිස් ගණනකින් යුතු මුල් ගලක් සකසා ගැනීම සාර්ථකම ක්‍රමයයි.

මුල්ගල් තැබීමට අමතරව ප්‍රථම කුඤ්ඤය ගැසීම සහ වැඩ ආරම්භ කිරීම සඳහා ද විශේෂ අවධානයක් යොමු වේ. පාද බෙදා ගන්නා ලද මංගල කුඤ්ඤය ගැසීම සඳහා වාස්තු නාග සංකල්පයක් ජ්‍යෝතිශවේදයේ භාවිතා කරයි. මේ අනුව ඒ ඒ මාසවලදී මංගල කුඤ්ඤය ගැසීම සහ ගෘහයේ වැඩ ආරම්භ කිරීම තීරණය කරනු ලැබේ.

 

උපදෙස් -

ධර්මපාල සොන්දප්පෙරුම

ආරච්චිගේ

සංහිඳ ජ්‍යෝතිෂ්‍ය හා වාස්තු විද්‍යා පදනම