​පාරාදීසයේ කුරුල්ලා

ඔක්තෝබර් 2, 2023

නෙතු රවටන සුමුදු මලක හැඩතල නොවුවද, සිත වසඟ කරනා මුදු සුවඳක් නොහැමුවද, ආකර්ෂණීය වර්ණවත් බව නිසාම මල් ලෝලීන් ප්‍රියකරන ශාකයකි ස්ට්‍රෙලිට්සියා. ලතින් භාෂාවෙන් මෙය ස්ට්‍රෙලිට්සියා ලෙසින් හැඳින්වූවද මෙරට මල් ලෝලීන් අතර එය වඩාත් ප්‍රචලිතව ඇත්තේ බර්ඩ් ඔෆ් පැරඩයිස් (පාරාදීසයේ කුරුල්ලා), රෝයල් බර්ඩ් (රාජකීය කුරුල්ලා) යන නම්වලිනි.

ස්ට්‍රෙලිට්සියා මල ලොස් ඇන්ජලීස් හි නිල සංකේතයවන අතර 2005 වර්ෂයේ සිට පෘතුගාලයේ මැඩෙයිරා දූපත් සමූහයේ ජාතික පුෂ්පය ද වේ.

ගෘහාශ්‍රිත පැළයක් ලෙසින් උද්‍යාන අලංකරණයේ දී මෙන්ම මල් සැරසිලි සඳහා ද භාවිත කරන මෙම ශාකය රයිසෝමයකි. එය සාමාන්‍යයෙන් මීටර් 1 1/2 , 2 දක්වා වර්ධනය වේ. තද කොළ පැහැති කොළ ඕවලාකාර හැඩයක් ගනී. පුෂ්ප මංජරිය කොළවලට වඩා ඉහළින් පිහිටා ඇති අතර තැඹිලි හෝ දම්, නිල් පැහැති පෙති තුනකින් සමන්විතය.

දේශගුණික අවශ්‍යතා

 

තරමක් ඉඩකඩ සහිත එළිමහනේ හොඳින් වගා කළ හැකි මේ ශාකයට විසුරුණු දීප්තිමත් හිරු එළියක් හෝ අර්ධ සෙවණ ආලෝකය අවශ්‍ය වේ. හැකිනම් එකවරම ශාකය මත පතිතවන සෘජු හිරු එළිය වළක්වා පාර්ශ්විකව ශාකය නිරාවරණය කළ හැකි නම් එය වඩාත් අගනේය.

 

ඊට අමතරව සෙල්සියස් අංශක 20 - 28ත් අතර ප්‍රමාණයේ උෂ්ණත්වයක් සහ 60% පමණ අර්ද්‍රතාවයක් මේ ශාකයේ මනා වර්ධනයට යෝග්‍ය වේ.

 

ශාක ප්‍රචාරණය සහ වගා මාධ්‍යය

 

රයිසෝම මඟින් මෙම ශාකය බෝකර ගත හැකි අතර ඒ සඳහා වැලි සහ කොහුබත් වගා මාධ්‍ය ලෙස භාවිත කළ හැක.

මෙහිදී,

* මතුපිට පස් කොටස් 01ක්

* කොහුබත් කොටස් 01ක්

* රොන්මඩ රහිත වැලි කොටස් 01ක්

බැගින් ගෙන එකට මිශ්‍රකර වගා මාධ්‍යය සකසා ගන්න.

ඔබේ රුචිකත්වය මත පැළ බඳුන්ගතව හෝ ගෙවත්තේ කෙළින්ම සිටුවීම කළ හැකිය. එහිදී ඔබ ගෙවත්තේ සිටුවන්නේ නම් කාබනික පොහොර එක් කළ හැකියි.

 

ජල සැපයුම

වගා මාධ්‍යයේ තෙතමනය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අවශ්‍ය පරිදි ජලය යෙදිය හැකියි. මහා පරිමාණ වගාවකදී නම් විසුරුම් හෝ බිංදු ජල සම්පාදනය වැනි කාර්යක්ෂම ජල සම්පාදන ක්‍රමයක් භාවිත කරන්න.

 

පොහොර

 

N:P:K: 20:20:20 අනුපාතයට ගැළපෙන පරිදි දියර පොහොර සතියකට වරක් භාවිත කළ හැකිය. ශාකය වර්ධනය සහ පඳුරු දැමීම වැනි කාර්යයන් සඳහා N:P:K:

 

30:10 :10 අනුපාතය සහිත දියර පොහොරක් සතියකට වරක් යොදන්න.

ඊට අමතරව කාබනික දියර පොහොර සති දෙකකට වරක් යෙදීමෙන් ද මේ ශාකයේ අලංකාර ස්වභාවය වර්ධනය කරගත හැකියි.

 

ඔබ කැට පොහොර භාවිත කරන්නේ නම් පැළයකට ග්‍රෑම් තුනක්වන සේ ශාකය අවට වගා මාධ්‍යයට සති දෙකකට වරක් යෙදිය හැකියි. පෝෂක මූලද්‍රව්‍ය සෙමෙන් නිදහස් කරන කැට පොහොර භාවිත කරන්නේ නම් එය මාස හතරකට වරක් යෙදීම සෑහේ.

 

රෝග

 

මේ සොඳුරු ශාකය අවලස්සන කරන රෝගයක් ලෙස පත්‍ර කහ පැහැ ගැන්වීම බොහෝ විට දක්නට ලැබේ. එයට හේතු වන්නේ ආලෝකය මදිකම සහ මුල් කුණු වීමයි. එබැවින් වගා භූමිය තෝරා ගැනීමේදී හා ආලෝකය, සෙවණ, උෂ්ණත්වය, ආර්ද්‍රතාව වැනි දෑ හොඳින් පවත්වාගෙන යෑම පිළිබඳ ඔබේ අවධානය යොමු කරන්න.

 

මෙම ශාකයට හොඳ විදේශ ඉල්ලුමක් ඇත. එබැවින් මල් වගාකරුවන් මෙවැනි මල් වර්ග වගා කරන්නේ නම් හොඳ අපනයන වෙළෙඳපොළක් හිමිකර ගත හැකි වේවි.

 

උපදෙස් -

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ,

මල් වගා පර්යේෂණ සහ සංවර්ධන අංශයේ,

ඩබ්. යූ. එල්. අඹගස්පිටිය