නියම පිරිසුදු පොල්තෙල් ගෙදර හිඳගන්න කදිම සරල උපකරණයක්

ස්වයං ව්‍යාපාරයකටත් කදිමයි
අප්‍රේල් 14, 2021

 


 

මේ උපකරණය තමුන්ගේ නිවෙසේදීම කුඩා පරිමාණයේ පොල් ගෙඩියකින් නියම ස්වාභාවික, ගුණාත්මක පොල්තෙල් මිලි ලීටර් 100 ක ප්‍රමාණයක් නිස්සාරනය කරන යන්ත්‍රයක්. එම කුඩා යන්ත්‍රයට අමතරව පොල් ගෙඩි 3 - 5 ප්‍රමාණයක් යොදාගෙන ස්වාභාවික පොල්තෙල් මිලි ලීටර් 300 ක ප්‍රමාණයක් ලබාගත හැකි උපකරණයකුත් නිෂ්පාදනය කර තිබෙනවා.

 

ආනයනික පොල්තෙල්වල පිළිකාකාරක රසායන අඩංගුයි. මෙය අවුරුදු ගණනාවක පටන් කතා කළත් මෙවර අවුරුදු සමයත් සමඟ එය වඩාත් ප්‍රබල මාතෘකාවක් වුණේ සමාජ මාධ්‍ය නිසයි.

කොහොම වුණත් නැවතත් ‘අප රට දේ සිරි සැප දේ පිටරට දේ අපට නොවේ’ කියන තත්ත්වයට දැන් පාරිභෝගික ජනතාව පත් වෙලා. දැන් ගැටලුව අපේම රටේ පොල් තෙල් වුණත් හොඳම පිරිසුදු නියම පොල්තෙල් සොයා ගැනීමයි. ඒ ගැටලුවට ක්ෂණික විසඳුමක් නැති වුණත් පුංචි උත්සාහයක් කළොත් පිටරටවලින් පොල්තෙල් ආනයනය කිරීම නැවැත්වීමටත් අපට පුළුවන්.

නර්ඩ් අයාතනය නිර්මාණය කරන උපකරණ අතර පොල් තෙල් නිෂ්පාදනය කරන මේ උපකරණය ගෘහස්ථ උපකරණයක් ලෙස තමුන්ගේ නිවෙසට ප්‍රමාණවත් තරමට ඉතාම පිරිසුදු පොල් තෙල් නිෂ්පාදනය කර ගන්න හැකිවීම විශේෂ වාසියක්. එසේම සරල ආකාරයට නිර්මාණය වූ මේ උපකරණය අඩු මුදලකට මිලදී ගැනීමටත් අවස්ථාව උදාවී තිබෙනවා.

තමුන්ගේ නිවෙසේදීම ඉතාම පහසුවෙන් විනාඩි කිහිපයකින් නැවුම් පොල්තෙල් (Vergin Coconut Oil)සාදා ගැනීමට හැකි මේ උපකරණය නිෂ්පාදනය සඳහා තාක්ෂණික දැනුම හා පර්යේෂණ සිදු කර තිබෙන්නේ් නර්ඩ් ආයතනය.

ඒ වගේම මේ උපකරණයේ පේටන්ට් බලපත්‍ර සහතිකය හිමිකරගෙන තිබෙන්නේ ද මේ ආයතනයමයි.

පොල් ගෙඩියකින් තමුන්ගේ නිවෙසේ්දීම පොල්තෙල් නිෂ්පාදනය කරන මේ උපකරණයේ ඇති වාසි ගැන අපට වඩාත් හොඳින් විස්තර කිරීමට එක්වුණේ නර්ඩ් ආයතනයේ අලෙවි සහකාර අධ්‍යක්ෂ දිල්රුක්ෂි පතිරණ මහත්මියයි. ඇය එහි ඇති වාසි හා ගුණාත්මකබව ගැන අපට මැනවින් පැහැදිලි කළේ මෙලෙසින්.

"‑මෙම නැවුම් පොල් තෙල්වල විශේෂත්වය වන්නේ 100% ක් ස්වාභාවිකයි. එසේම මේ උපකරණයෙන් තෙල් නිස්සාරණය කිරීමේදී කිසිම රත්වීමකට භාජනය වෙන්නේ නැහැ. ඒ නිසා විටමින් හා පෝෂ්‍ය පදාර්ථ එලෙසින්ම සුරක්ෂිතව පවතිනවා. එසේම මෙහි මේද අම්ල ප්‍රමාණය 0.15 - 0.2 ප්‍රමාණයක් පවතින්නේ කිසිම රසායනික සාන්ද්‍රණයකට භාජනය නොවන නිසයි. මෙහි තවත් එක් විශේෂත්වයක් වන්නේ පොල්තෙල් ටික දිනකින් මුඩු නොවීමයි.

බොහෝ විට ඔබ පොල්තෙල් වෙළෙඳපොළෙන් මිලදී ගත් විට ටික දිනකින් මුඩුවීම සිදුවෙනවා. නැතිනම් රත්කර නිවෙසේදීම තෙල් සිඳීම කළත් ඉතාම ඉක්මණින් මුඩු වෙනවා. එහෙත් මේ උපරකණයෙන් නිස්සාරණය කර ගන්නා තෙල් දීර්ඝ කාලයක් හොඳින් තබා ගන්න පුළුවන්.

එසේම මේ උපකරණය මිලදී ගෙන ඔබට කුඩා පරිමාණයේ ස්වයං රැකියාවක් නිවෙසේම ආරම්භ කරන්නත් හැකියාව තිබෙනවා.

පොල් ගෙඩියක ප්‍රමාණයේ සිට පොල් ගෙඩි 100 දක්වා නිස්සරණය කළ හැකි විවිධ ප්‍රමාණයට නිෂ්පාදනය කළ උපකරණ 04 ක් අප හඳුන්වා දී තිබෙන්නේ නිවාස, ආයතන හා හෝටල් යන සෑම ආයතනයකට සරිලන ආකාරයටයි. මේ උපරකණයේ පොල් නිස්සාරණයේදී පොල් දීර්ඝ කාලයක් අව්වේ වියළා ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. පොල් ගෙඩිය හොඳින් ගාගත් පසු අව්වේ පැය 2 ක් තරම් වියළා ගැනීම ප්‍රමාණවත්. මෙසේ පොල් තෙල් නිස්සාරණය කරගත් පසු එයට මඳ රස්නය ඇති ජලය එක්කර පොල් කිරි සාදා ගැනීමටත් හැකිවීම විශාල වාසියක්. එය ඔබට ව්‍යංජන සඳහා යොදා ගන්නත් පුළුවන්. මේ උපකරණයක් ඔබගේ නෑ හිතමිතුරන්ට තෑගි කිරීමට අවශ්‍ය නම් හෝ වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් අපට කතා කරන්න. නිරතුරුවම ඒ සඳහා මඟ පෙන්වීම ලබාදීමට අප සූදානම්.”

 

 

 

0112429591