සිහින නිවහනේ බිත්තිවලට කලාත්මක වෙනසක්

නොවැම්බර් 15, 2021

 

වෙහෙසකර දවසක අවසානයේ අප කවුරුත් නිවෙස් වෙත පියමනින්නේ අතිශයින් විඩාබරවයි. ඒ ඇඟපත දොවාගෙන උණුසුම් තේ කෝප්පයක් තොල ගාමින් මොහොතක් විඩාව සංසිඳුවා ගන්නට හැකි අපේම තැන, සිතට දැනෙන එකම ස්ථානය එය බැවිනි. ජීවිතයේ සරතැස නිවා සනහාලන මිහිපිට දිව්‍ය ලෝකය තමන්ගේ සොඳුරු කැදැල්ලයි.

ඉතින් ගතසිත නිවන මේ අපූරු නවාතැන සුවපහසු බවින් සේම සුන්දරත්වයෙන් කලඑළි ගන්වන්නටත් අප පසුබට වන්නේ නෑ. විශේෂයෙන්ම නිවහනේ අලංකාර පෙනුම වැඩි කරවන විවිධාකාරයේ අංගෝපාංග ඊට එකතු කරන්නටත්, ඒවා ක්‍රමානුකූලව නඩත්තුª කරන්නටත් අපි කවුරුත් නිරතුරුවම උත්සාහ දරන්නෙමු. එපමණක් නොව කාලයේ තාලයට ගැළපෙන පරිද්දෙන් විවිධ කොටස් වෙනස් කරන්නට, එකතු කරන්නටත් අපි කැමැත්තෙමු.

මොහොතක් බලන්න මේ ඡායාරූප දෙස. මේ වනවිට වැඩිදෙනකු තම නිවෙසේ සාලය, විසිත්ත කාමරය පමණක් නොව කෑම කාමර, නිදන කාමර ආදියේ බිත්ති හැඩවැඩ කරන ආකාරයයි මේ. විවිධ ප්‍රමාණයේ සහ හැඩතල සහිත ලී පටි, දැව කැබැලි සහ විදුලි ආලෝකය යොදාගෙන මේ බිත්ති හැඩ ගන්වා ඇති ආකාරය හරිම පුදුමයි නේද? විවිධ වර්ණවලින් බිත්ති හැඩගන්වනවා වෙනුවට මේ සංකල්පය නැවුම් පෙනුමක් රැගෙන එනවා.

ඊට අමතරව විවිධ රටා, හැඩතල, සිතුවම් ආදියෙන් මේ බිත්ති වර්ණවත් කරන්නටත් ඔබට පුළුවනි. ඔබ චිත්‍ර ඇඳීමේ හැකියාව සහිත කෙනකු නම් මේවා ඔබටම සිත්තම් කරගත හැකි අතර එසේ නැතිනම් වෙළෙඳපොළෙන් ස්ටිකර් ලෙස මිලදීගෙන අලවා ගත හැකියි.