නේක වර්ණ සොඳුරු කුසුම එක්සෝරා

මැයි 1, 2023

අතු කැබැලි කෙළින්ම බඳුන්වල සිටුවා සෙවණ සහිත ස්ථානයක දින කිහිපයක් තැබූ විට ඉන් බොහොමයක් පැළ වී ඇති බව පෙනේ.

 

ගෙවත්තක සුන්දරත්වය වැඩි කරගන්නට නම් නේක වර්ණයෙන් මෙන්ම නේක හැඩයෙන් යුත් කුසුමන් පිපී නැළවිය යුතුමයි. මෙහිදී දීප්තිමත් වර්ණ රටා සහිත ලොකු කුඩා මල් වර්ග ගෙඋයනට කදිම ආලෝකයක්, පෙනුමක් රැගෙන එයි. මඳ සුළගේ නැළවෙනා මේ කුසුම් කුමාරියන් වෙත ඇදෙනා හැඩකාර සමනලියන් සේම දඟකාර මී මැසි කැලගේ ගුමු ගුමුවත්, අපූරු නර්තනයත් ඔබව චමත්කාරජනක ලොවක් වෙත කැඳවාගෙන යන්නේ නිරායාසයෙනි.

‘එක්සෝරා‘ යනු එවැනි අපූර්ව දසුනක් ගෙමිදුලට කැඳවාගෙන එන අලංකාර කුසුම් කුමාරියකි. එක් මලක් නොව පුංචි පුංචි මල් සමූහයක් එකට එක්ව මල් පොකුරක් මෙන් විකසිතවන මේ එක්සෝරා ප්‍රභේද කිහිපයක්ම දැකිය හැකිය. මෙහිදී පැරැණි ප්‍රභේද සහ නව ප්‍රභේද වශයෙන් ද කොටස් දෙකකට වෙන් කළ හැකි අතර පැරැණි එක් ‍සෝරා වර්ගවල අතුපතර ඇදී යන ස්වභාවයක් පැවතිය හැකිය. නමුත් නව ප්‍රභේද එසේ නොවේ. ඔවුන් බොහෝවිට කුඩ පඳුරු ආකාරයෙන් වැඩෙන අතර රතු, කහ, රෝස, තැඹිලි, සුදු ආදී වර්ණවලින් තරමක් ලොකු මල් සහිතව දැකිය හැකියි. නොඑසේ නම් ඇතැම් නව ප්‍රභේද පැරැණි වර්ගවලටත් වඩා මල් කුඩාය.

 

පාරිසාරික සාධක

හොඳින් දීප්තිමත්ව සූර්යාලෝකය පතිත වන ස්ථානවල මේ එක්සෝරා ඉතා අලංකාරව වැඩේ. ඊට තෙතමනය සහිත සාරවත් පසක් තිබීම සුදුසු වේ. නමුත් වැසි කාලයේදී මල් පිපීම තරමක් අඩුවෙන් දැකිය හැකිය. ඉහළ උෂ්ණත්වයක් ද පසෙහි තරමක ආම්ලික ස්වභාවයක් ද පැවතීමෙන් වඩා සොඳුරු මල් හට ගනියි.

 

වගා මාධ්‍ය

එක්සෝරා ශාකය බඳුන්ගතව මෙන්ම ස්ථිර භූමියේද වගා කිරීමේ හැකියාව ඇත. මෙහිදී වගා මාධ්‍ය ලෙස වැලි කොටස් 1/2ක්, කොහුබත් කොටස් 1/2ක්, කොම්පෝස්ට් තරමක ප්‍රමාණයක් ද මතුපිට පස් කොටස් 1ක් ද ගෙන හොඳින් කලවම්කර පොලිතීනයකින් සතියක් පමණ වසා තබා ගන්න. අනතුරුව මේ මිශ්‍රණය ඔබට වගා මාධ්‍යය ලෙස භාවිත කළ හැකි වේ.

 

පොහොර

පොහොර යෙදීමේදී ශාකය වැඩෙන අවස්ථාවේ නයිට්‍රජන් ප්‍රතිශතය තරමක් වැඩි දියර පොහොරක් භාවිත කළ හැකිය. මාධ්‍යයට ගොම වැනි දේ එක් කිරීම ද සුදුසුය. ඒ අතර මල් පිපුණු පසුව පොස්පරස් ප්‍රතිශතය තරමක් වැඩි පොහොරක් භාවිත කරන්න.

 

ශෘක ව්‍යාප්තිය

ශාක බෝකර ගැනීමේදී බීජ මඟින් මෙන්ම ඝන අතු කැබලි පැළ කරගැනීමෙන් යන දෙආකාරයෙන්ම කළ හැකිය. වඩාත් ජනප්‍රිය ක්‍රමය වන්නේ අතු කැබැලි පැළකර ගැනීමයි. ඊට හේතුව ඉතා පහසුවෙන් මේ අතු කැබලි පැළ කරගත හැකිවීමයි. එමෙන්ම අතු කැබැලි කෙළින්ම බඳුන්වල සිටුවා සෙවණ සහිත ස්ථානයක දින කිහිපයක් තැබූ විට ඉන් බොහොමයක් පැළ වී ඇති බව පෙනේ. එසේ වුවත් ප්‍රොපර්ගේටරයක් භාවිත කරනවා නම් අතු සියල්ලම පාහේ වඩා ඉක්මනින් පැළ කරගත හැකි වේ.

එක්සෝරා පැළ සකසා ගත්ත ද ඒවා ගෙවත්තේ අසුරා තබන ආකාරය හෝ මල් පාත්ති යොදන ආකාරය ඉතා වැදගත් වේ. එසේ නැති වුවහොත් ගෙමිදුලට ලැබිය හැකි චමත්කාරජනක බව නැති වී යා හැකිය.

ඒ අනුව මල් ගොමු ගොමු වෙන් වශයෙන් යම් ස්ථිර දුරක් සහිතව සකසා ගන්න. මෙහිදී ළඟ ළඟ පැළ කීපයක් සිටුවා ගැනීමෙන් මල් ගොමුවක් සාදා ගත හැකිය. එමෙන්ම අඩි පාර දෙපස, නිවෙසට යන එන මාර්ගය දෙපස, ගෙබිමේ කොටස් වෙන් කිරීමට අවශ්‍ය ස්ථානවල පේළි වශයෙන් සිටුවා ගැනීමෙන් ද හොඳ පෙනුමක් ලබා ගත හැකිය. එක්සෝරාවලට හොඳින් හිරු එළිය වැටීමට සැලැස්වීම තෙතමනය අඩුවන අවස්ථාවලදී ජලය සැපයීම, මැරුණු අතු ඉති කපා ඉවත් කිරීම, ශාක කප්පාදුව ආදියෙන් මේ ශාකය මුදුනේ වැඩි මල් සංඛ්‍යාවක් පිපී බොහෝ දෙනෙකුගේ සිත් ඇද බැඳ තබා ගැනීමට සමත්වන බව නොකියාම බැහැ.

 

උපදෙස්

ප්‍රවීණ උද්‍යාන නිර්මාණ ශිල්පී

විසිතුරු මල් වගා උපදේශක

දේශබන්ධු, කෘෂිවිද්‍යා සූරී

මාබොදලේ රංජිත් කළුආරච්චි