ගෙමිදුලේ පාළු ස්වභාවය සඟවන ඇසේලියා හැඩකාරිය

මැයි 29, 2023

 

ගෙමිදුලේ චමත්කාරය හරි අපූරුවට ඉස්මතු වන්නේ එහි කිසිදු පාළු ස්වභාවයක් නොතිබෙන විටදීයි. මලින් බර ශාක, විචිත්‍ර පත්‍රික ශාක වගේම විවිධ හැඩයේ ශාක, ලතා මඬුලු, විවිධ උද්‍යාන අංග ආදියෙන් මේ ගෙමිදුල පරිපූර්ණ විය යුතුය.

විශේෂයෙන්ම සොඳුරු මලින් බර ශාක මෙහිදී වැඩි මෙහෙයක් ඉටුකරන අතර ඒ නිසා බොහෝ මල් හටගන්නා ශාක තම ගෙමිදුලට එකතුකර ගැනීමට වැඩිදෙනකු උනන්දු වේ. එලෙස ගෙමිදුලේ පාළු ස්වභාවය දුරු කරන අපූරු ශාකයකි ඇසේලියා (Azalea).

කුඩා පඳුරු වශයෙන් සකස් කරගත හැකි මේ ඇසේලියා ' එරිකේසියේ ' කුලයට අයත් ශාකයකි. නමුදු තවත් තැනක සඳහන් වන්නේ මෙය 'රොඩෝඩ්‍රෙන්ඩන් ' පවුලේම ශාකයක් බවයි.

 

ප්‍රභේද

 

ඇසේලියා කුරුමේ, ඇසේලියා ඉන්ඩියා, ඇසේලියා දිමිති, ඇසේලියා එක්ස්බරි, ඇසේලියා මොලිස්, ඇසේලියා හනිබන්ච් ආදී වශයෙන් හඳුන්වන ප්‍රභේද සහ අනු ප්‍රභේද ගණනාවකි. ඊට අමතරව මල්වල පාට අනුව ද මෙහි ප්‍රභේද වෙන් වේ.

 

ව්‍යාප්තිය

 

දඬු කැබලි සිටුවා ගැනීමෙන් ඇසේලියා පහසුවෙන්ම බෝ කරගත හැකිය. මේ ශාකයේ මෘදු, තරමක් ළපටි අතු වාගේම තරමක් මේරූ අතු ද පැළ කරගත හැකිය. මෙහිදී සිටුවා ගත් අතු කැබැලි ප්‍රොපගේටරයක් තුළ සති දෙකක් පමණ තැබූ විට ඉතා පහසුවෙන් මුල් අද්දවා ගත හැකියි. අනතුරුව එයින් ඉවත්කර සෙවණ සහිත ස්ථානයක සතියක් පමණ තබන්න. ඉන්පසුව ඔබට මේ ඇසේලියා පැළ ස්ථිර භූමියක හෝ බඳුන්ගතව සිටුවා ගත හැකියි.

 

රෝග සහ හානි

 

සුන්දර ඇසේලියා ශාකයට මකුළු මයිටාවන්ගෙන් මෙන්ම පත්‍ර කන සතුන්ගෙන්දවන හානිය බොහොමයි. එමෙන්ම මේ සොඳුරු මලේ පෙතිවලට දිලිර රෝග වැලඳීමත් දැකිය හැකිය. එවැනි අවස්ථාවකදී සුදුසු කෘමිනාශකයක් හෝ දිලීර නාශකයක් යොදා ඒවා පහසුවෙන්ම වළක්වා ගන්න.

 

හිරු එළිය

 

හිරු එළිය තරමක් ප්‍රිය කරන මේ ශාකයට අවශ්‍ය තරමට හිරු එළිය පතිත වන්නේ නම් ඉතා අලංකාර දීප්තිමත් මල් සමූහයක් ලබාදේ. නමුත් ඇසේලියා යනු අධික හිරු එළිය නො ඉවසන ශාකයකි. ඉහළ ගස් අතරින් පෙරී එන හිරු එළිය වඩාත් සුවදායක බැවින් එවන් විටෙක ඇය සොඳුරු මල් ඔබ වෙත ලබා දෙන්නීය. එමෙන්ම හිරු එළිය මඳ වුවහොත් මේ ශාකයේ මල් පිපීම ද අවමවන බව ඔබ මතක තබා ගත යුතු වේ.

 

 

 

වගා මාධ්‍යය

 

කොම්පෝස්ට්, වැලි, කොහුබත්, පුච්චපු දහයියා සහ මතුපිට පස් සමව ගෙන හොඳින් මිශ්‍රකර මෙහි වගා මාධ්‍යය සකසා ගන්න. ඊට අමතරව ඔබට සොයා ගත හැකිනම් වියළි ගොම ද ඊට මිශ්‍ර කරන්න. එවිට ශාකයේ වර්ධනය වඩාත් හොඳින් සිදු වන ඇත.

 

පොහොර

 

ඇසේලියා මල් පිපෙන කාලයට N:P:K අනුපාතයේ පොටැසියම් (K)වැඩි දියර පොහොරක් යොදන්න. එවිට ඉතා අලංකාර මල් පිරුණු අසේලියා පඳුරක් ඔබටත් සකසා ගත හැකිය.

 

නිරෝගී ඇසේලියා ශාකයේ හොඳින් මල් හට ගනියි. එම නිසා කුඩා කාලයේ සිටම ශාකයේ වර්ධනය හොඳින් පවත්වා ගැනීමට වග බලා ගන්න.

 

 

 

උපදෙස්

ප්‍රවීණ උද්‍යාන නිර්මාණ ශිල්පී

විසිතුරු මල් වගා උපදේශක

දේශබන්ධු, කෘෂිවිද්‍යා ශූරී

මාබොදලේ

රංජිත් කළුආරච්චි