ගෙදර දොර පිරිසුදු කිරීම් පහසු කරගන්නේ මෙහෙමයි

මැයි 29, 2023

 

ගෙදර දොර වැඩ කියන්නේ අපි හැමෝම ගැහැනු පිරිමි භේදයක් නැතුව පුරුදු පුහුණු වෙලා තියෙන්න ඕ‍ෙන, එදිනෙදා කරන්න ඕනෙ දේවල්. විශේෂයෙන්ම පිරිසුදුව, පිළිවෙළකට ඉන්න කැමැති නම්, පිරිසිදුකම කියන එක අපි හැමෝම පුරුදු පුහුණු කරන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් අපි අවට දේවල් පිරිසුදු කරගන්න විදිය අපි දන්නවනේ. ගෙදර බිම නම් පිරිසුදු කරන්න තියෙන්නේ අතුගාන එක සහ කාලෙන් කාලෙකට මොප් කරන එක. දූවිලි බැඳිලා තියෙන තැන් පිරිසිදු කරන්න නම්, ඩස්ටර් එකකින් පුළුවන්. රෙදි කෑල්ලකිනුත් පිහිදලා දැම්මොත් වැඩේ සියේට සීයක් හරි. එතකොට කෑම උයපු බඳුනක් එහෙම පිරිසුදු කරන්න නම් තියෙන්නේ මොනවා හරි සබන් හෝ පිරිසුදුකාරක මිශ්‍රණයක් එක්ක හොඳට අතුල්ලලා හෝදන එක.

 

හැබැයි ඔය වගේ අපි දන්න පිරිසුදු කිරීමේ විසඳුම් සෑහෙන්න තිබුණට, සමහර අවස්ථා තියෙනවා, ඒ දන්න විසඳුම්වලින් ගොඩදාගන්න අමාරු තැන්. උදාහරණයක් විදියට, කීබෝඩ් එකේ යතුරුවල ඇඟිලිවල තිබුණු කුණු ජරාව බැඳිලා අවපැහැ ගැන්වුණා කියලා, ඒක සබන් දාලා හෝදන්න බැහැනේ. ආන්න ඒ නිසා, අපි හිතුවා ඒ වගේ කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරි පිරිසුදු කිරීම් අවස්ථාවන්ට ගැළපෙන විසඳුම් කීපයක් කියන්න.

 

සින්ක් එකේ කණ්ණාඩිය

 

දැන් අපි දත්බෙහෙත්, එහෙම නැතිනම් ටූත්පේස්ට් පාවිච්චි කරන්නේ මොකටද? සරලයි, දත් මදින්න. හැබැයි දත් බෙහෙත්වලින් අපිට ගෙදර දොර පිරිසිදුකරන දේවලුත් කරන්න පුළුවන් කියල කිව්වොත් පිළිගන්නවද? වැඩිය ඕනෙ නෑ. බාත්රූම් එකෙන්ම පටන් ගමු. දැන් කාලයක් පාවිච්චි කරනකොට බාත්රූම් එකේ කණ්ණාඩිය නිකම් මීදුම බැඳිලා වගේ, පැල්ලම් ගැහිලා අවපැහැ ගන්නවා නේද? ආයෙ සබන් දාලා මැද්දත් ඒ පැල්ලම් නම් යන්නෙ නෑ. හැබැයි තෙත් කරපු රෙදි කෑල්ලකට ටූත්පේස්ට් ටිකක් අරගෙන, හොඳට කණ්ණාඩිය මැදලා බලන්න. ආයෙ තිබ්බ වගේම දිලිසෙන්න පටන් ගනී. ඒ විතරක් නෙවෙයි, ඔය ලෝහයෙන් හදලා ක්‍රෝමියම් ආලේප කරපු බාත්රූම් ෆිටින්ග්ස්, සින්ක් එක එහෙම වුණත් ඒ විදියට පැල්ලම් ගැහිලා අවපැහැ ගැන්වුණහම, බය නැතුව ටූත්පේස්ට් දාලා හොඳට මදින්න. වෙන එකක් තියා, ඔය අවපැහැ ගැන්වුණු රිදී පාට හැඳි ගෑරුප්පුවලට පවා ඔය ප්‍රතිකර්මය සාර්ථකයි!

 

කීබෝඩ් එකේ යතුරු

 

මේකත් ගොඩක් අයට තියෙන, ගොඩක් අය උත්තර හොයන ප්‍රශ්නයක්. දැන් අපේ ලැප්ටොප් එකක්, එහෙම නැතිනම් එක්ස්ටර්නල් කීබෝඩ් එකක් එහෙම ගත්තු ගමන් කිරි ටොයියා වගේ තිබුණට, කාලයක් පාවිච්චි කරනකොට මේ යතුරු මතුපිට පැල්ලම් ගැහෙන්න පටන් ගන්නවා. අපි කොච්චර පරිස්සමෙන් පාවිච්චි කළත්, අත් දෙක සබන් දාලා හෝදගෙන ලැප්ටොප් එකට වාඩි වුණත්, මේ කාරණාව වළක්වන්න බෑ. එතකොට කොහොමද මේ යතුරු පුවරුවක් එහෙම පිරිසුදු කරන්නේ? පළවෙනිම කාරණාව, අර මයික්‍රොෆයිබර් රෙදි කෑලි කියන්නේ? ඒ කියන්නේ ඔය ඇස් කණ්ණාඩි එහෙම ගන්නකොට, ඒවා පිහිදන්න දෙන සිනිඳුම සිනිඳු රෙදි කෑලි තියෙන්නේ. ආන්න එව්වා වෙනම ගන්නත් පුලුවන්. එහෙම රෙදි කෑල්ලක් අරගෙන, ඒකට අයිසොප්‍රොෆිල් ඇල්කොහොල් ටිකක් දාගන්න. දාගෙන, පරිස්සමට යතුරු මතුපිට හොඳින් පිරිමදින්න. පිරිසුදු වෙනවා සත්තයි( Isopropyl Alcohol) හොයාගැනීම අපහසු නම් නම් ෆාමසියකින් Rubbing Alcohol ගත්තත් වැඩේට හරියනවා.

 

තව දෙයක්. මේ විදියට කීබෝඩ් එකේ මතුපිට පිරිසුදු කළාට, හරියට කීබෝඩ් එකට සර්විස් එකක් දෙන්න නම්, අර පෝටබල් වැකියුම් ක්ලීනර් එකකින් හොඳ ක්ලීනප් එකක් දෙන්න ඕන. ලැප්ටොප් එකක් නම් ඉතින් ලැප් හදන අයියට දීලා සර්විස් කළත් කමක් නෑ!

 

කොම්පියුටර් ස්ක්‍රීන්/ මොනිටර් ස්ක්‍රීන්

 

කොම්පියුටර් එක අපි දවල් පාවිච්චි කරලා, රෑට රෙද්දක් දාලා වහල තිබ්බත්, ටික කාලයක් යනකොට ඒකේ ඔය කුණු ජරාව දූවිලි බැඳෙන්න පටන් ගන්නවා. පුංචි කළු තිත් විදියට කුඩාම සත්තු ජරා කරන එව්වා පවා ස්ක්‍රීන් එකට අල්ලලා තියෙනවා. දැන් ඔන්න ඔය දේවල් පිරිසුදු කරන්න ඕනෙ. හරිම විදිය තමයි, මයික්‍රොෆයිබර් රෙදි කෑල්ලක් තියාගෙන, දිනපතා කොම්පියුටර් ස්ක්‍රීන් එක නැතිනම් මොනිටර් ස්ක්‍රීන් එක පිහිදාලා, ඒකේ තියෙන දූවිලි අනම් මනම් අයින් කරන එක. කාලයක් තිස්සේ ජරා වුණු ස්ක්‍රීන් එකක් නම්, මුලින් වියළි මයික්‍රොෆයිබර් රෙදි කෑල්ලකින් හොඳට දූවිලි පිහිදාලා, ඊට පස්සේ අර උඩ කියපු විදියටම මයික්‍රොෆයිබර් රෙදි කෑල්ලකට අයිසොප්‍රොෆිල් ඇල්කොහොල් (Isopropyl Alcohol) අඩංගු ද්‍රාවණයකින් ටිකක් දාලා පිරිසුදු කරගන්න පුළුවන්. මේකටම හදපු පිරිසුදුකාරක ස්ප්‍රේ එහෙමත් ඔය කම්පියුටර් ෂොප්වලින් හොයාගන්න පුළුවන්. මොකුත්ම නැතිනම්, මුලින් දූවිලි පිහිදාලා, ඊට පස්සේ රෙදි කෑල්ල වතුර ටිකකින් පොඟවලා, හොඳට වතුර ටික මිරිකලා ඇරලා, ස්ක්‍රීන් එක හොඳින් පිහිදාලා ඊට පස්සේ ආයෙමත් වියළි මයික්‍රොෆයිබර් රෙදි කෑල්ලකින් ස්ක්‍රීන් එක පිහිදන්නත් පුළුවන්.

 

හැබැයි මොනවා කළත්, කෙළින්ම ස්ක්‍රීන් එකට නම් කිසිම ද්‍රාවණයක් ස්ප්‍රේ කරන්න හෝ දාන්න එපා!

 

 

 

අවපැහැ ගැන්වුණු තඹ හෝ පිත්තල බඩු

 

පිත්තල හෝ තඹවලින් හදපු බඩු භාණ්ඩ ඕ‍ෙනම ගෙදරක එකක් දෙකක් හරි තියෙනවනේ. මේවා ඇත්තටම දිස්නේ දිදී තියෙනකොට හරිම ලස්සන වුණාට, කාලයාගේ ඇවෑමෙන් දුර්වර්ණ වෙනවා, අවපැහැ ගැන්වෙනවා. ආන්න ඒකට පාවිච්චි කරන්න පුළුවන් බ්‍රාස් පොලිෂ් ඕ‍ෙන හාඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. හැබැයි හදිසියකට ගෙදර තියෙන දේවලින් මේ තඹ හෝ පිත්තල පිරිසුදු කරන්න මිශ්‍රණයක් වුණත් අපිටම හදාගන්න පුළුවන්. කරන්නේ මෙහෙමයි. පාන් පිටි, විනාකිරි සහ ලුණු සම ප්‍රමාණවලින් අරගන්න. දැන් ඒ ඔක්කොම භාජනයකට දාලා හොඳින් මිශ්‍ර කරගන්න. හරියට සම ප්‍රමාණවලින් ගත්තොත්, ඝනකම පාප්පයක් හැදෙන්න ඕ‍ෙන. දැන් මේ පාප්පයෙන් ටික ටික පිරිසුදු වියළි රෙදි කෑල්ලක මතුපිටට අරගෙන, ඒක තඹ හෝ පිත්තල බඩුවල දීප්තිය නැති වෙලා තියෙන මතුපිට අතුල්ලලා තියන්න. පැයක් දෙකක් මේක තියන්න. ඊට පස්සේ වියළි රෙදි කෑල්ලකින්ම ඒක හොඳට අතුල්ලලා පිරිසුදු කරන්න. හරි නම්, මේක නිකම්ම පිහිදලා දැම්මත්, තඹ හෝ පිත්තල බඩුවේ මතුපිට දීප්තිය ක්ෂණයකින් මතුවෙනවා!

 

අන්තර්ජාලය ඇසුරිනි

 

 

විදුමිණි දිසාකරුණා