මුළුතැන්ගෙය විධිමත් නම් මෙන්න ලැබෙන වාසි

ජූලි 10, 2023

 

උදේට උයන්න ගියාම හැතැප්ම ගාණක් දුවන්න වෙනවා. මේ කියමන ඔබෙන් පිටවෙනවා නම් කොතැනක හෝ වැරැද්දක් තිබෙනවා.

 

කාන්තාවගේ හැකියාව, පිළිවෙළ සහ පිරිසුදුකම මැන ගැනීමට තිබෙන හොඳම ස්ථානය මුළුතැන්ගෙයයි. සමහර කාන්තාවන්ගේ මුලුතැන්ගෙය දැක්කාම මොන තරම් රහට ගුණට ඉව්වත් කෑම කන්න ඇති වෙන්නේ අප්‍රියතාවයක්. ඒ නිසා මුළුතැන්ගෙදර පිළිවෙළ සහ පිරිසුදුකම පවුලක පැවැත්මට ඉතාම වැදගත්. විධිමත් මුළුතැන්ගෙදරකින් ඔබට ලැබෙන වාසි මොනවාද?

 

වැඩ කරගැනීම පහසුයි

 

නිවෙසේ වැඩ කටයුතු කරන විට පහසුව ඉතාම වැදගත්. ඒ නිසා විධිමත් විදිහට බඩු මුට්ටු අසුරා තැබීමට මුල් තැන දෙන්න. අද වගේ බිම ටයිල් නොකළ, පැන්ට්‍රි කබඩ් නොතිබුණ අතීතයක වුණත් මුළුතැන්ගෙයි බඩු වෙනුවෙන් නියමිත ස්ථාන තිබුණා. ලුණු පොල් කට්ට ළිප ළඟ, කරවල හාල්මැස්සන් වෙනුවෙන් දුම් මැස්ස අසල ඇසුරුමක්, ඒ විදිහට ඔබත් විධිමත් විදිහට මුළුතැන්ගෙයි හාල් තුනපහ පටන් අවශ්‍ය කලමනාවන් නිසි තැනක තබන්න. එවිට වැඩ කිරීම ඉතාම පහසුයි.

 

වෙහෙසක් නැහැ

 

අනේ උදේට උයන්න ගියාම හැතැප්ම ගාණක් දුවන්න වෙනවා. මේ කියමන ඔබෙන් පිටවෙනවා නම් කොතැනක හෝ වැරැද්දක් තිබෙනවා. ඔබට මේ අන්දමින් එහා මෙහා යෑමට සිද්ධ වෙන්නේ පිළිවෙළක් වගේම ක්‍රමානුකූල විදිහට පිළවෙළ නොවුණ මුළුතැන්ගෙයක් ඔබේ පාලනය යටතේ තිබෙන නිසයි. ඒ නිසා සියල්ල තමා සමීපයට සැණින් ගත හැකි සේ මුළුතැන්ගෙය ක්‍රමානුකූලව සකස් කරගත් විට කිසිම වෙහෙසක් නොමැතිව ඔබට ඔබේ කටයුතුකර ගැනීමට පුළුවන්.

 

කාලය ඉතිරියි

 

ඔබට උයනවාට වඩා වැඩි කාලයක් අවශ්‍ය කලමනාවන් සහ උපකරණ සෙවීමට ගත වෙනවා නම් ඇත්තටම එබේ මුළුතැන්ගෙය විධිමත් නැහැ. පිහිය හොයන්න වෙලාවක්… හැන්ද.... හාල්.. රතුලූනූ කෝ… ඊයේ ගෙනාව අමුමිරිස් නැහැ… මේ විදියට නිරපරාදේ ගෙවෙන කාලයෙන් ප්‍රයෝජන ගැනීමට නම් විදිමත් බවක් ඇති කර ගැනීම ඉතාම අවශ්‍යයි. හැම දෙයක් වෙනුවෙන්ම තැනක් තබා ගනන්. එළවළු. හාල් තුනපහටත් තැනක් තිබෙනවා නම් සොයන්න ගත වෙන කාලය නොදැනීම ඉතිරි වෙනවා.

 

පිරිසුදුයි

 

විධිමත්ව තිබෙන මුළුතැන්ගෙය පිරිසුදු කිරීම ඉතාම පහසුයි. අතීතයේදී නම් මුළුතැන්ගෙය දේවාලයක තත්ත්වයට තබා ගැනීමට කාන්තාවන් උනන්දු වුණා. බාල කාලයේ පටන්ම ගැහැනු දරුවන් මුළුතැන්ගෙය හොඳින් පිරිසුදු කිරීම අවශ්‍යයෙන්ම කළ යුතු දෙයක්. ඒ නිසා මීයන්, කැරපොත්තන්, කූඹි වැනි සතුනුත් නොදැනීම ඉවත් වුණා. විධිමත්ව තිබෙනවා නම් පිරිසුදු කිරීම පහසුය. අනවශ්‍ය ගොඩ ගැසීම් නැහැ. ඉවතලන දේ ඒ වෙලාවට ඉවතට ගියා. වැඩ කටයුතු අවසාන වෙද්දී පිරිසුදු කිරීමත් අවසාන වුණා.

 

සෞඛ්‍යයටත් හොඳයි

 

ආහාර විසවීම නිසා වැලඳෙන බොහෝ රෝගාබාධ අපිට වළක්වා ගැනීම එතරම් අපහසු නැහැ. උයන පිළිවෙල, පිරිසුදු කිරීම, ආහාර සංරක්ෂණය, උයන විට විසබීජ ඇතුළු වීම වැනි හේතුන් නිසා ආසාත්මිකතාවයන් ඇති වීම ඉතාම පහසුයි. නමුත් විධිමත්බව නිසා මේ අඩුපාඩු මග හරවා ගැනීම එතරම් අපහසු නැහැ. අපේ අපිරිසුදුබව නිසා පාචනය, වමනය වැනි රෝගාබාධයන්ට පවුලම ගොදුරු වෙන්න පුළුවනි. ඒ නිසා ආහාර වසා තැබීම, නරක් වුණ දේ ඉවත් කිරීම, පිසින භාජන ක්‍රමවත්ව තබා ගැනීම සහ ඒවායේ පිරිසුදුබව නිසා විසබීජ තොර කලාපයක් මුළුතැන්ගෙය මුල් කරගෙන ගොඩ නැගෙනවා.

 

සතුට

 

මුළුතැන්ගෙය විධිමත්ව තිබුණොත් ඔබට අසනීපයක් , වෙනත් අවශ්‍යතාවයක් වෙතොත් කාට හෝ කියා උයන පිහන දේ වෙනුවෙන් උදවු ගන්න පුළුවන්. ඔබට දුරක සිට වුව ද්‍රව්‍ය තිබෙන තැන කියන්නත් පුළුවන්. විධිමත් මුලුතැන්ගෙයි සියල්ල ලේබල් කරන නිසා කාට වුණත් එහි වැඩකටයුතු කරන්න අපහසු නැහැ. ඒ නිසා ක්‍රමවත්බව නිසා ඔබේ සහයට කවුරුන් හෝ සම්බන්ධ කරගැනීම එතරම් අපහසු නැහැ. එයින් ඔබේ හිතටත් සැහැල්ලුවක් ඇති වෙනවා.

 

අන්තර්ජාලය ඇසුරිනි