පඳුර වසා පැතිරෙන මල් පැදුර බවුනියා කොකියානා

අගෝස්තු 7, 2023

උද්‍යාන අලංකරණය උදෙසා වැඩි දායකත්වයක් සපයන 'බවුනියා කොකියානා' යනු ඉහළ ජනප්‍රියත්වයක් උසුලන අපූරු ශාකයකි. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල දැකිය හැකි වීමත් මෙහි විශේෂත්වයයි.

 

බැලූ බැල්මට මල් පැදුරක්

 

වැල් ආකාරයෙන් වැඩෙන මෙම ශාකය අතු ඉති විහිදී පිරුණු පසුව අපූරු පඳුරක් බවට පත් වේවි. ඒ සඳහා තරමක කාලයක් ගත වුවද ශාකය හොඳින් වැඩුණු පසු අපූරු මලින් පිරී සොඳුරු දසුනක් රැගෙන ඒවි.

කොකියානා පඳුර මලින් බර වන්නට නම් සෘජු සූර්යාලෝකය අවශ්‍ය බවත් ඔබ මතක තබාගත යුතුය. එනම් හොඳින් හිරු එළිය වැටෙන තැනෙක මේ ශාක පඳුරක් වවා ගතහොත් බැලූ බැල්මට පඳුර උඩින් සුන්දර මල් පැදුරක් එළා ඇති ආකාරයට මලින් වැසී යනු නොඅනුමානයි.

 

අලංකාර ප්‍රභේද

 

බහුනියා කොකියානා ප්‍රභේද ගණනාවක් දැකිය හැකියි. ඒවා වර්ණ අනුවද වෙනස් වේ. ළා දම් පැහැති මල් තරමක් කුඩා වර්ගයත්, සුදු, රතු මිශ්‍ර තැඹිලි, තඹ පැහැති මල් පිපෙන වර්ග සේම රෝස පැහැයට හුරු මල් පිපෙන වර්ගත් මෙහි දක්නට ලැබේ. එසේ වුවද ශ්‍රී ලංකාවේ තවමත් ජනප්‍රිය සහ වඩාත් පැතිරී ඇති, මල් ලෝලීන් වඩාත් ආසා කරන්නේ රතු, කහ, තැඹිලි ආදී වර්ණ මිශ්‍රිත පඳුර මුදුනේ විශේෂයෙන්ම මල්වලින් පිරී යන ප්‍රභේදයයි.

 

බෝකර ගැනීම

 

මල්වලින් ලබාගත් බීජ හොඳින් වියළා තබා ගන්න. අනතුරුව ඒවා තෙත මාධ්‍යයක තවාන් දමා ගැනීමෙන් ඔබට පැළ බෝකර ගත හැකියි.

 

එමෙන්ම අතු මාර්ගයෙන් ද මෙහි පැළ බෝකර ගත හැකිය. හොඳින් වැඩුණු බවුනියා කොකියානා ශාකයකින් ලබාගත් තරමක් මේරූ නිරෝගී අතු කැබලි ප්‍රොපර්ගේටරයක ආධාරයෙන් පැළ කරගත හැකිය. සාමාන්‍යයෙන් ප්‍රොපර්ගේටරයක් නොමැතිව වුවද පැළ කරගත හැකි නමුදු එවිට පැළවීමේ ප්‍රතිශතය ඉතා අවම වේ. ඊට අමතරව මුල් අද්දවන හෝමෝනයක් අතු කැබැල්ලේ කැපුම් තලයේ ආලේප කිරීමෙන්ද වැඩි පැළ සංඛ්‍යාවක් සකසා ගත හැකිය.

 

වගා මාධ්‍යය

 

කොම්පෝස්ට් හෝ කොළ රොඩු සහිත හොඳ කාබනික වගා මාධ්‍යයක් තිබේ නම් එය මේ වගාවට ඉතාමත් සුදුසුය.

 

ජල සැපයුම

 

මේ ශාකයට දිනකට වරක් ජලය සැපයීම අවශ්‍ය වේ. එමඟින් ශාකයේ අඛණ්ඩ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි අතර හොඳින් මල් පිපීමටත්, නිරෝගී ශාක පඳුරක් ඇති වීමටත් එය බෙහෙවින් බලපාන කරුණකි.

 

නිවෙසේ ඉදිරිපිට උද්‍යානයේ හිස් අවකාශය වැසීමට හෝ පාළු වී ගිය ස්ථානයක් ආලෝකමත් කිරීමටත්

ඉතා ඉහළ හැකියාවක් ඇති මේ අපූරු බහුමානියා කොකියානා මල් ඕනෑම අයකුගේ සිත් ඇද බැද ගන්නවා නිසැකය.

 

 

උපදෙස්

ප්‍රවීණ උද්‍යාන නිර්මාණ ශිල්පී

විසිතුරු මල් වගා උපදේශක

දේශබන්ධු, කෘෂිවිද්‍යා ශූරී

මාබොදලේ

රංජිත් කළුආරච්චි