අතමිට සරු කරන පිටරට යවන අපේ මල්

අගෝස්තු 14, 2023

 

සොඳුරු මල් ගැන කතා කරත්ම ලොව අංක එකේ ජනප්‍රිය මල් ගැනුම්කරුවා වාගේම අලෙවිකරුවා ලෙසින් නමක් දිනා සිටින්නේ නෙදර්ලන්තයයි.

ඊට අමතරව කොලොම්බියාව, ඉතාලිය, බෙල්ජියම, අමෙරිකාව මෙන්ම මැදපෙරදිග රටවල් ද මල් ලෝකයේ ඉහළින්ම තම නාමය සනිටුහන් කරගත් රටවල් ලෙසින් හැඳින්විය හැකියි. අපේ පුංචි රටේ නිෂ්පාදනය කරන කැපූ මල් සහ වෙනත් විසිතුරු ශාක අතරින් 40%කට වැඩි ප්‍රමාණයක් යුරෝපීය රටවලට අපනයනය කරන අතර 50%ක් දකුණු කොරියාව, ජපානය වැනි රටවලට අපනයනය කෙරේ. මැදපෙරදිග රටවලට අපනයනය කරන්නේ ඉතිරි අනෙක් කොටසයි.

ලංකාවේ පවතින දේශගුණික හා භූගෝලීය පිහිටීම අනුව නම් දැනට අපනයනය කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මල් නිෂ්පාදනය කළ හැකිය. ඒ සඳහා ඉහළ ඉල්ලුමක් ද ඇත. නමුත් අවාසනාවකට වාගේ මෙරට මල් නිෂ්පාදනය නම් සිදුවන්නේ ඉතා අවම මට්ටමකිනි.

 

මෙරටින් විදේශ රටවලට දැනට අපනයනය කරන කැපූ මල් වර්ග නම්,

 

* ඇන්තූරියම්

* ඕකිඩ්

* කානේෂන්

* රෝස

* ලිලී

* ජර්බෙරා

* ඇස්ට්‍රොමේරියා වේ.

 

විදේශීය වෙළෙඳපොළට කැපුම් මල් යැවීමේදී දේශීය වෙළෙඳපොළට මෙන් නොව විශේෂ කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කළ යුතු වේ. ඒ අනුව ඔබේ මල් නිෂ්පාදන ඉදිරිපත් කිරීම හරහා හොඳ ආදායමක් ලබාගත හැකි වේ.

 

අවධානය යොමු කරන්න

 

* ගැනුම්කරුවාගේ අවශ්‍යතාවය අනුව නිෂ්පාදනය සිදු කළ යුතු වේ.

* අපනයනය කිරීමේදී කුඩා ප්‍රමාණ වශයෙන් නොව විශාල ප්‍රමාණ වශයෙන් අපනයනය කළ යුතු නිසා තම වගාව මහා පරිමාණයේ වගාවක් විය යුතු වීම.

* නිෂ්පාදනයේ ප්‍රමිතිය ඉහළ තත්ත්වයෙන් ආරක්ෂාකර ගැනීමට සිදුවීම.

* දේශීය වෙළෙඳපොළට මෙන් නොව විදේශීය වෙළෙඳපොළට යවන මල් පිළිබඳ එකින් එක අවධානය කළ යුතු වේ. එහිදී ප්‍රවාහනයේ දී තැළීම්, පොඩිවීම් ඇති නොවන පරිදි ඇසුරුම් ක්‍රම අනුගමනය කළ යුතු වේවි.

* මෙවැනි ව්‍යාපාර මහා පරිමාණයෙන් සිදුකෙරෙන නිසා ගනුදෙනුවලදී පාඩුවක් සිදු වුවහොත් එයද විශාල පාඩුවක් විය හැකියි. ඒ නිසා එහි ඇති අවදානම පිළිබඳව ඔබගේ අවධානය යොමු කළ යුතු වේ.

එමෙන්ම විදේශ රටවලට කැපූ මල් අපනයනය කිරීමෙන් ඇතිවන වාසි ද බොහෝ ය. එනම්,

* ඉහළ ලාභයක් අත් විඳීමට හැකිවීම.

* විශාල වෙළෙඳපොළක් තිබීම නිසා මල් සඳහා ඉතා ඉහළ ඉල්ලුමක් පැවතීම.

* වැඩි පිරිසකට රැකියා ලබාදීමට හැකිවීම.

* ලංකාවට විදේශ විනිමය හිමිවීම.

වැනි කරුණු ඒ අතරින් ප්‍රධාන වේ.

--------------------------------------------

ලතාවකට ලතා මවන සොඳුරු ලතා

 

ගෙඋයන සේම ගෘහ අභ්‍යන්තරය අලංකාර කරනා වැල් වර්ග බොහෝමයකි. දියදහරක් සේ සීරුවට කඩා හැලෙනා ලියවැල් සේම අතුපතර වසා ගනිමින් විසිරී හැදෙන වැල් වර්ග ද මේ අතර වේ. එමෙන්ම සොඳුරු මලින් පිරෙන වැල් සහ මල් නොපිපෙන විචිත්‍ර පත්‍රික වැල් ද ගෙඋයනට එක් කරන්නේ අපූරුම ආලෝකයකි.

 

මල් පිපෙන වැල් වර්ග

 

* අලංකාර වර්ණ සහිත මැන්ඩවිලා

* කහ පැහැති මලින් පිරෙන බළල් පහුරු

* කහ මල් සහිත ගෝල්ඩන් බෙල්

* දම් පැහැති මල් කිනිති තිළිණ කරන පෙට්රියා

* සුවඳ හමන මල් පිපෙන සමන්පිච්ච සහ ගාඩිනියා

* තැබිලි , රතු, කහ මිශ්‍ර වර්ණ මල් පිපෙන බහුනියා

* වින්කා හෙවත් බොහෝ දෙනකු දන්නා හඳුනන මිනීමල්

(වැල් වශයෙන් වැවෙන වර්ගය)

 

මල් නොපිපෙන වැල්

 

* පිලෝඩෙන්ඩ්‍රන් වර්ග

* මොන්ස්ටෙරා

* සින්ඩැප්සස් වර්ග (Scindapsus)

* ස්පැනිෂ් මෝස් (Spanish moss) හෙවත් (Air plant )

* පෝතෝස්  (Money plant)

* අයිවී වර්ග

 

මෙම වර්ගවල මල් නොපිපුණ ද ඒවායේ පත්‍ර ඉතාමත් අලංකාර බවින් යුක්ත නිසා ගෙවත්තට පුදුමාකාර සුන්දරත්වයක් එකතු කරගත හැකි වේවි.

 

උපදෙස්

ප්‍රවීණ උද්‍යාන නිර්මාණ ශිල්පී

විසිතුරු මල් වගා උපදේශක

දේශබන්ධු, කෘෂිවිද්‍යා ශූරී

මාබොදලේ රංජිත් කළුආරච්චි