සොඳුරු ඉයුෆෝබියා මල් කුමාරියක් ගෙවත්තට කැන්දමු

සැප්තැම්බර් 4, 2023

මැඩගස්කරය සහ ඝර්ම කලාපීය රටවල් සිය ජන්ම භූමිය කරගත් තවත් අපූරු මල් කුමරියකි ඉයුෆෝබියා. බඳුන්ගත පැළයක් සේම උද්‍යාන අලංකරණයේ දී වගා භූමිය තුළ පහසුවෙන් වගා කළ හැකි මේ ඉයුෆෝබියා වසර පුරාම ඔබට මල් තිළිණ කරන්නීය. එමෙන්ම ඉතා අවම නඩත්තුවක් සහිත ශාකයක්වන නිසාමත් වැඩිදෙනකු ඉයුෆෝබියා තම මල් වගාවට එකතුකර ගැනීමට කැමැත්තක් දක්වති.

 

වියළි කාලගුණයට සේම ඉහළ උෂ්ණත්වයට (සෙල්සියස් අංශක 18 - 24 අතර) හොඳින් ප්‍රතිචාර දක්වන මේ ඉයුෆෝබියා කඳුකර සහ තෙත් කලාපයේදී මල් ඵලදාව අඩු කරයි. එබැවින් මේ ශාකයට දිනකට අවම වශයෙන් පැය 10 - 11ක් පමණ ආලෝකය ලබා දිය යුතු වේවි.

ලිංගික ප්‍රචාරණය

කෘමීන් මාර්ගයෙන් හෝ කෘත්‍රිමව පරාගණය සිදු කළ හැකියි. ඉයුෆෝබියා බීජ ලබා ගැනීමේදී පිපී පරාගණය වූ මල් මත (මසක් පමණ ගතවන විට) බීජ හට ගනියි. ඒවා කළු පැහැයට හැරෙන විට නෙළා ගෙන දිලීර නාශකයක ගිල්වා තවාන් කළ හැකියි.

බීජ වලින් පැළ ලබාගැනීම

වැලි, කොහුබත්, මතුපිට පස්, වියළි කොළ කොටස් එක බැගින් ගෙන හොඳින් මිශ්‍රකර වගා මාධ්‍ය සකසා ගන්න. මෙහිදී මාධ්‍යය ජීවානුහරණය කරගත යුතු අතර අනතුරුව වගා මාධ්‍ය තවාන් බඳුන්වලට දමා බීජ තවාන් කරන්න. මෙහිදී බීජ අඟල් දෙකක පරතරයක් තබා පසට යට කළ යුතු අතර පැළ සෙන්ටිමීටර් 08ක් පමණ වර්ධනය වූ පසුව වෙනත් වගා බඳුනකට මාරු කරන්න. ඒවා 60%ක සෙවණ සහිත ස්ථානයක තබාගන්නත් අමතක කරන්න එපා.

වර්ධක ප්‍රචාරණය

මවු ශාකවල මල් පිපී අවසන් වූ පසුව අඟල් දෙකක් පමණ දිගට පරිණත අග්‍රස්ථ අංකුරයෙන් දඬු කපා ඉවත් කරන්න. අනතුරුව එහි කිරි ඉවත් වීමට සිරස් අතට පැයක පමණ කාලයක් තැබිය යුතු වේ. මෙහිදී අතු කැපීමට පෙර ශාකය ජලයෙන් සේදිය යුතු අතර අතු කැපීම උදෑසන කාලයේ සිදු කිරීමට වගබලා ගන්න. එක් ශාකයකින් වරකට අතු කැබලි 2 - 3ක් පමණ ඉවත් කරගත යුතු අතර කිිරි ඉවත් වූ අතු කොටස්වල සහ කඳ කොටසේ කැපුම් ස්ථානයේ දිලීර නාශක ආලේප කරන්න.

ඉන්පසුව රොන් මඩ සහිත වැලි, දිරාගිය කොළ රොඩු හෝ රළු වැලි, කොහුබත් කොටස් එක බැගින් මිශ්‍ර කළ වගා මාධ්‍යයක සිටුවා ගන්න. මෙහිදී අතු කැබැලි අඟලක් පමණ පසට යටවන ආකාරයට බඳුන්ගතව සිටුවා ගත යුතුයි. අතු සිටුවා දින 45කදී පමණ මුල් ඇදී කුඩා පත්‍ර හට ගනියි.

අනතුරුව ඔබට මේ පැළ උස් පාත්ති හෝ බඳුන්ගතව සිටුවිය හැකියි. එහිදී පැළ අතර පරතරය අඩි 02ක් පමණ විය යුතුය. මෙහිදී මතුපිට පස් කොටස් 04ක් සඳහා කොළ පොහොර කොටස් 02ක් සහ වැලි, වියළි ගොම කොටස් 01බැගින් මිශ්‍රකර වගා මාධ්‍යය සකසා ගන්න.

ජලය

පසේ ජලය නොමැති වූ විට ජල සැපයුම අවශ්‍ය අතර වැදගත් වන්නේ මුල් සහිත කොටසේ ජලය රඳවා පැවතීමයි.

පොහොර

ශාකවල ස්වාභාවික වර්ධනයට කොළ පොහොර, වියළි කොළ, කොම්පෝස්ට් ආදිය ලබා දෙන්න. කාබනික දියර පොහොරක් නම් සති දෙකකට වරක් යෙදීම ප්‍රමාණවත්.

රසායනික පොහොර ලෙස N:P:K 20:20:20 සමතුලිත පොහොරක් යෙදිය හැකියි. පොහොර දින 11කට වරක් යොදන්න. පොහොර යෙදීමෙන් පසු කුඩා පැළ හිරු එළියට නිරාවරණය කළ යුතුය. මල් පිපීමට ආසන්න පැළ සඳහා නයිට්‍රජන් සහ පොටෑසියම් අනුපාතය වැඩි දියර පො‍හොරක් දින 14කට වරක් යෙදිය යුතුය.

රෝග සහ පලිබෝධ

සුදු පුල්ලි රෝගය, හිටු මැරීම වැනි රෝගවලට අමතරව පත්‍ර කන දළඹුවන්, පිටි මකුණන්, රන්වන් කුරුමිණියන්ගෙන් ඔබේ සොඳුරු ඉයුෆෝබියා කුමරිය ආරක්ෂා කරගත යුතුයි. ඒ සඳහා උචිත දිලීර නාශක, කෘමිනාශක ආදිය භාවිතයෙන් රෝග වළක්වා ගැනීමට වගබලා ගන්න.

 

 

උපදෙස්

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ

මල් වගා පර්යේෂණ සහ සංවර්ධන අංශයේ,

ඩබ්.යූ.එල්. අඹගස්පිටිය