සිරුරට පෝෂණය සපයන සොබාදහමේ දායාදයන්

ජනවාරි 29, 2020

ගොටුකොළ, මුකුණුවැන්න, නිවිති වැනි පලා වර්ග සුලබය. ඒ අතර මේ මහපොළොව මත ගුණයෙන් හා රසයෙන් අනූන පලා වර්ග තවත් බොහෝ ඇත. එනමුත් ඒවා හඳුනන්නේ අතළොස්සකි.

ඇතැම් විට ප්‍රදේශයෙන් ප්‍රදේශයට එම පලා වර්ගවල නාමය වෙනස් වූවත් ගුණයන්ගෙන් නම් කිසිදු අඩුවක් නැත.

එනිසාම අතීතයේ සිට පෝෂණීය ආහාර වේලක් සඳහා පලා වර්ගයක් එක්කිරීම අපේ ගෘහණියන් විසින් සිදුකළ අනිවාර්යය දෙයකි.

එනමුත් නූතනයේ සංකීර්ණ සමාජ රටාව මත කාන්තාවන් ඉක්මන් තේරීම් ඔස්සේ යමින් පලා වර්ග තම කෑම මේසයට එක්කිරීම අමතක කර තිබේ. මේ නිසාම ගම්බද ගෙවතුවල අපතේ යන පලා වර්ග බොහෝය. නොදන්නාකම හා උනන්දුවක් නොමැතිකම නිසාවෙන් ද ශරීර සෞඛ්‍යයට හිතකර මෙවැනි දේ අපෙන් මඟහැරී යන්නේ කිසිදු ප්‍රයෝජනයක් නොලබාය. ඒ සියල්ලේ අවසානය වන්නේ අප කවුරුත් නිකරුණේ රෝගීන් වීමය.

ඒ නිසා එවන් පෝෂණීය පලා වර්ග හඳුනාගෙන මේ ආකාරයට සකසා ඔබේ ආහාර වේලට එක්කරගන්න.

එය ඔබේ පවුලේ සාමාජිනයන්ගේ සෞඛ්‍යය යහපත්ව පවත්වාගෙන යෑමට අත්වැලක් වේවි.

උපදෙස් - විධායක සූපවේදී

එස්. ඒ. ඉන්දික

අඹේපුස්ස අවන්හල

 

විශේෂ ස්තූතිය අඹේපුස්ස අවන්හලේ සාමාන්‍යාධිකාරී ලක්මාල් පෙරේරා මහතාට

සම්බන්ධීකරණය සහ ඡායාරූප - ද උපාලි ජයරත්න

කීර වඩේ

අවශ්‍ය ද්‍රව්‍ය

උඳු ඇට ග්‍රෑම් 500 ක්

ලුණු රස අනුව

කීර ග්‍රෑම් 100 ක්

(මුකුණුවැන්න)

කරපිංචා ග්‍රෑම් 10 ක්

රතුලුනු ග්‍රෑම් 30 ක්

අමුමිරිස් ග්‍රෑම් 15 ක්

සාදන ක්‍රමය

පැය පහක පමණ කාලයක් උඳු ඇට පෙඟෙන්න තබන්න. පසුව එයට වතුර ටික ටික දමා අඹරා ගන්න.

ගුලියක් සේ සාදාගත හැකි පරිදි වතුර ටික ටික එකතු කරන්න.

ඉන්පසු එයට සිහින්ව කපාගත් කරපිංචා, සිහින්ව කපාගත රතුලූනු සහ රස අනුව ලුණු එකතුකර හොඳින් අනාගන්න.

එයින් කුඩා කොටස් කඩා වඩේ සාදන ආකාරයට බෝල සාදා ගැඹුරු තෙලේ බැදගන්න.

2020/01/29 තරුණි බලන්න