ඉතුරුම් බතින් ඉස්තරම් කෑම

මාර්තු 11, 2024

 

ඉස්සර අපේ ආච්චිලා හදලා දෙන අග්ගළා මතකද? හීල් බත් වේළලා, බැදලා, කොටලා හදන මේ බත් අග්ගළා තේ වෙලාවට කියාපු කෑමක්. දැන් දැන් එහෙම කෑම අපෙන් ඈත් වෙලාම ගිහින්.

කොටින්ම හුඟක් ගෘහණියන් ඉතුරු වෙන බත් ටික විසි කරලා දානවා මිසක් ඕකෙන් වෙන දෙයක් හදන්න හිතන්නෙම නෑ. ඒත් ආර්ථිකය පැත්තෙන් ගත්තත්, සමාජීය පැත්තෙන් ගත්තත් කිසිම කෑමක් අහක නොදා නැවත ප්‍රයෝජනයට ගන්න එක තමා වඩාත්ම හොඳ. ලෝබකම් කරන්න කියනවා නෙවෙයි, ඔය සුද්දොත් ලෙෆ්ටෝවර්ස් කියල ඉතුරු කෑමවලින් එක එක කෑම හදාගන්න එකේ, අනාදිමත් කාලයක් තිස්සෙ අරපරෙස්සම කියාදුන්න ආච්චිලා, අත්තම්මලා උන්නු අපි ඇයි මහන්සියෙන් උපයගන්න බත් ඇටයක්වත් අහක දාන්නෙ? අද අපි මේ ලියන්න හදන්නෙ එදිනෙදා ගෙදර ඉතිරි වෙන බත්වලින් හදාගන්න පුළුවන් රසවත් කෑම ටිකක් ගැන. බත් නොකන පොඩ්ඩන්ට බත් කවාගන්නත් මේ ක්‍රම ටික ගැළපෙනවා.

ඉතුරුම් බතේ පෝෂණ ගු ණය

සහල් වර්ගය (රතු/දුඹුරු හාල්, සුදු හාල්, තම්බපු සහල්) අනුව එහි අඩංගු පෝෂ්‍ය  පදාර්ථයන් වෙනස් වේ. ඕනෑම සහල් වර්ගයක ඇති ප්‍රධාන සංඝටකය වන්නේ කාබෝහයිඩ්‍රේට්යි. මෙම කාබෝහයිඩ්‍රේට් සිරුරේදි ශක්තිය බවට පරිවර්තනය වී මොළය ඇතුළු සියලුම අවයවවල ක්‍රියාකාරීත්වයට දායක වේ.

සුදු හාල් සහ දුඹුරු හාල් අතර වෙනස වන්නේ එහි ඇති නිවුඩ්ඩයි. එම නිසා සුදු හාලට වඩා යකඩ, කැල්සියම්, ප්‍රෝටීන, මේදය, තයමින්, නියැසින්, රයිබොෆ්ලේවින් ආදී සංඝටක රතු හාලේ අඩංගු වේ. ඒ අනුව සුදු හාලට වඩා රතු හාල ගුණදායක බවත්, රෝගීන් සඳහා වඩාත් සුදුසු රතු හාල බවත් පැවැසිය හැකිය.

සාමාන්‍ය වී ඇටයක පොත්ත පමණක් ඉවත් කිරීමෙන් දුඹුරු හාල සෑදේ. (රතු හාල යනු දුඹුරු හාලේම එක් විශේෂයකි.) මේ දුඹුරු හාලේ ඇති නිවුඩ්ඩ නිසා මා කලින් සඳහන් කළ පරිදිම අතිරේක පෝෂණයක් ලැබේ. මෙහි ඇති අසංතෘප්ත මේදය නිසා රුධිර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමේ ගුණයක් දුඹුරු හාලට ඇත.

තම්බපු හාල යනු වී ඇටය පිටින්ම තම්බා සකසන ලද සහල් වර්ගයකි. මෙහිදී නිවුඩ්ඩේ ඇති පෝෂ්‍ය  පදාර්ථයන් සහල් ඇටය තුළට දියවී යන නිසා දුඹුරු හාලේම ඇති සියලු ගුණ අඩංගු වේ. තවද තැම්බීමේදී සහල් ඇටය ඉදිමෙන නිසා අඩු සහල් ප්‍රමාණයකින් ආමාශය පිරීමද සිදුවේ. දියවැඩියාව හා අනෙකුත් බෝ නොවන රෝගීන්ට මෙම සහල් වඩාත් සුදුසුය.

රතු සුවඳැල් සහල බෝ නොවන රෝග සෑදීම පාලනය කරයි. කෙඳි ගතිය වැඩි නිසා ආහාර මාර්ගයේ සෞඛ්‍යටද හිතකරය. බාස්මතී හාල ජලයේ හොඳින් දියවෙන කෙඳි අඩංගු නිසා මලබද්ධය දුරු කිරීමට ඉවහල් වේ. ඉහළ මැග්නීසියම් හා පොටෑසියම් ප්‍රමාණයක් අන්තර්ගත වීම තුළින් රුධිර පීඩනය පාලනය කිරීමටද සහාය වේ.

කළු හීනැටි හාලේ කැඳ හෙපටයිටිස් රෝගය සුව වීමට ලබාදේ. පච්ච පෙරුමාල් හාල රුධිර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි. මැග්නීසියම් බහුලව අඩංගු නිසා රුධිර පීඩනය පාලනය කරයි.

 

උපදෙස්

සූපවේදී සුජිත් ආරියරත්න

 

රසින් උසස් පුඩිං

රයිස් පුඩිං අතුරුපසක් විදිහට රස බලන්න පුළුවන්. ඒත් ඉතින් අපේ අයට අතුරුපස කන්න වෙලාවක් කලාවක් නෑනේ. එහෙම බැලුවොත් ඉතින් මේ රෙසිපියේ රස ඕනෙ වෙලාවක බලන්න පුළුවන්.

මේ රයිස් පුඩිං එක හදන්න බත් කෝප්ප 1 1/2ක්, සීනි කෝප්ප 1/2ක්, ලොකු බිත්තර 2ක්, ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 1 1/2ක්, සාදික්කා කුඩු තේ හැඳි 1/2ක් සහ වියළි මිදි කප් 1/4ක් අවශ්‍ය වෙනවා.

මුලින්ම බෝල් එකක් ගෙන එයට බිත්තර, කිරි, සාදික්කා සහ සීනි එක්කර හොඳින් ගසාගන්න. එයට තරමක් පොඩි කළ බත් සහ වියළි මිදි එක්කර මිශ්‍රකර ගන්න.

මිශ්‍රණය බේක් කළ හැකි බටර් තවරාගත් බඳුනක දමාගන්න.

සෙල්සියස් අංශක 170ට උණුසුම් කරගත් උඳුනක දමා විනාඩි 45ක් බේක්කර ගන්න.

 

 

චීසි රයිස් බෝල්ස් හරිම රසයි

කෙටි කෑමක් ලෙස රස බලන්න නම් කියපු කෑමක්. බත් නොකන පොඩ්ඩන් මේ රයිස් බෝලයක් දෙකක් කෑවත් බඩ පිරෙනවා. මේ චීසි රයිස් බෝල්ස් හදන්න බත් කප් 1 1/2ක්, තම්බාගත් අල ගෙඩියක්, කැමති චීස් වර්ගයකින් කුඩා කොටු කීපයක්, රස අනූව ලුණු, ගම්මිරිස් ස්වල්පයක්, සිහින්ව ලියාගත් ලූනූ ගෙඩි බාගයක්, සිහින්ව ලියාගත් අමු මිරිස් කරලක්, බිත්තරයක් සහ පාන් කුඩු ස්වල්පයක් අවශ්‍ය වෙනවා.

මුලින්ම බත් ටික සහ අල ගෙඩිය වෙන වෙනම පොඩි කරගන්න. අලවලට ලුණු, ගම්මිරිස්, ලූනු සහ අමු මිරිස් එක්කර හොඳින් මිශ්‍රකර ගන්න. එයට බත් ටික එකතු කරගෙන මිශ්‍රකර ගන්න. සාදාගත් මිශ්‍රණයෙන් කොටසක් අතේ තෙල් තවරාගෙන අල්ලට ගෙන, එය මැදින් චීස් කැබැල්ලක් තබා බෝල කරගන්න. සාදාගත් බෝල බිත්තර සාරු තවරා, පාන් කුඩු දවටා, ගැඹුරු තෙලේ බැදගන්න.

 

 

රයිස් තෝසේ කමු ද?

හැමදාම කන තෝසේ එකට වෙනසක් එක් කරලා බලමු ද? මේ තෝසේ හදන්න වැඩි වියදමක් යන්නෙත් නෑනේ. ඉතුරුම් බත්වලින්නෙ හදන්නෙත්. එහෙනම් මේ විදිහට හදලා බලමු.

ඒ සඳහා බත් කෝප්ප 1ක්, හාල් පිටි කෝප්ප 1/2ක්, මීකිරි කෝප්ප 1/2ක්, වතුර කෝප්ප 1/2ක්, ආප්ප සෝඩා ස්වල්පයක් ලුණු ස්වල්පයක් සහ සිහින්ව ලියා තෙම්පරාදු කරගත් ලූනූ සහ කරපිංචා අවශ්‍ය වෙනවා.

බත්, මීකිරි, ලුණු, වතුර සහ හාල් පිටි එකට එක්කර, බ්ලෙන්ඩරයක දමා මෘදු බැටරයක් එන තෙක් බ්ලෙන්ඩ් කරගන්න.

එය බෝල් එකකට දමාගෙන, ආප්ප සෝඩා සහ ලූනූ, කරපිංචා එක්කර විනාඩි දහයක් තබා, තෙල් තවරාගත් තැටියක සාමාන්‍ය තෝසේ ආකාරයටම සාදාගන්න.

 

 

ඉතුරු බතින් රොටි

හැමදේම ගණන් කාලේ අහක දාන ඉතුරු බතින් මේ විදිහට රොටියක් හදලා බලමු.

පාන් පිටි 100ක්, ගා ගත් පොල් කෝප්ප 1/2ක්, බත් කෝප්ප 1/2ක්, සිහින්ව ලියාගත් රතු ලූනූ තේ හැඳි 1ක්,

කබලේ බැද කුඩුකර ගත් කරපිංචා තේ හැඳි 1/2ක්, තෙල් ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් මෙය සැකසීමට අවශ්‍ය වේ.

මුලින්ම පාන් පිටි ටික හළා ගන්න.

බත් ටික තලපයක් වෙනකල් අඹරන්න.

පොල්, පාන් පිටි සහ බත් තලපය තෙල් මේස හැඳි 2ක් සමග අනන්න. කපා ගත් කරපිංචා කුඩු සහ රස අනුව ලුණු එකතු කරන්න. දැන් හොඳට මිශ්‍ර කරන්න.

මේ මිශ්‍රණය තෙත ගතිය වැඩි නිසා වතුර ඉතා ස්වල්පයක් එකතුකර ගන්න. තෙල් ගා ගත් ලෑල්ලක් උඩ මිශ්‍රණය තබා රෝලින් පින් එකකින් අඟල් 1/4ක පමණ ඝනකමට තුනී කරන්න. ඉන්පසු වීදුරුවකින් හෝ කට ලොකු බෝතලයක මූඩියකින් රොටී රවුම් කපාගන්න.

පෑන් එකක් ළිප තබා බටර් හෝ මාගරින් ⁣ස්වල්පයක් රත් වීමට හැර දෙපැත්ත දමමින් රොටී ටික පුලුස්සා ගන්න.

මෙහෙම අග්ගළා හදන්න

 

බත් අග්ගළාවලට නම් තියෙන්නේ ලොකු ඉතිහාසයක්. කිරි අම්මලාගේ කිරි අත්තලාගෙ ගෙවල්වල සතියකට දෙතුන් වතාවක් බත් අග්ගළා හදන්න අමතක කරන්නේ නැහැ. එදා හදපු ඒ රසම රස බත් අග්ගලය අද මේ විදිහට හදලා බලමු.

මේ සඳහා වේළා ගත් බත් කෝප්ප එකක්, පොල් බෑයක පොල්, සීනි, හකුරු හෝ පැණි, ලුණු ස්වල්පයක් අවශ්‍ය වෙනවා.

වේළා ගත්  බත් රන්වන් පාට වෙනතුරු කබලේ බදින්න.

දැන් සිහින්ව ග්‍රයින්ඩ්කර ගන්න. පොල්, රස අනුව සීනි, (හකුරු හෝ පැණි) රස අනුව ලුණු එකට  කලවම් කරන්න. අවශ්‍ය නම් ගම්මිරිස් කුඩු ස්වල්පයක් ද එකතු කරන්න. ගුලිකිරීමට තෙත ගතිය මදිනම් වතුර ස්වල්පයක් එකතුකර ගන්න. අවසානයට ගුළි සාදා ගන්න.

 

 

බත් පකෝරා

රයිස් පකෝරා විශේෂ අවස්ථාවක නම් හොඳින්ම ගැළපෙනවා. පොඩ්ඩනුත් හරි ආසා වේවි.

රයිස් පකෝරා හදන්න බත් කෝප්ප 1ක්, සිහින්ව ලියාගත් පොඩි ලූනූ ගෙඩියක්, සිහින්ව කපාගත් අමු මිරිස් කරලක්, සූදුරු ඇට තේ හැඳි 1/4ක්, අබ ඇට තේ හැඳි 1/4ක්, කඩල පිටි මේස හැඳි 5ක්, කපාගත් කොත්තමල්ලි කොළ කෝප්ප 1/4ක්, කහ ස්වල්පයක්, ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු රස අනුව, පෙරුම්කායම් ස්වල්පයක් සහ මී කිරි මේස හැඳි 2ක් අවශ්‍යයි.

බත් ටික හැන්දකින් හොඳින් පොඩි කරගන්න. ඉතිරි ද්‍රව්‍ය සියල්ලම එයට එක්කර හොඳින් මිශ්‍ර කරගෙන විනාඩි 10-15ක් වසා තබන්න. දියාරු නොවන මෘදු ගතියක් ලබා ගැනීමට අවශ්‍ය තරම් වතුර එක්කර ගන්න.

හොඳින් රත් වූ ගැඹුරු තෙලට මිශ්‍රණයෙන් හැන්ද බැගින් දමා, රන්වන් පැහැ වනතුරු බැදගන්න.