මුරුංගාවල පෝෂණීය ගු ණය

පෙබරවාරි 26, 2024

අනෙකුත් එළවළු, පලතුරු හා සසඳන විට  මුරුංගාවල ඔබ නොදන්නා බොහෝ පෝෂණ ගුණයන් අන්තර්ගතය. විශේෂයෙන්ම මුරුංගා පත්‍ර ගතහොත් ඒවායේ විටමින් A බොහෝ ප්‍රමාණයක් අඩංගු වේ. විටමින් A බොහෝ ප්‍රමාණයක් අඩංගු වීම නිසා ඇස්වල නිරෝගී බව පවත්වා ගැනීමට මුරුංගා කොළ ආහාරයට ගැනීම වටී. එසේම සමේ නිරෝගී බව පවත්වා ගැනීමටත් මුරුංගා කොළ ආහාරයට ගැනීම වැදගත් වේ. කැරට්වල අඩංගු විටමින් A ප්‍රමාණය මෙන් හතර ගුණයක් විටමින් A, මුරුංගා කොළවල අඩංගු වේ. එසේම කෙසෙල්වල අඩංගු ප්‍රමාණය මෙන් පොටෑසියම්. තුන් ගුණයක් මුරුංගා පත්‍රවල අඩංගු වේ. එපමණක් නොව, කිරිවල අඩංගු කැල්සියම් ප්‍රමාණය මෙන් හතර ගුණයක් මුරුංගාවල අඩංගුවන අතර එහි විටමින් සී ද අඩංගු වේ. දොඩම් වැනි පලතුරුවල අඩංගු විටමින් සී ප්‍රමාණය මෙන් හත් ගුණයක් විටමින් සී ද යෝගට්වල අඩංගු ප්‍රෝටීන් ප්‍රමාණය මෙන් දෙගුණයක් ප්‍රෝටීන් ද මුරුංගා පත්‍රවල අඩංගු වේ. එසේම මිනිස් ශරීරයේ අස්ථි සහ ප්‍රතිශක්තිකරණ  පද්ධතිය නිරෝගීව පවත්වා ගැනීමටත් මේ මුරුංගා පත්‍ර ආහාරයට ගැනීම උපකාරී වේ.

සාමාන්‍යයෙන් ශරීරයේ යහපත් පැවැත්මට අවශ්‍යවන විටමින් B වර්ග රාශියක් ද මුරුංගා පත්‍රවල අඩංගු වේ. විටමින් B1 හෙවත් තයමින් ද, විටමින් B2 හෙවත් රයිබොෆ්ලේවින් ද, විටමින් B3 හෙවත් නියසින් ද, විටමින් B5 හෙවත් පෙන්ටොතනික් අම්ලය සහ විටමින් B6 වැනි විටමින් වර්ග රාශියක් මුරුංගා කොළවල අඩංගු වේ. මේ නිසාවෙන් ඔබේ ශරීරය ලෙඩ රෝගවලින් ආරක්ෂාකර ගැනීමට මුරුංගා පත්‍ර මඟින් සකසන ලද ආහාර පරිභෝජනය මඟින් හැකියාව ලැබේ. ඊට අමතරව යකඩ බොහෝ ප්‍රමාණයක් ද මැග්නීසියම් පොස්පරස් වැනි ඛනිජ ලවණ රාශියක් ද  මුරුංගා පත්‍රවල අන්තර්ගතය. තවද විටමින් B අඩංගු වීම හේතුවෙන් මිනිස් ශරීරයේ හිසකෙස් සහ සමෙහි නිරෝගී බව පවත්වා ගැනීමටත් මුරුංගා කොළ ඉවහල් වේ .

 

උපදෙස් - සූපවේදී සුජිත් ආරියරත්න

ටවුමේදී ගණන් උස්සන ගමේ මුරුංගා රහට හදන්නේ මෙහෙමයි

"මුරුංගා ගිනි ගණන් ගිහින්නේ. ඊට වඩා හොඳයි මාළු ටිකක් ගත්තනම්" ලොකු අයියා මුරුංගා මල්ලත් අරන් ගෙට ගොඩ වුණේම එහෙම කියාගෙන.

මේ කතාබහ අහගෙන හිටපු කිරි අම්මාගේ මුවගට නැඟුණේ සිනහවක්. “ඈ ලොකු පුතේ මුරුංගා කරලක තියෙන ගුණේ මාළු කිලෝ එකකින්වත් ගන්න පුළුවන් යෑ. මුරුංගා කියන්නේ දිව්‍ය ඖෂධයක්නේ. උඹලගේ අප්පච්චිලා කුඹුරු කොටාගෙන හයි හත්තිය තියාගෙන තවමත් ජීවත් වෙන්න හේතුවත් වත්ත පහළ තියෙන මුරුංගා ගහ කියලයි මං හිතාන ඉන්නේ. මොකද කිසි දවසක බත් පතට මුරුංගා වෑංජනයක්... මුරුංගා අච්චාරුවක් තියන්න මං අමතක කොළේ නැහැ. වැස්සට කඩන් නොවැටුණානම් අදටත් ගහ, මුරුංගා කරල් අඩුවක් නැතිව දෙනවා. මම අද කියලා දෙන්නම්කෝ හරි රහට මුරුංගා හදන විදිහ. දවසක උඹලගේ දරු මුනුපුරන්ටත් කියලා දෙන්න පුළුවන්නේ.”

 

මුරුංගා තේ ඔබව නිරෝගීව තබයි

අප ශරීරය නිරෝගීව පවත්වාගත හැකි ස්වාභාවික පානයන් සඳහා අවධානය ලබා දීම ඉතාම වැදගත් වේ. මෙවැනි ස්වාභාවික පානයන් අතරින් මුරුංගා තේ සඳහා මේ වනවිට ලොව පුරා බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබේ. මුරුංගා ශාකය ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල පහසුවෙන් වගාකර ගත හැකි හෙයින් මුරුංගා තේ පානය පිළිබඳව අපගේ දැනුම වර්ධනය කරගැනීම වැදගත් වේ. 

මුරුංගා කොළ මඟින් සකසන ලද තේ පානය මේ වනවිට දේශීය වෙළෙඳපොළේ පවා බොහෝ ප්‍රචලිත වී තිබේ. මේ මුරුංගා තේ පානය තුළින් ඔබේ ශරීරය නිරෝගීව පවත්වා ගැනීමටත්, ඔබේ ශරීරයේ හැඩය මැනවින් පවත්වාගෙන යෑම සඳහාත් හැකියාව ලැබේ.

මුරුංගා තේ පානය තුළින් ඔබේ ශරීරයේ ඇති වැඩිපුර මේදය දහනය කරනු ලැබේ. ඔබේ ශරීරයේ හැඩය පවත්වා ගැනීමට සෘජුවම මෙම පානය බලපායි. ශරීරයේ ඇති අනවශ්‍ය මේද කොටස් දහනය කිරීමට මුරුංගා තේවලට හැකියාව තිබේ. මෙම මුරුංගා තේවල ප්‍රතිඔක්සිකාරක බොහොමයක් සහ පොලිෆීනෝල් සංයෝග ‍රැසක් ද අඩංගු වේ. මේ නිසා ඔබේ රුධිරයේ තිබෙන අනවශ්‍ය මේදය ඉවත් කොට ශරීරයට නිරෝගී සහ ආකර්ෂණීය හැඩයක් ලබා දීමටත් මුරුංගා තේවලට හැකියාව තිබේ.

මුරුංගා තේවලට ඔබේ රුධිර පීඩනය අවම කිරීමට ද පුළුවන. වෙ‍ෙළඳපළේ ඇති ඇතැම් පාන වර්ග භාවිතය හරහා ඔබේ රුධිරයේ තිබෙන රුධිර පීඩනය ඉහළ යෑම හේතුවෙන් තවත් බොහෝ රෝගවලට අතවැනීමක්, ඔබටත් නොදැනීම සිදු වේ. නමුත් මුරුංගා තේ වැනි ස්වාභාවික පානයක් ලබා ගැනීම තුළින්, රුධිර පීඩනය අවමකර ගැනීමට ඔබට හැකියාව ලැබේ. විවිධ බෙහෙත් කරල් වර්ගවලට හුරු නොවී මෙවැනි ස්වභාවික පානයන් තුළින් ඔබේ රුධිරයේ පීඩනය අවම කරගත හැකි නම් එය බොහෝ වටින බව නොඅනුමානය.

 

මුරුංගා තෙල්

බොහෝ ශාකවලින් නිෂ්පාදනය කරනු ලබන තෙල් වර්ග පිළිබඳව ඔබ දන්නා නමුත් මුරුංගා ඇටවලින් නිෂ්පාදනය කරන තෙල් පිළිබඳව ‍බොහෝ දෙනෙක් පාහේ නොදනී.

මුරුංගා ඇටවලින් තෙල් නිෂ්පාදනය කිරීම මගින් විවිධ ආහාර සකසා ගැනීමටත්, විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදන වෙෙඳ‍ෙපාළට හඳුන්වා දීමටත් හැකියාව ලැබේ. වෙළඳපොළේ ඇති විවිධ කෘත්‍රිම තෙල් වර්ග ආහාර පිසීම සඳහා නුසුදුසු විය හැකියි. මෙයට හේතුව වන්නේ එවැනි තෙල්වල අඩංගුවන ශරීරයට අහිතකර සංයෝග නිසා ශරීරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යෑමයි. මේ නිසා බොහෝ ලෙඩ රෝග වර්ධනය විය හැකියි. නමුත් මුරුංගා ඇටවලින් ලබාගන්නා තෙල් ශරීරයට ඉතාමත් හිතකරවන අතර ඒවා මගින් ආහාර පිස ගැනීම නිසා ඔබේ රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාමක් සිදු නොවේ. එසේම මිනිස් ශරීරයේ බො‍ෙහාමයක් ලෙඩ රෝග සුව කිරීමට ද මුරුංගා තෙල්, ආහාර පිසීමට යොදා ගැනීම මගින් හැකියාව ලැබේ.මේ වන විට වෙ‍ෙළඳපළේ මිලදී ගැනීමට ඇති මෙම මුරුංගා ඇටවලින් ලබා ගන්නා තෙල් සාදා ඇත්තේ ඉහළ ප්‍රමිතියකින්වන අතර පහසු මිලකට ඔබට ඒවා ලබා ගැනීමටද හැකියාව ලැබේ.

 

මුරුංගා සුප්

මුරුංගාවලින් සකසන මේ සුප් එක නිදන්ගත රෝග තියෙන අයට වගේම ශරීරයේ තුවාල ඇති අයටත් මහත් ගුණ දේ.

 

මේ සුප් එකට තරමක කෑලි කපාගත් මුරුංගා කෝප්ප 2ක්, බටර් මේස හැඳි 1ක්, සිහින්ව ලියාගත් ලූනු ගෙඩි 1/2ක්, පොඩියට කපාගත් අල ගෙඩි 1/2ක්, කිරි කෝප්ප 1/2ක් සහ රස අනුව ලුණු අවශ්‍ය වේ.

ප්‍රෙෂර් කුකර් එකට කිරි හැර ඉහත සියල්ලම දමා වතුර කෝප්ප 2ක් දාලා විසිල් 3ක් යනකල් තම්බාගන්න. 

අනතුරුව මේ මිශ්‍රණයට කිරි දාලා හොඳට බ්ලෙන්ඩ් කරලා පෙරාගන්න. ඝනකම් වැඩි නම් තව වතුර එක් කරන්න. 

පෙරාගත්ත සුප් එක වෙනම භාජනයකට දාලා ළිපේ තියලා මඳගින්නෙ විනාඩි 3ක් පිසගන්න. රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු එකතු කරලා ළිපෙන් බාගන්න. 

 

මුරුංගා අච්චාරු

විවිධ වර්ගයේ අච්චාරු ගැන අහලා තිබුණට මුරුංගාවලින් හදන අච්චාරු ගැනනම් අහලා නැතුව ඇති. ඒ නිසාම ඔබේ බත් පතට වෙනසක් එක්කර ගන්න මේ මුරුංගා අච්චාරුව හදලා බලමු.

 

මේ සඳහා සාමාන්‍ය තරමට කෑලි කපාගත් මුරුංගා කෝප්ප 2ක්, අබ තෙල් කෝප්ප 1/2ක්, අබ තේ හැඳි 1ක්, කඩල පරිප්පු තේ හැඳි 1ක්, කරපිංචා ඉත්තක්, වියළි මිරිස් කරල් 3ක්, කහ කුඩු තේ හැඳි 1/4ක්, මිරිස් කුඩු මේස හැඳි 1ක්, සියඹලා යුෂ කෝප්ප 1/4ක්,

ලුණු සහ තෙල් ස්වල්පයක් අවශ්‍ය වේ.

පේස්ට් එක සඳහා උළුහාල් තේ හැඳි 2ක්, අබ මේස හැඳි 1ක් සහ සූදුරු තේ හැඳි 1ක් අවශ්‍ය වේ.

 පේස්ට් එකට අවශ්‍ය උළුහාල්, අබ හා සූදුරු ඔක්කොම එකට ග්‍රයින්ඩ් කරගන්න. 

පෑන් එකට තෙල් ටිකක් දාලා මුරුංගා ටික බැදෙන්න අරින්න. මුරුංගා ටික අයින් කරලා මේකට අබ, වියළි මිරිස්, කඩල පරිප්පු හා කරපිංචා දාලා තෙම්පරාදු කරගන්න. 

ඊළඟට මිරිස් කුඩු, කහ කුඩු හා සියඹලා යුෂ දාගන්න. මේකට ග්‍රයින්ඩ් කරගත් පේස්ට් එකත් දාගන්න. රස අනුව ලුණු එකතු කරගන්න.  

බැදගත් මුරුංගා ටික දාලා කලවම් කරලා මඳ ගින්නෙ විනාඩි 3ක් වගේ පිසගන්න. මේක නිවෙන්න තියලා ජීවාණුහරණය කළ බෝතල් වල අසුරගන්න. දවස් දෙකකට පස්සෙ කෑමට ගන්න. 

 

මුරුංගා රටකජු කරිය

මෙය ඉතාම රසවත් වෑංජනයකි. රටකජු වෙනුවට කඩල එකතුකර ගත්තත් වරදක් නැත.

අඟලක කෑලි කපාගත් මුරුංගා කෝප්ප 1ක්, තෙල් ස්වල්පයක්, සූදුරු තේ හැඳි 1ක්, රෝස්ට් කරගත් රටකජු කෝප්ප 1ක්, මිරිස් කුඩු තේ හැඳි 2ක්, අමු තුනපහ කුඩු මේස හැඳි 2ක්, රස අනුව ලුණු, කහ කුඩු තේ හැඳි 1/4ක් අවශ්‍ය වේ.

 මුලින්ම මුරුංගාවලට ලුණු දාලා තම්බගන්න. පෑන් එකක් ළිපේ තියලා තෙල් ටිකක් දාගන්න. මේකට සූදුරු ටික දාලා බැදෙන්න අරින්න. රටකජු ටිකත් දාලා විනාඩි 5ක් වගේ තියාගන්න. 

මේකට වතුර කෝප්ප 2ක් දාලා මිරිස් කුඩු, කහ කුඩු හා තුනපහ කුඩු එකතු කරන්න. රස අනුව ලුණු දාගන්න. තවත් විනාඩි 7ක් වගේ මඳ ගින්නෙ පිසගන්න. ඊළඟට මුරුංගා ටික දාලා විනාඩි 2ක් විතර කලවම් කරලා ළිපෙන් බාගන්න. 

 

සූරපු මුරුංගා කරිය

සූරපු මුරුංගා කරියට ඈත අතීතයේ තිබුණේ ලොකු පිළිගැනීමක්. ගැමියන් එය දිව්‍ය භෝජනයක අඩංගු වෑංජනයක් ලෙසත් හැඳින්වූයේ ඒ නිසයි. අද වැඩි දෙනෙක් නොදන්නා සූරපු මුරුංගා කරිය හරි රහට මේ විදිහට හදලා බලමු.

සූරපු මුරුංගා කරිය හදන්න කෑලි කපාගත් මුරුංගා කරල් 4ක්, පරිප්පු මිටක් පමණ, කපාගත් ලූනු ගෙඩි 2ක්, කපාගත් සුදුලූනු බික් 2ක්, රම්පේ හා කරපිංචා, කපාගත් අමු මිරිස් කරලක්, කහ කුඩු තේ හැඳි 1/2ක්, අමු තුනපහ කුඩු තේ හැඳි 1ක්, උළුහාල් ටිකක්, ලුණු, අබ ස්වල්පයක්, තෙල් ස්වල්පයක් ,කඩාගත් වියළි මිරිස් කරල් 4-5ක් සහ මිටිකිරි කෝප්ප 2ක් අවශ්‍ය වේ.  පළමුව මුරුංගා කෑලි එක්ක පරිප්පු දාලා අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා තම්බාගන්න. තම්බාගත්ත මුරුංගා ටික වෙන් කරගෙන මුරුංගා මදය ඇටත් එක්ක හැන්දකින් සූරල එකතු කරගන්න. 

වෙනම භාජනයක් ළිපේ තියලා තෙල් ටිකක් දාලා රත් වෙන කොට අබ දාල අබ පුපුරන කොට උළුහාල්, වියළි මිරිස්, රම්පෙ, කරපිංචා දාලා තෙම්පරාදු කරන්න. ඒකටම ලූනූ, අමු මිරිස් සහ සුදුලූනූ දාලා කහ කුඩු, තුනපහ කුඩු, ලුණු දාලා හොඳට තෙම්පරාදු කරගන්න. මේකට මිටිකිරි ටික දාලා උතුරන කොට මුරුංගා සහ පරිප්පු එකතු කරලා රස අනුව ලුණු දාගන්න. හොද්ද උකු වෙනකම් ගාණකට හින්දගෙන ළිප නිවාගන්න. 

 

මුරුංගා බිත්තර කරිය

මුරුංගා බිත්තර කරිය වැඩෙන වයසේ දරුවන්ට මහත් ගුණ ගෙන දේ. සකසා ගැනීමට පහසු මේ වෑංජනය හදන්න කෑලි කපාගත් මුරුංගා කරල් 2ක්, තම්බාගත් බිත්තර 4ක්, ලියාගත් ලූනූ ගෙඩි 1ක්, චොප් කරගත් සුදුලූනූ බික් 4ක්, කපාගත් තක්කාලි ගෙඩි 1ක්, මිරිස් කුඩු තේ හැඳි 1ක්, අමු තුනපහ කුඩු තේ හැඳි 1ක්, කහකුඩු තේ හැඳි 1/2ක්, ලුණු, තෙල් ස්වල්පයක්, අබ ස්වල්පයක්, කඩාගත් වියළි මිරිස් කරල් 4ක් සහ කරපිංචා ඉත්තක් අවශ්‍ය වේ.

මුලින්ම තම්බාගත් බිත්තරවල තැන තැන පිහි තුඩකින් හිල් කරගෙන තෙල් ටිකක් දාලා හරවමින් බැදගන්න. ඒ වගේම මුරුංගා ටිකත් බැදගන්න. 

වෙනම පෑන් එකකට තෙල් ටිකක් දාලා අබ ටික පුපුරවාගන්න. මේකට චොප් කරගත් සුදුලූනූ හා වියළි මිරිස් හා කරපිංචා ටික දාලා තෙම්පරාදු කරගන්න. ලූනූ ටිකත් දාගන්න. ඊළඟට මුරුංගා ටික දාලා මිරිස් කුඩු, කහ කුඩු හා තුනපහ කුඩු ටික දාගන්න. තක්කාලි ටිකත් දාලා කලවම් කරලා විනාඩි 5ක් තැම්බෙන්න තියන්න. 

මේකට වතුර කෝප්ප 1/4ක් වගේ දාලා රස අනුව ලුණු දාගන්න. තම්බපු බිත්තර ටිකත් අතුරලා උතුරනකල් ළිපේ තියාගන්න.