කෙටිම ක්‍රමයෙන් කෙටි කෑම හදමු

ජනවාරි 22, 2024

කඩෙන් දෙයක් ගන්න යන්න බැරි වෙලාවක හැදෙන පොඩි බඩගින්නට වගේම කම්මැළිකමටත් හපන්න දෙයක් ගෙදරදීම හදන්න පුළුවන් නම් ඒක සාක්කුවටත් හොඳයි. සෞඛ්‍යටත් හොඳයි. ඒ වගේ වෙලාවකට වටින රෙසිපි කිහිපයක් තමයි අද අරන් ආවේ. ගෙදර තියෙන පොඩි පොඩි දේවල් ටිකක් එකතු කරලා හදාගන්න පුළුවන් රසම රස මේ රෙසිපි ටික ට්‍රයි කරලා බලන්න. හදන්නත් හරිම පහසුයි.

 

පීසා බොම්බ්ස්

පොඩි බඩගින්නට වගේම තේ වෙලාවටත් කදිම පීසා බොම්බ්ස් හදන්න නම් හරිම පහසුයි.

ඒ සඳහා ග්‍රෑම් 200 පීසා ඩෝ එකක්, (මේ විදිහට සකසා ගත් පීසා ඩෝ දැන් වෙළෙඳපොළෙන් මිලදී ගත හැකියි.) පීසා සෝස් ස්වල්පයක්, උණු කරගත් බටර් මේස හැඳි 3ක්, ගාලික් පවුඩර් තේ හැඳි 1/2ක්, සිහින්ව ලියාගත් පාස්ලි මේස හැඳි 2ක්, ගාගත් මොසරැල්ලා චීස් කෝප්ප 1ක් අවශ්‍යයි.

මුලින්ම පීසා ඩෝ එක කෑලි කපාගෙන පොඩි රවුම් රොටි හදාගන්න. ඒ රොටි මැදට පීසා සෝස් ගාගෙන ඊට උඩින් ගාලික් පවුඩර්, පාස්ලි, මොසරැල්ලා චීස් හා ගම්මිරිස් කුඩු දාගන්න. 

රොටිය වටෙන් ඔතලා බෝලයක් වගේ හදාගෙන බටර් ගාගත් ට්‍රේ එකක තියලා උඩින් උණු කරගත් බටර් ගාගන්න. 

සෙල්සියස් අංශක 180ට උණුසුම් කරගත් අවන් එකක විනාඩි 15ක් වගේ බේක් කරගන්න. 

 

ක්‍රිස්පි බබ්ල් පොටැටෝ චිප්ස්

තම්බාගත් අල ගෙඩි 3ක්, බටර් මේස හැඳි 2ක්, ලුණු, චීස් ස්ප්‍රෙඩ් මේස හැඳි 1ක් අවශ්‍යයි.

මුලින්ම අල ටික හොඳටම පොඩිකර ගන්න. මේකට බටර්, චීස් හා ලුණු දාලා පොඩ්ඩක්වත් කැට නැතිවෙන්න පොඩිකර ගන්න.  පයිපින් බෑග් එකකට නොසල් එකක් දාලා මේ මිශ්‍රණය දමා ගන්න. ඉන්පසුව බේකිං ෂීට් එකක් දාපු ට්‍රේ එකකට මේකෙන් පයිප් කරලා සෙල්සියස් අංශක 180ට රත් කළ අවන් එකක විනාඩි 30-40ක් බේක් කරගන්න. 

 

 

චිකන් මොසරැල්ලා ස්ටික්ස්

පිරවුම සඳහා ක්‍රීම් චීස් ග්‍රෑම් 200ක්, තම්බාගෙන ඉරාගත් කුකුළු මස් ග්‍රෑම් 200ක්, හොට් සෝස් කෝප්ප 1/4ක්, ගාගත් මොසරැල්ලා චීස් කෝප්ප 2ක්, ගාගත් චෙඩාර් චීස් කෝප්ප 1ක්, ලුණු හා ගම්මිරිස් කුඩු අවශ්‍යයි.

 

දැවටුම සඳහා පාන් පිටි කෝප්ප 1ක්, බිස්කට් කුඩු කෝප්ප 1ක් සහ බිත්තර 2ක් අවශ්‍යයි.

 මුලින්ම පිරවුමට අදාළ සියල්ලම බෝල් එකකට දාලා කලවම්කර ගන්න. දැන් මේක බේකිං ෂීට් එකක් දාපු කොටු ට්‍රේ එකකට දාලා තරමක් ඝනකමට පැතලිකර ගන්න.  පැයක් වගේ ශීතකරණයේ තබා පිටතට ගෙන තීරු කපා ගන්න. දැන් මේ තීරු පාන් පිටිවල දවටලා, බිත්තර සාරු ගාලා බිස්කට් කුඩු තවරා ගන්න. ගැඹුරු තෙලේ බැද ගන්න. 

 

 

ඩෙවිල්ඩ් එග්ස්

 

ඩෙවිල්ඩ් එග්ස් කෙටි කෑමක් විතරක්ම නෙවෙයි දහවල් ප්‍රධාන අාහාර වේල සමඟ වුව ද ආහාරයට ගත හැකියි.

 තම්බාගත් බිත්තර 10ක්, පාන්පිටි කෝප්ප 1ක්, බිත්තර සාරු ස්වල්පයක්, බිස්කට් කුඩු කෝප්ප 1ක්, මයෝනේස් මේස හැඳි 4ක්, අබ පේස්ට් මේස හැඳි 2ක්, හොට් සෝස් මේස හැඳි 1ක්, ලුණු හා ගම්මිරිස්කුඩු ස්වල්පයක් මේ සඳහා අවශ්‍යයි.

 

බිත්තර දෙකට පළලා කහමද ටික වෙන් කරගන්න. සුදුමද පලු පාන්පිටිවල තවරලා බිස්කට් කුඩු ගාගන්න. දැන් මේ ටික ගැඹුරුතෙලේ බැදගන්න. 

බිත්තර කහමද ටික වෙනම බෝල් එකකට දාලා ඒකට මයෝනේස්, අබ පේස්ට් හා හොට් සෝස් දාලා රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු ඉසගන්න. 

මේක හොඳට කලවම් කරලා පයිපින් බෑග් එකකට දාලා බැදගත් බිත්තර පළුවලට පයිප් කරගන්න. 

 

 

නූඩ්ල්ස් කට්ලට්ස්

ක්ෂණික නූඩ්ල්ස් පැකට් එකක්, සිහින්ව ලියාගත් ලූනු මේස හැඳි 3ක්, සිහින්ව ලියාගත් අමු මිරිස් මේස හැන්දක්, සිහින්ව ලියාගත් කැරට් මේස හැඳි 2ක්, තම්බා පොඩි කරගත් පොඩි අල ගෙඩි 2ක්, පාන් කුඩු, බිත්තරයක්, පාන් පිටි ටිකක්, රස අනුව ලුණු, ගම්මිරිස් සහ කෑලි මිරිස්.

 

නූඩ්ල්ස් පැකට් එක කුඩාවට කඩාගෙන තම්බා වතුර පෙරා ගන්න. එයට පාන් පිටි, පාන් කුඩු සහ බිත්තරය හැර අනෙත් සියල්ල එක්කර හොඳින් මිශ්‍රකර ගන්න.

මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා පැතලිකර ගෙන පාන් පිටිවල දවටාගෙන බිත්තර සාරු තවරා පාන් කුඩුවල දවටා ගන්න. තෙල් අඟල් භාගයක් පමණ උසට සිටින ලෙස පැතලි නන්ස්ටික් තැටියක රත්කර ගෙන සාදාගත් කට්ලට්ස් දමා දෙපැත්ත බැද ගන්න.

 

උපදෙස්

සූපවේදී සුජිත් ආරියරත්න