බිත්‍තර වලින් රසවත් ආහාර

අප්‍රේල් 15, 2020

මේ දිනවල බිත්තර මිල පහල බැහැලා. ඉතිං කොරෝනා වසංගතය නිසා නිවෙසෙහි කාලය ගත කරන ඔබට පුළුවන් බිත්තර වලින් රසවත් ආහාර සකසා දවසේ කෑම වේලට වෙනසක් එකතු කරන්න.

බිත්තර කියන්නේ පෝෂණ ගුණයෙන් ඉතාම ඉහළ ආහාරයක්. විශේෂයෙන්ම ඔබේ සිරුරේ පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමේදි බිත්තරයකට වැඩි දායකත්වයක් ලබා දෙන්න පුළුවන්. ප්‍රෝටීන ලබා ගැනීමේ ප්‍රධානතම ආහාරයක් ලෙසත් බිත්තර සැලකෙනවා. ඒ නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණය වඩවා ගැනීමට එය හොඳම මගක්. කොරෝනා වසංගතයෙන් බේරීමට නම් ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉහළ මට්ටටමක තබා ගැනීම වැදගත්. එබැවින් මෙවැනි පෝෂණීය අහාර ඔබේ ආහාර වේලට එකතු කර ගන්න.

නිවෙසට වී නිරෝධායන සමයක් ගෙවමින් සිටින ඔබත් මේ ආහාර වට්ටෝරු සකසා රස බලන්න.

උපදෙස් සූපවේදිනී සුජාතා ජයරත්න

 

ඔම්ලට් කරිය

omelet

අවශ්‍ය ද්‍රව්‍ය

ඔම්ලට් සාදාගැනීමට

බිත්තර 6ක්

කුඩාවට කපාගත් බී ලූනූ

ගෙඩියක් හෝ රතු ලූනූ ගෙඩි 3-4ක්

කුඩාවට කපාගත් අමු

මිරිස් කරල් 2-3ක්

තක්කාලි ගෙඩි 2ක්

ලුණු කුඩු තේ හැන්දක්

ගම්මිරිස් කුඩු තේ හැන්දක්

කරිය සාදා ගැනීමට

දිය කිරි කෝප්ප 1ක්

මිටි කිරි කෝප්ප 1ක්

ලූනූ

අමු මිරිස්

රම්පෙ

කරපිංචා

කහ කුඩු

කුරුඳු පොත්තක්

උම්බලකඩ තේ හැඳී 2ක්

උළුහාල් ස්වල්පයක්

ලුණු ස්වල්පයක්

 

සාදන ක්‍රමය

පළමුව ඔම්ලට් සාදා ගත යුතුයි. බිත්තර 6 කඩා භාජනයකට දමන්න. එයට කුඩාවට කපාගත් රතු ලූනූ, අමු මිරිස්, තක්කාලි එකතු කර ගෑරුප්පුවකින් ගසා ගන්න. ඉන්පසු පෑන් එකක් ළිප තබා පොල් තෙල් ස්වල්පයක් එකතු කර තෙල් රත් වූ පසු ඔම්ලට් මිශ්‍රනය දමා ඔම්ලට් එක සකසා ගන්න.

ඉන්පසු කරිය සාදාගන්න. ඒ සඳහා භාජනයක් ගෙන එයට දිය කිරි, ලූනූ, අමු මිරිස්, රම්පෙ, කරපිංචා, කහ කුඩු, කුරුඳු, උම්බලකඩ, උළුහාල්, එකතු කර මිශ්‍ර කර ළිප තබන්න. තැම්බීගෙන එන විට මිටිකිරි එකතු කර හැදි ගාමීන් පිස ගන්න. ඉන්පසු ඔම්ලට් එක කෑලි 6කට කපා කරියට දමා විනාඩි 2ක් පමණ තබා ළිපෙන් බා ගන්න.

 

-----------------------------

ස්කැම්බල් එග්

scrambled egg

අවශ්‍ය ද්‍රව්‍ය -

බිත්තර 5ක්

බටර් මේස හැඳී 1ක්

කිරි මේස හැඳී 5ක්

ලුණු රස අනූව

ගම්මිරි කුඩු ස්වල්පයක්

සිහින්ව ලියාගත් පාස්ලි හෝ ගොටුකොළ

 

සාදන ක්‍රමය -

භාජනයක් ගෙන එයට බිත්තර 5 කඩා දමන්න. එයටම බටර්, කිරි, ගම්මිරිස් සහ ලුණු එකතු කර මිශ්‍ර කරගන්න.

දැන් වෙනත් භාජනයක් ගෙන එයට වතුර එකතු කර ළිප තබන්න. එම වතුර භාජනයටම බිත්තර මිශ්‍රනය සහිත භාජනය තබා ඩබල් බොයිල්ඩ් ක්‍රමයට පිස ගන්න. බිත්තර හොඳීන් පිසුනු පසු දීසියකට දමා පාස්ලි කොළවලින් සරසා ගන්න.

 

--------------------

පොටෑටෝ එග් බෝට්ස්

potato egg boats

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බාගත් බිත්තර

තම්බාගත් අර්තාපල්

ලුණු

ගම්මිරිස් කුඩු

බටර් හෝ මාජරින්

කිරි ස්වල්පයක්

තක්කාලි හෝ සෝස් ස්වල්පයක්

සිහින්ව කපාගත් පාස්ලි හෝ ගොටුකොළ

සාදන ක්‍රමය

පළමුව තම්බාගත් බිත්තර කිහිපය ගෙන බිත්තර දෙකට කපා කහ මදය ඉවත් කරන්න. ඉන්පසු භාජනයක් ගෙන එයට කහ මද ටිකත්, තම්බාගත් අර්තාපල් ටිකත් එකතු කරන්න.

එයට ලුණු, ගම්මිරිස්, තක්කාලි සෝස්, බටර් සහ කිරි ස්වල්පයද එකතු කර ක්‍රීම් එකක් වන සේ හොඳින් මිශ්‍ර කරගන්න.

දැන් මේ ක්‍රීම් එකෙන් ස්වල්පය බැගින් ගෙන සුදු බිත්තර පළුවලට පුරවා ගන්න. එයට උඩින් පාස්ලි හෝ ගොටුකොළ ඉස සරසා ගන්න.

අවසානයට තැටියකට දමා මේසයට යවන්න.

--------------------

 

වැනිලා ස්පොන්ච් රෝල්

chainese sponge roll

 

අවශ්‍ය ද්‍රව්‍ය

බිත්තර 4ක්

සීනී ගෑම් 100ක්

පාන් පිටි ගෑම් 100ක්

බේකින් පවුඩර්

තේ හැඳී 1/8ක්

කෝන් ෆ්ලවර්

මේස හැඳී 1/2ක්

වැනිලා තේ හැඳී 1ක්

බටර් හෝ මාජරින්

තේ හැඳී 1ක්

ජෑම් මේස හැඳී 3ක්

 

සාදන ක්‍රමය

පාන් පිරි, බේකින් පවුඩර් සහ කෝන් ෆ්ලවර් එකට මිශ්‍රකර පෙනේරයකින් තුන් වරක් හලා ගන්න.

ඉන්පසු වීදුරු භාජනයක් ගෙන බිත්තර බිත්තර සුදු මද 4 පෙන එන තෙක් වෙනම බීට් කර ගන්න. එයට සීනී ද එකතු කර හොඳීන් බීට් කරන්න. සීනී හොඳීන් දිය වූ පසු බිත්තර කහ මද එකතු කරන්න. එයට හලාගත් පිටි සහ වැනිලා එකතුකර හැන්දකින් කලවම් කරන්න. ඉන්පසු බටර් ගාගත් තැටියකට මේ මිශ්‍රනය දමා සෙන්ටිග්‍රේට් 180ට රත් කළ අවන් එකේ විනාඩි 15-20ක් බේක් කර ගන්න. බේක් වූ පසු එය තැටියෙන් ඉවතට ගෙන ඒ මට ජැම් තවරන්න. ඉන්පසු එය රෝල් කර ලන්ච් ශීට් එකකින් ඔතා ශීතකරණයේ පැයක් තබා කෑමට ගන්න.

 

---------------------

එග් පකෝරා

egg pakora

අවශ්‍ය ද්‍රව්‍ය -

බිත්තර 6ක්

හාල් පිටි ග්‍රෑම් 200ක්

පාන් පිටි ග්‍රෑම් 100ක්

කෝන් ෆ්ලවර් මේස හැඳී 2ක්

ගම්මිරිස් කුඩු තේ හැඳී 1/2

මිරිස් කුඩු තේ හැන්දක්

කහ කුඩු තේ හැඳී 1/2

අඹරාගත් ඉඟුරු, සුදු ලූනූ තේ හැඳී 1ක්

බේකිං සෝඩා තේ හැන්දක්

ලුණු රස අනූව

සාදන ක්‍රමය -

බඳුනක් ගෙන එයට හාල් පිටි, පාන් පිටි, කෝන් ෆ්ලවර්, ගම්මිරිස්, මිරිස් කුඩු, කහ කුඩු, අඹරාගත් ඉඟුරු සුදු ලූනූ, බේකිං සෝඩා සහ රස අනූව ලුණු එකතු කර බැටරය සාදා ගන්න. ඉන්පසු බිත්තර 6 තම්බාගෙන කටු ඉවත්කර දෙකට කපා ගන්න. මේ බිත්තර පලු සාදාගත් බැටරයේ තවරා ගැඹුරු තෙලේ බැද ගන්න. තාක්කාලි සෝස් හෝ චට්නි සමඟ සවස තේ පානයට වඩා සුදුසුයි.