කටට සැරට ආස අයට මෙක්සිකෝවේ බුරිටෝ

සැප්තැම්බර් 25, 2023

මෙක්සිකෝව කියන්නේ බොහොම විචිත්‍රවත් සංස්කෘතියක් තිබෙන සුන්දර මිනිසුන් ජීවත්වෙන රටක්. ඒ නිසාම මෙක්සිකෝවේ උත්සව අවස්ථාවනුත් ජයටම සමරනවා. මෙක්සිකානු සම්ප්‍රදායත් එක්ක එන ආහරයක් තමයි බුරිටෝ කියන්නේ. ඉතින් සෑම උත්සව අවස්ථාවකටම විවිධ රසයට බුරිටෝ හදන්න ඔවුන් අමතක කරන්නේ නැහැ. ඉතින් අපිත් හිතුවා බුරිටෝ හදන හැටි කියලා දෙන්න.

මේ බුරීටෝ හදන්න ගන්නෙ විශේෂයෙන්ම ටෝටිලා රොටි. ඒ වගේම මේකට විශේෂයෙන්ම රෙඩ් බීන් පේස්ට් එක දානවා ඒ රටවල්වල. ඉතින් අපි අපේ රටේ ලේසියෙන් හොයාගන්න පුළුවන් දේවල් දාලා හදමු.

 

ටෝටිලා රොටිය

බුරිටෝ ෆිලින් එක හදන්න කලින් ටෝටිලා රොටිය හදා ගන්න ඕනේ. ටෝටිලා රොටිය හදාගෙන අපිට කැමැති විදිහකට ෆිලින් එක දමාගන්න පුළුවන්.

කලින් කිව්වා වගේ බුරිටෝ හදන්න විශේෂයෙන්ම ගන්නෙ ටෝටිලා රොටිය. ඒක හදන්නෙ මෙහෙමයි.

පාන්පිටි කෝප්ප 2ක්

පොල්තෙල් ස්වල්පයක්

ලුණු ස්වල්පයක්බේකිං පව්ඩර්

තේහැඳි 1ක්

ළා රස්නෙ වතුර කෝප්ප 1/2ක්

සියලුම අවශ්‍ය ද්‍රව්‍ය බෝල් එකකට දාලා හොඳට නීඩ් කරලා ඩෝ එකක් හදාගන්න. මේක තෙත රෙදි කෑල්ලකින් වහලා විනාඩි 30ක් තියන්න. ඊළඟට මේ ඩෝ එක අරන් කොටස්වලට කඩලා ඒ කොටස් ටිකත් හොඳට නීඩ් කරගන්න. ඊළඟට මේවයින් බෝල හදලා විනාඩි 15ක් වහලා තියන්න. ආයෙ ටිකක් නීඩ් කරලා තුනී කරලා බටර් ගාගත් පෑන් එකකට දාලා දෙපැත්ත පුලුස්සා ගන්න.

---------------------------------

සොසේජස් මික්ස් එග් බුරිටෝ

බිත්තර 2ක්

චීස් මේසහැඳි 1ක්

ලුණු හා ගම්මිරිස් කුඩු

ස්වල්පයක් බටර්

ස්වල්පයක් ග්‍රේට්කරගත් චෙඩාර්

චීස් ස්වල්පයක් සොසේජස්

ස්වල්පයක්

බේකන් කෑලි ස්වල්පයක්

 

 

සොසේජස් ටික වෙනම ෆ්‍රයි කරගන්න. බේකන් ටිකත් ඒ වගේම ෆ්‍රයි කරලා පැත්තකින් තියාගන්න. බිත්තර දෙක කඩලා චීස්, ලුණු හා ගම්මිරිස්කුඩු දාලා විස්ක් කරගන්න. ඊළඟට බටර් ටිකක් දාලා මෙල්ට් වෙනකොට මිශ්‍රණය දාලා ස්ප්‍රෙඩ් කරගන්න.

මේක මැදට චීස් ටික දාලා සොසේජස් හා බේකන් ටික දාගන්න. දැන් මේක වහලා විනාඩි 2-3ක් තියන්න.

ළිපෙන් බාලා බිත්තර මිශ්‍රණයෙන් හතර පැත්ත වහගන්න.

-------------------------

ච්කන් බුරිටෝ

බිත්තර 3ක් සිහින්ව කපාගත්

ලූනූගෙඩියක්,

සිහින්වක කපාගත් තක්කාලි

ගෙඩියක්

චොප්කරගත් බෙල්පෙපර්

ගෙඩියක්

ලුණු හා ගම්මිරිස්කුඩු

මයෝනිස් මේසහැඳි 1ක්

කිරි කෝප්ප 1/4ක්

බටර් මේසහැඳි 1ක් තලාගත් සුදු ලූනූ තේ හැඳි 2ක්

හොට් සෝස් ස්වල්පයක්

චෙඩාර් චීස් පෙති කිහිපයක්

 

බෝල් එකකට සිහින්ව කපා ගත් ලූනූ, තක්කාලි හා බෙල්පෙපර් දාලා රස අනුව ලුණු හා ගම්මිරිස්කුඩු දාගන්න.

වෙනම බෝල් එකකට මයෝනිස් දාලා කිරි මේසහැඳි 3ක් දාලා කලවම් කරගන්න.

බිත්තර ටික වෙනම කඩලා බෝල් එකකට දාගන්න.

මේකට ලුණු හා කිරි මේසහැඳි 4ක් දාලා කලවම් කරගන්න. පෑන් එකට බටර් ටිකක් දාලා සුදුලූනූ ටික දාගන්න.

ටිකකින් බිත්තර මිශ්‍රණය දාලා ස්කැම්බල් කරගන්න.

ටෝටිලා මැදට හොට්සෝස් දාලා සාදාගත් සැලඩ් එකෙන් ටිකක් දාගන්න.

උඩින් බිත්තර කෑලි දාලා මයෝනිස් සෝස් එක දාගන්න.ඊළඟට චෙඩාර් චීස්පෙති දෙකක් තියලා නවාගන්න. මේක අඩු ගින්දරේ විනාඩි 5ක් වගේ දෙපැත්ත පුලුස්සගන්න.

 

------------------------

කැලිෆෝනියා බුරිටෝ

 

කුකුළු මස් කැබලි කිහිපයක්

සිහින්ව කපාගත් ලූනූ ගෙඩියක්

තළාගත් තක්කාලි ගෙඩියක්

මයෝනිස් මේසහැඳි 2ක්

කිරි මේසහැඳි 2ක්

දෙහි යුෂ ස්වල්පයක්

ලුණු හා ගම්මිරිස්කුඩු

බැදගත් අල තීරු

ස්වල්පයක් මිරිස්කුඩු තේහැඳි 2ක්

කහකුඩු තේහැඳි 1/2 ක්

තුනපහකුඩු තේහැඳි 1ක්

හොට් සෝස් ස්වල්පයක්

තළාගත් කොත්තමල්ලි කොළ කිහිපයක්

අලිගැටපේර ගෙඩියක් තෙල් ස්වල්පයක්

ග්‍රේට්කරගත් මොසරැල්ලා හා චෙඩාර් චීස් ස්වල්පයක්

 

 

කුකුළු මස් ටික පොඩියට කපලා ලුණු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, තුනපහකුඩු හා දෙහි යුෂ දාලා පැයක් මැරිනේට් කරගන්න.

මයෝනිස්වලට දෙහි යුෂ, ලුණු, ගම්මිරිස් කුඩු හා කිරි ටිකක් දාලා කලවම් කරලා සවර් ක්‍රීම් එක හදාගන්න.

අලිගැටපේර ගෙඩියට රස අනුව ලුණු දාලා පොඩි කරගන්න.

පෑන් එකට තෙල් ටිකක් දාලා කුකුළු මස් ටික ෆ්‍රයි කරගන්න.

ටෝටිලා එකක් මැදට සවර්ක්‍රීම් එක ගාලා උඩින් තළාගත් තක්කාලි, ලුනූ දාලා කුකුළු මස් ටික දාගන්න.

උඩින් හොට්සෝස් දාලා අලිගැටපේර පේස්ට් එක දාගන්න. ඊළඟට පැත්තකින් අල තීරු තියලා ග්‍රේට්කරගත් චීස් දාගන්න.

දැන් මේක දික් අතට හතර පැත්තෙන්ම කවර් කරගන්න.

 

 

උපදෙස්

සූපවේදී සර්වදර්ශනී අප්සරා