රසම රස අඩු වියදම් අතුරුපස

ඔක්තෝබර් 9, 2023

 

 

රස අතුරුපසක් එක්ක මිතුරු වෙන්න හැමෝම ආසයි. ගෙදර හැමෝම ඉන්න දවසට පටස්ගාලා හදන්න පුළුවන් ඩෙසර්ට් දෙකක් තමයි අද අපි ඔයාලට කියලා දෙන්න හදන්නේ. මීට ඉස්සර මේ ඩෙසර්ට් ඔබ අහලා දැකලා හදලා බලලත් ඇති. ඒත් අපි අද කියන්න හදන්නේ අඩුම වියදමින් වැඩිම රස ගේන පුරුදු ඩෙසර්ට් දෙකක් හදන අලුත්ම ක්‍රමය ගැනයි. එන්න... අපි එකතු වෙලා පවුලම රස බලමු.

 

 

පයිනැපල් අප්සයිඩ් ඩවුන් පුඩිම

 

 

අන්නාසිවලින් සකසන මේ පුඩිම පෙනුමෙන්ම ඉතාම රසවත් බව පෙනී යාවි. අතුරුපසකට වඩා තේ වෙලාවට කදිම මේ රසවත් ආහාරය මේ විදිහට හදලා බලමු.

පයිනැපල් පුඩිම සකසද්දී කැරමල් එකට සහ කේක් එකකට වෙන වෙනම අමුද්‍රව්‍ය සූදානම් කරගත යුතුයි.

කැරමල් සඳහා ගාගත් හකුරු හෝ දුඹුරු සීනි ග්‍රෑම් 160ක්, පොඩියට කපාගත් බටර් ග්‍රෑම් 60ක් අවශ්‍යයි.

කේක් එකට ඉදුණු අන්නාසි ගෙඩියක්, පිටි ග්‍රෑම් 200ක්

, බේකිං පවුඩර් තේ හැඳි 2ක්, ලුණු තේ හැඳි 1/4ක්, බිත්තර 2ක්, බටර් ග්‍රෑම් 110ක්, සීනි ග්‍රෑම් 200ක්,

වැනිලා තේ හැඳි 1ක් සහ කිරි මිලි ලීටර් 120ක් අවශ්‍ය වෙනවා.

 

මේ පුඩිම හදන්න අමුද්‍රව්‍ය ලොකු ප්‍රමාණයක් අවශ්‍යයි වගේ පෙනුණට හදාගන්න හරිම පහසුයි.

මුලින්ම කැරමල් සඳහා අවශ්‍ය හකුරු, බටර් අඩු ගින්දරින් හැඳි ගාමින් රත්කර ගන්න. එහි කැට නැති වූ විට හැඳි ගෑම නතරකර වටේ බුබුළු දමනකම් රත්කර ගන්න. එය කර නොවෙන්න සාදා ගන්න ඕනේ. දැන් මේ කැරමල් එක නිවෙන්න කලින් බේකිං පෑන් එකට දමා ගන්න. එහි පතුල වැසෙන ලෙස එය තුනීකර ගන්න.

 

දැන් අපි අන්නාසි පෙති ටික සූදානම්කර ගනිමු.

 

අන්නාසි ගෙඩිය සුද්දකර හතරට පළා බඩය ඉවත් කරන්න. අඟල් 1/4ක් විතර ඝනකමට පෙති කපා ගන්න. ඒවා කැරමල් එක උඩින් ඉතා ළඟින් හිඩැස් අවම ලෙස පතුල වැසෙනකම් එක තට්ටුවක් ලෙස තියන්න.

දැන් කේක් එක හදාගනිමු. බේකිං පවුඩර්, ලුණු කලවම්කර දෙවරක් හලා ගන්න. ඉන්පසු බිත්තර කහමද වෙන්කර ගන්න. දැන් බටර් ක්‍රීම් වනතුරු බීට්කර ගන්න ඕනේ. සීනි කලවම්කර විනාඩි කිහිපයක් බීට් කරන්න. බිත්තර කහමද එක බැගින් එකතුකර බීට් කරන්න. වැනිලාත් එකතුකර ගන්න.

 

දැන් බීට් කරනගමන් පිටි මිශ්‍රණයෙන් 1/3ක් එකතු කරන්න. එය හොඳින් කලවම් වූ පසු කිරිවලින් 1/2 ක්ද ඉතුරු පිටිවලින් 1/2ක් ද නැවත ඉතුරු කිරි අවසානයේ ඉතුරු පිටිද එකතුකර ගන්න. (පිටි තුන්පාරකටද, කිරි දෙපාරකටද එකතු විය යුතුය.)

බිත්තර සුදුමඳ වෙනම ඉතා හොඳින් ගසා ගන්න.(පෙණ කඩා වැටෙන ගතිය යනකම් බීට් කරන්න.)

ගසාගත් බිත්තර සුදු මද කේක් මිශ්‍රණයට දමා හිමින් පැතලි හැන්දකින් කලවම්කර ගන්න.

එය අන්නාසි දැමූ පෑන් එකට හිමින් දමා ගන්න. විනාඩි 45-55 ක් සෙල්සියස් අංශක 180 ට බේක්කර ගන්න. මැදට ටූත් පික් එකක් ගැසුවිට එහි කිසිත් ගෑවී නැත්නම් උඳුනෙන් පිටතට ගන්න.

 

පෑන් එකේ අයින වටේට පිහිතලයක් යවා කේක් එක බුරුල් කරගන්න. පැතලි පිඟානක් පෑන් එක උඩින් තබා උඩයට ගසාගන්න. අන්නාසි කැබලි පෑන් එකේ ඇලී ඇත්නම් ඒවාද කේක් එක උඩින් අතුරාගන්න. දැන් උණුවෙන්ම රස බලන්න පුළුවනි.

 

 

---------------------------------

මාස්මෙලෝ පුඩිම

 

මෘදුවට හැපෙන මාස්මෙලෝ රස බලන්න කවුද අකැමැති. විශේෂයෙන්ම පොඩ්ඩන් හරිම ආසාවෙන් කන අතුරුපස වර්ග අතරින් ඉහළින්ම තිබෙන අතුරුපසක් කිව්වොත් නිවැරැදියි. නිතරම කන මාස්මෙලෝ කෑල්ලකට වඩා මාස්මෙලෝ පුඩිමක රස බැලුවොත් කොහොම ද? මේ විදිහට හදලා බලන්න.

 

මේ පුඩිං එක හදන්න අවශ්‍ය වෙන්නේ සීමිත ද්‍රව්‍ය ටිකක්.

 

*බිත්තර 8ක්, සීනි ග්‍රෑම් 300ක්, ජෙලටින් තේ හැඳි 4ක්, වැනිලා තේ හැන්දක් සහ ඔබ කැමැති වර්ණක තුනක් අවශ්‍යයි. ඒ වගේම මේ පුඩිං එක හැදුවට පස්සේ ලස්සනට සරසගන්නත් ඕනේ. ඒකට කජු සහ මුද්දරප්පලම් ස්වල්පයකුත් අවශ්‍ය වෙනවා. හැබැයි කජු වෙනුවට බැදපු රටකජු ටිකක් වුණත් එකතුකර ගන්න පුළුවන්. ඕනෙ නම් චෙරි ගෙඩි කිහිපයකුත් එකතු කරගන්න පුළුවන්.

 

දැන් අපි මාස්මෙලෝ පුඩිම හදන්න පටන් ගමු.

 

මුලින්ම බිත්තරවල සුදු මද පමණක් අරගෙන බීට් කරන්න. බිත්තර සාරු හොඳින් ඝන වූ පසු එයට සීනි ටික ටික එකතුකර තව තවත් බීට් කරගන්න. දැන් එයට ජෙලටින් ටික එකතුකර ගනිමු. දැන් නැවත වරක් බීට් කරගන්න. මේ මිශ්‍රණය සමාන කොටස් තුනකට වෙන්කර භාජන තුනකට දමාගන්න. එක් එක් බාජනවලට එක් එක් වර්ණක එක්කර මිශ්‍රකර ගන්න. දැන් ට්‍රේ එකක් සූදානම් කරගන්න. එක් වර්ණයකින් ලේයර් එකක් ට්‍රේ එකට දමා ගන්න. ඊට වෙනත් වර්ණයකින් ලේයර් එකක් දමා ගන්න. ඊටත් උඩින් තවත් වර්ණයකින් ලේයර් එකක් දමන්න. මෙලෙස සාදාගත් මාස්මෙලෝ පුඩිම උඩින් කජු සහ මුද්දරප්පලම් ඉස සරසා ගන්න. ශීතකරණයේ තබා රස බලන්න.

 

මෙම කෑම සකසා ගන්නා ආකාරය ඔබට tharunie youtube නාලිකාව හරහා නැරඹිය හැකිය.

 

උපදෙස්

සූපවේදී සර්වදර්ශනී අප්සරා