ඔයින් මෙයින් හදන වයින් වෙනුවට මෙන්න අලුත් නත්තල් වයින්

නොවැම්බර් 13, 2023

නත්තල් කාලය උදාවෙනකොටම නත්තල් විවිධ ආහාර වර්ග ගැන රටේ හැම තැනම කතා බහට ලක් වෙනවා.

ඒ අතරින් නත්තල් කේක්, නත්තල් රස කැවිලි වර්ග වගේම තවත් සුවිශේෂී ආහාර වර්ග තියෙනවා. ඒ අතරින් විශේෂිත වූ පානයක් තමයි වයින් කියන්නේ.

අනාදිමත් කාලයක ඉඳලම වයින් කියන්නේ ක්‍රිස්තියානි දහමත් එක්ක බැඳී පවතින පානයක්. ඒ නිසාම අසිරිමත් නත්තල වයින්වලින් සරසන්නට කිතුනු බැතිමතුන් වගේම ශ්‍රී ලාංකිකයන් ද පමණක් නොව සියලු දෙනාම දක්වන්නේ වැඩි උනන්දුවක්.

කාලයෙන් කාලයට පරිවර්තනය වූ වයින් සංස්කෘතිය අලුත් වෙලා. අද අපි ඔයාලට දෙන්නෙ වෙනදා සාම්ප්‍රදායික වයින් නැතුව අලුත්ම අලුත් වයින් රෙසිපි කීපයක්.

ඔයාලටත් අඩු වියදමින් ගෙදරදීම මේ වයින් හදලා රස විඳින්න පුළුවන්.

 

දූරියන් වයින්

 

* දූරියන් කිලෝග්‍රෑම් 1ක්

* රටඉඳි ග්‍රෑම් 500ක්

* මුද්දරප්පලම් ග්‍රෑම් 500ක්

* එනසාල් ස්වල්පයක්

* කුරුඳු පොතු 02ක්

* සාදික්කා ස්වල්පයක්

* සීනි 500ක්

* යීස්ට් තේ හැඳි 1/2ක්

* වතුර ලීටර් 4ක්

 

 

 

දූරියන් වතුර සමඟ බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු එනසාල්, කුරුඳු, සාදික්කා ටික ද හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු බ්ලෙන්ඩ් කරගත් දූරියන් මිශ්‍රණය ළිපේ මඳගින්නේ පැයක් පමණ තැම්බෙන්නට හරින්න. ඉන්පසු පැයකට පසු එසේ තම්බාගත් මිශ්‍රණය හොඳින් පෙරා ගන්න. එයට සීනි එකතු කරගන්න. අනතුරුව එය නිවෙන්නට හැර යීස්ට් එකතු කරගන්න. ඊටපසු රටඉඳි සහ මුද්දරප්පලම් ද එයට එකතු කරගන්න. පසුව හොඳ මැටි භාජනයක් ගෙන කලවම් කරගන්නා ලද මිශ්‍රණය එයට දමා ගන්න. එය උඩින් පොලිතීන් ආවරණයකින් කට වසා මාසයක් පමණ තබන්න.

 

------------------

වරකා සහ රටඉඳි වයින්

* ඇට ඉවත් කරගත් වරකා මඳුළු ග්‍රෑම් 500ක්

* රටඉඳි ග්‍රෑම් 500ක්

* සීනි ග්‍රෑම් 500ක්

* යීස්ට් ග්‍රෑම් 50ක්

* වතුර ලීටර් 3ක්

* කුරුඳු පොතු ග්‍රෑම් 30ක්

* එනසාල් ග්‍රෑම් 30ක්

* ස්ටාර් අනිශ් (සුපිරි වෙළෙඳසැලින් ලබාගත හැකියි) 02ක්

 

වරකා වතුර සමඟ බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු එනසාල්, කුරුඳු පොතු, ස්ටාර් අනිශ් ටික දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු බ්ලෙන්ඩ් කරගත් වරකා මිශ්‍රණය ළිපේ මඳගින්නේ පැයක් පමණ තැම්බෙන්නට හරින්න. ඉන්පසු එම මිශ්‍රණයට සීනි එකතු කරගන්න. එය නිවෙන්නට හැර එයට යීස්ට් එකතු කරගන්න. එය හොඳින් කලවම්කර ගන්න. පසුව හොඳ මැටි භාජනයක් ගෙන කලවම්කර ගන්නා ලද මිශ්‍රණය දමා එය උඩින් පොලිතින් ආවරණයකින් කට වසා මාසයක් පමණ තබන්න. වයින් එකක් රස වෙන්නේ අපි එය බොහෝ කලක් පල් වෙන්නට තැබීමෙන් පසුය. ඔබට එය අවුරුද්දක් දෙකක් පල් කිරීමට වුවද පුළුවන්වන අතර එවිට වයින් එක හොඳ ප්‍රමිතියකින් සහ පැහැයකින් යුක්ත වේ.

------------------

බිට් රූට් වයින්

 

* බීට් රූට් කිලෝ

ග්‍රෑම් 1ක්

* රටඉඳි ග්‍රෑම් 500ක්

* මුද්දරප්පලම්

ග්‍රෑම් 500ක්

* එනසාල් ස්වල්පයක්

* කුරුඳු පොතු 02ක්

* සාදික්කා ස්වල්පයක්

* සීනි ග්‍රෑම් 500ක්

* යීසට් තේ හැඳි 1/2ක්

* වතුර ලීටර් 4ක්

 

බීට්රූට් වතුර සමඟ බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු එනසාල්, කුරුඳු, සාදික්කා ටික ද හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරගත් බීට්රූට් මිශ්‍රණය ළිපේ මඳගින්නේ පැයක් පමණ තැම්බෙන්නට හරින්න. පැයකට පසු එසේ තම්බාගත් මිශ්‍රණය හොඳින් පෙරාගන්න. ඉන්පසු එයට සීනි එකතු කරගන්න. ඉන්පසු එය නිවෙන්නට හැර යීස්ට් එකතු කරගන්න. රටඉඳි සහ මුද්දරප්පලම් ද එයට එකතු කරගන්න. පසුව හොඳ මැටි භාජනයක් ගෙන කලවම් කරගන්නා ලද මිශ්‍රණය එයට දමාගන්න. එය උඩින් පොලිතින් ආවරණයකින් කට වසා මාසයක් පමණ තබන්න. වයින් එකක් රසවත් වන්නේ අපි එය බොහෝ කලක් පල් වෙන්නට තැබීමෙන් පසුය. ඔබට එය අවුරුද්දක් දෙකක් පල් කිරීමට පුළුවන්වන අතර එම වයින් එක හොඳ ප්‍රමිතියකින් සහ පැහැයකින් යුක්ත වේ.

------------------

තැඹිලි වයින්

 

* තැඹිලි වතුර බෝතල් 3 - 4ක්

* සීනි ග්‍රෑම් 250ක්

* යීස්ට් තේ හැඳි 1/2ක්

* කරාබු නැටි ස්වල්පයක්

* එනසාල් ස්වල්පයක්

* දෙහි යුෂ මේස හැඳි 2ක්

* කුරුඳු පොතු කැබැල්ලක්

*මඳ උණුසුම් වතුරේ යීස්ට් දියකර ගන්න. ඉන්පසුව තැඹිලි වතුර, සීනි, දෙහි යුෂ සහ කුළු බඩු එකතුකර සීනි දියවන තුරු හොඳින් මිශ්‍ර කරන්න. දියකරගත් යීස්ට් ටික ද එකතුකර නැවත කලවම් කරගන්න. මිශ්‍රණය මැටි මුට්ටියක් හෝ වීදුරු බඳුනකට දමා බඳුනේ කට රෙදි කැබැල්ලකින් වසා දින 8ක් පමණ තබන්න. (ඉන්පසු කැරමල් සාදා සීනි තේ හැඳි 1ක් වතුර මේස හැඳි 2ක් එක්කර ළිප තබා රන්වන් පැහැය (දුඹුරු පැහැ වනතෙක් තබා ළිපෙන් ඉවත්කර) පෙර මිශ්‍රණයට එක්කර කලවම්කර නැවත සති 2ක් පමණ තබා හොඳින් පෙරා බෝතල්වලට අහුරා ගන්න.