නත්තල රස කරන සාමූහික කේක් මිහිර

නොවැම්බර් 13, 2023

දවසින් දවස පරිසරය සීතල වෙමින් පවතිනවා. එහෙම එන සීතල අපට කියන්නේ අසිරිමත් නත්තල අත ළඟ බව. නොවැම්බරය ගෙවිලා දෙසැම්බරයට යද්දී හැමෝගෙම හිත්වල තියෙන්නෙ නත්තල. නත්තලත් එක්ක ලෝකයේ බිහි වූ සුවිශේෂී ආහාර සංස්කෘතීන් දක්නට ලැබෙනවා. ඒ අතරින් නත්තල් කේක් එකට ලැබෙන්නේ සුවිශේෂීම ස්ථානයක්. නත්තල ලබන්නට පෙර බොහෝ නිවෙස්වල, හෝටල්වල මෙන්ම ඇතැම් කාර්යාලවල සාමුහිකත්වයේ නත්තල් කේක් එක සැක‍ෙසමින් පවතිනවා. ඉතින් මෙලෙස ඔබට කියන්නට යන්නේ සාමුහිකත්වයේ නත්තල් කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා.

 

* බටර් (මාගරින්) ග්‍රෑම් 250 යි

* අයිසිං සීනි ග්‍රෑම් 250 යි

* සුල්තානා ග්‍රෑම් 250 යි

* රේසින්ස් ග්‍රෑම් 250 යි

* කරන්ට්ස් ග්‍රෑම් 150 යි

* බැදගත් රුලං ග්‍රෑම් 150 යි

* කජු ග්‍රෑම් 250 යි

* පුහුල් දෝසි ග්‍රෑම් 250 යි

* ඉඟුරු දෝසි ග්‍රෑම් 150 යි

* චව් චව් ග්‍රෑම් 150 යි

* කැන්ඩිඩ් පීල් ග්‍රෑම් 150යි

* චෙරීස් ග්‍රෑම් 250යි

* බිත්තර 6 යි

* ගෝල්ඩන් සිරප් හෝ මී පැණි තේ හැඳි 2ක්

* පොඩි ජෑම් බෝතලයක්

* ආමන්ඩ් එසන්ස් සහ රෝස්

එසන්ස් තේ හැඳි 2 - 3ක්

* සුවඳ කුඩු මේස හැඳි 2ක්

* බ්‍රැන්ඩි මේස හැඳි 2ක්

පලතුරු සියල්ලම ගෙන තරමක් ලොකු කෑලිවලට කපාගන්න. පලතුරුවලට රුලං, ආමන්ඩ් එසන්ස්, රෝස් එසන්ස් තේ හැඳි භාගයක් එක්කර හොඳින් මිශ්‍රකර ගන්න. (පළතුරු මිශ්‍ර කිරීම සඳහා ලී හෝ ප්ලාස්ටික් හැන්දක් භාවිතය අනිවාර්යය වේ.)

මෙය දවස් හතරක් පහක් පමණ සුළං නොවදින සේ වසා තබා ගන්න.

ඉන්පසුව පළමුව බිත්තර කහමද සහ සුදුමද වෙන්කර සුදුමද ටික හොඳින් බීට් කරගන්න.

බටර් සහ අයිසිං සීනි හොඳින් ගසා ගන්න. එයට බිත්තර කහමද ටික ටික එකතු කරගන්න. දැන් කපාගත් පලතුරු මිශ්‍රණය ටික ටික එක් කරගනිමින් හොඳින් මිශ්‍ර කරගන්න. ඊළඟට ගසාගත් බිත්තර සුදුමද ටික ටික එක් කරමින් සියල්ල මිශ්‍රකර එයට ආමන්ඩ් එසන්ස් තේ හැඳි එකක්, රෝස් එසන්ස් තේ හැඳි එකක් සුවඳ කුඩු තේ හැඳි භාගයක්, ජෑම් බෝතල් බාගයක් පමණ බ්‍රැන්ඩි මේස හැඳි 2ක් සහ මී පැණි හෝ ගෝල්ඩන් සිරප් මේස හැන්දක් දමා හොඳින් මිශ්‍ර කරගන්න.

බේකිං තැටියක් ගෙන එහි අඩියට පත්තර පිටු පහක් දමා ගන්න. උඩින් තෙල් කඩදාසියක් දමා ලයිනින් කර ගත් පසු එයට කේක් මිශ්‍රණය දමා රත්වූ අවන් එකේ සෙල්සියස් අංශක 180ක් උෂ්ණත්වයේ විනාඩි 45ක් පැයක් අතර කාලයක් බේක් කරගන්න.

බේක් කරගත් කේක් එක කැබලිවලට කඩාගෙන එයට ඉතිරි ජෑම්, මී පැණි හෝ ගෝල්ඩන් සිරප් මේස හැන්දක්, ආමන්ඩ් එසන්ස් බිංදු කීපයක්, රෝස එසන්ස් බින්දු කිහිපයක් එක්කර හොඳින් අනාගන්න. ඉන්පසු කෑලි කපා තෙල් කඩදාසිවල ඔතා තබන්න. ඉහත දැක්වු ප්‍රමාණ ගෙන කේක් එක සැකසුවහොත් සාමාන්‍ය ප්‍රමාණයේ කෑලි 50ක් පමණ කපාගත හැකියි.

 

උපදෙස්:-

වෙට් වෝටර් රිසෝට් හි

සූපවේදී ජූඩ් ප්‍රියන්තඅචිනි ලක්මාලි චන්ද්‍රසේකර