ඉඟුරු රසට කැමැති අයට ඉඟුරුවලින් රස කෑම

නොවැම්බර් 20, 2023

ඉඟුරු කියන්නේ ආහාර රස ගන්වන්න නැතිවම බැරි ඖෂධීය රසකාරකයක්. ඉතින් ඉඟුරු ගැන කතා කරද්දිම මතකයට නැඟෙන්නේ ඉඟුරු යොදා සැකසූ ප්ලේන්ටියක රස මිහිරයි. ඉඟුරු ප්ලේන්ටියට අමතරව ඉඟුරුවලින් සැකසිය හැකි ආහාර වට්ටෝරු බොහොමයක් තියෙනවා. ඒ තරමට ඉඟුරු කියන්නේ මුළුතැන්ගෙයට නැතිවම බැරි රසකාරකයක්. මේ දිනවල පැතිර යන උණ රෝගයටත් ඉඟුරු ගුණදායක ඖෂධයක්. වෛද්‍යවරු කියන්නේ ඉඟුරු කියන්නේ ප්‍රතිශක්තිකරණය වඩවන්න ඇඟට ගොඩක් ගුණ කෑමක් කියලයි. ඉතින් අද කියන්න යන්නේ ආහාර රසවත් කරවන, ඖෂධීය ගුණයක් සහිත ඉඟුරුවලින් රසම රස ආහාර වට්ටෝරු කිහිපයක් සකස්කර ගන්නා ආකාරය ගැනයි. මෙන්න මේ විදිහට ආහාර වට්ටෝරු සැකසුවොත් හරිම රසවත් වේවී.

ජින්ජර් රයිස්

තළාගත් ඉඟුරු මේස හැඳි 4ක්

තෙල් මේස හැඳි 3ක්

අබ ඇට තේ හැඳි 1ක්

කරපිංචා ටිකක් 

තළාගත් සුදුලූනු මේස හැඳි 1ක්

සිහින්ව ලියාගත් ලූනු මේස හැඳි 3ක්

කහකුඩු තේ හැඳි 1/4ක්

මිරිස්කුඩු තේ හැඳි 1/2ක්

ලුණු හා ගම්මිරිස් කුඩු 

පිසගත් බත් කෝප්ප 3ක්

තළාගත් කොත්තමල්ලි ස්වල්පයක්

 

පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාලා පුපුරවා ගන්න. මේකට කරපිංචා, තළාගත් සුදුලූනූ හා ඉඟුරු දාලා කලවම් කරගන්න. ගින්දර අඩු කරගන්න. 

මේකට සිහින්ව ලියාගත් ලූනූ ටික දාලා කහ කුඩු, මිරිස් කුඩු, ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරන්න. ටිකකින් මේකට පිසගත් බත් ටික දාලා කලවම් කරගන්න. හොඳට කලවම් කරලා උඩින් සිහින්ව ලියාගත් කොත්තමල්ලි කොළ ටිකක් ඉසගන්න. 

 

----------------------

ඉඟුරු දෝසි

 

ඉඟුරු ග්‍රෑම් 100ක්

සීනි ග්‍රෑම් 500ක්

වතුර කෝප්ප 1ක්

ලුණු ස්වල්පයක්

 

ඉඟුරු ටික සුද්ද කරලා පොඩි කෑලිවලට කපාගන්න. දැන් මේ ටික බ්ලෙන්ඩර් එකට දාලා සීනි මේස හැඳි 4ක් හා වතුර ටිකක් දාලා පල්ප් එකක් වෙනකල් බ්ලෙන්ඩ් කරගන්න.  මේක භාජනයකට දාලා තව වතුර කෝප්ප 1ක් වගේ දාලා සීනි ටිකත් එකතු කරලා මඳ ගින්නෙ පිසගන්න. රස අනුව ලුණු දාගන්න.  අඩිය අල්ලන්න නොදී විනාඩි 10ක් විතර හැඳිගාන්න. වතුර පීරිසියකට මේකෙන් ටිකක් දාලා බලන්න. මිශ්‍රණය ගුළියක් වගේ හැදෙනව නම් පදම හරි.  ළිපේ මිශ්‍රණය ඝන වෙලා ගුලියට වගේ එනකොට ළිපෙන් බාලා බටර් ගාගත් තැටියකට දාලා කෑලි කපාගන්න. 

 

-----------------------

ජින්ජර් බියර්

ඉඟුරු ග්‍රෑම් 100ක්

සීනි ග්‍රෑම් 200ක්

දෙහි ගෙඩි 1ක්

වතුර ලීටර් 1 1/2ක්

යීස්ට් ග්‍රෑම් 6ක්

 

 

ඉඟුරු ටික සුද්ද කරලා පෙති කපාගන්න. දෙහි ගෙඩියත් පෙති කපාගන්න. වතුර කෝප්ප 2ක් ළිපේ තියලා මේ ටික දාලා තැම්බෙන්න තියන්න. වතුර නටනකොට සීනි ටික එකතු කරන්න. විනාඩි 5කින් විතර ළිපෙන් බාගන්න. 

වතුර කෝප්ප කාලකට සීනි මේස හැඳි 1ක් දාලා දිය කරගන්න. යීස්ට් ටික වතුර මේස හැඳි 2ක් එක්ක දිය කරගන්න. දැන් යීස්ට් වතුර හා සීනි දිය කරපු වතුර එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඉඟුරු තම්බා පෙරාගත් වතුරවලට මේ යීස්ට් මිශ්‍රණය දාලා කලවම් කරලා පැය 16ක් වහලා තියන්න. ආයෙ කලවම් කරලා දවස් 4ක් පැසවන්න තියලා පෙරාගන්න. අඩියට බැහැලා තියන යීස්ට් මිශ්‍රණය ඊළඟ ජින්ජර් බියර් ටික හදනකොට පාවිච්චි කරන්න පුළුවනි.

 

-----------------------

ජින්ජර් ගාලික් සුප්

තළාගත් ඉඟුරු තේ හැඳි 2ක්

තළාගත් සුදුලූනු බික් 8ක්

තෙල් ස්වල්පයක්

සිහින්ව ලියාගත් කැරට් අල 1ක්

වතුර කෝප්ප 2ක්

කෝන්ෆ්ලා මේස හැඳි 1ක්

ලුණු හා ගම්මිරිස් කුඩු 

තළාගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්

 

 

පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ඉඟුරු හා සුදුලූනු ටික දාගන්න. අඩු ගින්දරේ හැඳිගාන්න. අනතුරුව කැරට් ටික දාගන්න. 

ටිකකින් වතුර කෝප්ප 2ක් දාගන්න. කෝන්ෆ්ලාවලට වතුර ටිකක් දාලා දිය කරගන්න. සුප් එකට ලුණු හා ගම්මිරිස් කුඩු ටිකක් දාගන්න. 

ඊළඟට කෝන්ෆ්ලා මිශ්‍රණය දාලා හැඳිගාන්න. මිශ්‍රණය ගන වේගෙන එනකොට තළාගත් කොත්තමල්ලි කොළ ටික දාගන්න. තව ටිකක් ගන වෙන්න තියලා ළිපෙන් බාගන්න.