රස ගුණ පිරි කෙටි කෑම

දෙසැම්බර් 25, 2023

පොඩි අය ආසාවෙන් ඉල්ලන සමහර කෑම අපිට එළියෙන් අරන් දෙන්න යනකොට දෙපාරක් හිතන්න වෙනවා නේද? ඒ කියන්නේ ඒවායේ තියෙන සෞඛ්‍යාරක්ෂිත බව කොහොමද කියලා දෙමව්පියෝ විදිහට අපිට සෑහෙන්න හිතනවා. ඒත් මේවා පොඩ්ඩන්ට තේරෙන්නෙ නැති නිසා එයාලා ඒවාම ඉල්ලනවා. ඉතින් මේ වගෙ පොඩ්ඩො ආසාවෙන් ඉල්ලන කෑම වර්ග ටිකක් ගෙදරදීම හදාගන්න හැටි කියලා දෙන්න තරුණී අපි හිතුවා. ලේසියෙන් වගේම ගුණාත්මකව මේ කෑම හදලා බයක් නැතුව පොඩ්ඩන්ට දෙන්න දැන් ඔයාලටත් පුළුවන්.

පේස්ට්‍රි සිනමන් රෝල්ස්

පේස්ට්‍රි ශීට් එකක්

දියකරගත් බටර් මේස හැඳි 1/2ක්

දුඹුරු සීනි කප් එකක්

කුරුඳු කුඩු තේ හැඳි 1/2ක්

අවශ්‍ය නම් කපාගත් කජු

කුඩු කරගත් සීනි කප් 1ක්

කිරි මේස හැන්දයි

වැනිලා ස්වල්පයක්

ලුණු ස්වල්පයක්

 

 

පේස්ට්‍රි ශීට් එක පැකට්ටුවේ සඳහන් ප්‍රමාණයට වඩා මඳක් වැඩියෙන් තුනී කරගන්න. තුනී කරගත් පේස්ට්‍රි ශීට් එක මත දියකරගත් බටර් ආලේප කරගන්න.

දුඹුරු සීනි සහ කුරුඳු කුඩු මිශ්‍ර කරගෙන, තවරා ගත් බටර් මත ඉසගෙන, ස්විස් රෝල් එකක් ආකාරයට එක කෙළවරක සිට පරිස්සමෙන් ශීට් එක රෝල් කරගන්න.

මුවහත් පිහියකින් අඟලක පමණ ඝනකමට රවුම් කපාගෙන ඔයිල් පේපර් එකක් දමාගත් ට්‍රේ එකක තියාගන්න. සෙල්සියස් 170ට උණුසුම් කරගත් අවන් එකක විනාඩි 20-25ත් අතර කාලයක් බේක් කරගන්න.

ග්ලේස් එකට අවශ්‍ය සියලුම දේ බෝල් එකක දමා බීට් කරගෙන, උණුවෙන්ම ඇති සිනමන් රෝල් මත වත් කරන්න.

 

බේක් කරගත් මාළු

මලට්/තිලාපියා හෝ ගල්මාළු වර්ගයක්

දියකරගත් බටර් මේස හැඳි 4ක්

දෙහි යුෂ මේස හැඳි 2ක්

හොඳින් තළාගත් සුදුලූනූ බික් දෙක තුනක්

සීනි තේ හැන්දක්

ගම්මිරිස් තේ හැඳි 1/2ක් හෝ රස අනුව

තළාගත් පාස්ලි මේස හැන්දක්

ලුණු රස අනුව

පාන් කුඩු කප් 1/3ක්

 

 

පොඩි බෝල් එකකට බටර්, දෙහි, සීනි, සුදුලූනූ, ගම්මිරිස් සහ ලුණු මිශ්‍ර කරගන්න. එයටම පාස්ලි ටිකත් එක්කර කලවම් කරගන්න.

මාළුවා හොඳින් සෝදා පිරිසුදුකර, තැනින් තැන දෙපැත්තේම පිහියෙන් වෙන් නොවන සේ ඉරි කපාගන්න. සාදාගත් සීසනින් එක මාළුවාගේ හොඳින් තවරා විනාඩි 30ක් පසෙකින් තබාගන්න.

විනාඩි 30කට පසු මාළුවාගේ දෙපසම හොඳින් පාන් කුඩු දවටා, තෙල් ඉසගත් බේකිං ට්‍රේ එකක තබා, සෙල්සියස් 200ට උණුසුම් කරගත් අවන් එකක විනාඩි 10-15ක් බේක් කරගන්න.

 

බ්‍රෙඩ් කැසරෝල්

අවශ්‍ය ද්‍රව්‍ය

පාන් භාගයක්

සොසේජස් 4ක්

ලූනූ ගෙඩියක්

මාළුමිරිස් කරලක්

තක්කාලි ගෙඩියක්

ගම්මිරිස් කුඩු

ලුණු කුඩු

බිත්තර 3ක්

 

සාදන ක්‍රමය

 භාජනයක් ළිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරන් පොඩියට කපාගත්ත සොසේජස් දාල බැදගන්න.

ඒ ටික බැදුණාම ඒකටම කපාගත්ත ලූනූ, මාළුමිරිස්, තක්කාලි එක්ක ගම්මිරිස් කුඩු, ලුණු කුඩු ටිකක් එකතු කරලා කලවම් කරගෙන, ඒකට පාන් පොඩියට කඩල එකතු කරගන්න.

කැමති නම් තම්බල බැදගත්ත හතු ටිකක් හෝ මස් වර්ගයක් වුණත් මේකට එකතු කරගන්න පුළුවන්. මේ මිශ්‍රණය බටර් ගාපු තැටියකට දාගෙන පැතලි කරන් ඒකට උඩින් හොඳින් ගසාගත්තු බිත්තර වත් කරගන්න. දැන් මේක සෙල්සියස් 180ට උණුසුම් කරගත්ත අවන් එකක විනාඩි 20-30 බේක් කරගන්න උඩ දුඹුරු පාට වෙනකම්. (ගන්න ප්‍රමාණ අනුව අවන් එකේ තියන වෙලාව වෙනස් වෙනවා. මතුපිට රන්වන් පාට වෙලා එන ගාණට තිබ්බම ඇති)

අවන් නොකර හදාගන්න නම් නන්ස්ටික් පෑන් එකක එළවළු තෙම්පරාදු කරගෙන ඒකටම පාන් ටිකත් එකතු කරන් ඒ පෑන් එකටම බිත්තර එකතු කරල අඩුම ගින්දරේ පියනකින් වහල තියන්න විනාඩි 20ක්.

බටර් ඇන්ඩ් බනානා ෆින්ගර්ස්

පාන් පෙති

බටර්

කෙසෙල්

චොකලට් සෝස්

 

ටිකක් වැඩිපුර බටර් තවරගත්ත පාන් පෙති මැදට දිග අතට පෙති කපාගත් කෙසෙල් ගෙඩි අතුර ගන්න. උඩින් සීනි ටිකක් ඉහගන්න. ඒකට උඩින් තවත් බටර් ගාගත් පාන් පෙත්තක් තියලා කෙසෙල් ගෙඩියේ මහතට දිග තීරු කපාගන්න. දැන් මේ කපාගත්ත පාන් තීරු යන්තම් තෙල් තවර ගත්ත ග්‍රිල් පෑන් එකක තියලා දෙපැත්තම ග්‍රිල් කරගන්න. උණුවෙන්ම චොකලට් සෝස් ටිකක් උඩින් දාගන්න.

 

චොකලට් ටාර්ට්

මාරි බිස්කට් ග්‍රෑම් 200ක්

කුකිං චොකලට් ග්‍රෑම් 200ක්

දියකරගත් බටර් ග්‍රෑම් 100ක්

ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර 100ක්

සීනි ග්‍රෑම් 50ක්

බිත්තර 2ක්

 

බිස්කට්වලින් පොඩි කොටසක් වෙනම තබා ඉතිරිය බ්ලෙන්ඩ් කරගන්න. එයට බටර් දමා යළිත් බ්ලෙන්ඩ් කරගන්න. භාජනයක් ගෙන මේ මිශ්‍රණයෙන් පතුලම වැසී යන තෙක් හැන්දකින් තදකර විනාඩි 10ක් පමණ ශීතකරණයේ තබන්න.

භාජනයක් ළිප තබා එයට කිරි ටික එක්කර වටෙන් යන්තම් බුබුළු එන ගාණට රත් කරගන්න. එය ළිපෙන් ඉවත්කර චොකලට් එක්කර හොඳින් චොකලට් ටික දියකරගන්න. එයටම සීනි ටික එකතු කරගෙන සීනි දියවෙනතුරු හොඳින් විස්ක් කරගන්න. බිත්තර දෙක වෙනම බඳුනක බීට් කරගෙන එයත් කිරි මිශ්‍රණයට එක් කරගන්න. මේ මිශ්‍රණය ශීතකරණයේ තැබූ බඳුනට දමන්න. ඉතිරි වුණ බිස්කට් ද ලොකු කැබලිවලට කඩා මෙයට එකතු කරන්න. සෙල්සියස් 180ක උෂ්ණත්වයකින් විනාඩි 30ක් පමණ අවන් එකේ තබන්න.

ට්‍රයිෆල්

බටර් කේක් ග්‍රෑම් 300ක්

කැමති වර්ගයක ජෙලි මිලිලීටර් 250ක්

කස්ටඩ් මිලිලීටර් 250ක්

 

කේක් කැබලි කඩාගෙන ලයිනින් කළ පැතලි බඳුනක අසුරා ගන්න. නිවාගත් කස්ටඩ් දියරය ඒ මත අතුරා ශීතකරණයේ පැයක් පමණ තබන්න.

ඒ උඩට සිසිල් වූ ජෙලි දියරය වත් කරන්න. යළිත් පැයක් පමණ ශීතකරණයේ තබන්න. ඉන්පසු තැටිය ශීතකරණයෙන් ඉවතට ගෙන ලයිනින් එක ඉවත් කොට කෑලි කපා පිළිගන්වන්න.

 

උපදෙස්

සූපවේදී සුජිත් ආරියරත්න