හැමවිටම නිදහසට කරුණූු ඉදිරිපත් නොකරන්න

නොවැම්බර් 22, 2018
 
සාර්ථකත්වය සොයා යන ගමනේ දී අපි අසාර්ථක ද වන්නෙමු. සමහර විට දිගින් දිගටම අසාර්ථක වන්නෙමු. මෙලෙස අසාර්ථක වීමට විවිධ හේතූන් බලපෑ හැකි බවත් එවැනි කරුණුූ 16 ඇති බවත් ගිය සතියේ දී මම ඔබට කීවෙමි. එපමණක් නොව එවැනි හේතූන් කිහිපයක් ම ඔබට පැහැදිලිකර දුන්නෙමි. අද මම ඔබට පැහැදිලි කර දෙන්නේ ඉතිරි කරුණු කිහිපයයි. මේ කරුණු පිළිපැදීම සාර්ථක වන්නට හිතන ඔබ කළ යුතුම දෙයකි.
 
ඕනෑවට වඩා ඉක්මන්වීම
 
අපිට ප්‍රශ්න බාධක පැමැණෙන්නේ කල්තියා දැනුම් දී නොවේ. එහෙත් අප අතර හිඳින සාර්ථකත්වයට පිය නඟන්න බලා හිඳින බොහොමයක් දෙනා ඉක්මනින්ම අසාර්ථක වේ. මෙයට හේතු සෙවීමේ දී ඔවුන්ගේ හදිසි ඉක්මන්බව එක් හේතුවක් බව පෙනීයයි. ඔබ කන්දක් නඟින්නට හිතා ඒ අසලට යයි.
 
නමුත් ඔබ ඉදිරියේ දිස්වන කන්දේ උස දකින ඔබ එය නැඟීමට තමන්ට කිසිසේත්ම නොහැකි යැයි එකවරම තීරණය කර ආපසු හැරී යයි. එය ඔබ ගේ ඕනෑවටත් වඩා වැඩි ඉක්මන්බවේ ලක්ෂණයකි. කන්ද දැකි පමණින් බිය නොවී එය කෙසේ හෝ තරණය කරන්නට සිතට ගත යුතුය.
 
අපි පිටතින් බලා එය උස යැයි තීරණය කළ ද සමහර විට එම කන්ද නැඟීම බොහෝ පහසු එකක් විය හැකියි. එමෙන්ම එය ඇත්තටම නැඟීම අපහසු කන්දක් ද විය හැකියි. ඒ මොනවා වුවත් ඔබ කළ යුත්තේ හෙමින් හෙමින් හෝ අමාරුවෙන් එම කන්ද නැඟීමයි.
 
ඔබ බොහෝ දුෂ්කරතා විඳ කන්ද නැඟි පසු අවසානයේ දී විඳි සියලු දුෂ්කරතා එක් නිමේෂයකින් පහවී යනු ඇත. ඒ කන්ද තරණය කරන්නට හැකිවීමේ තෘප්තිය නිසාය. සමහරු ජීවිතයේ දී ප්‍රශ්න පැන නැඟි විටත් ඒවාට මුහුණ නොදී බාහිරින් බලා ‘අපෝ මට ඒක කරන්න බැහැ’ යැයි කියා පැන යති.
 
ඒ නිසා සාර්ථකත්ව මාවතේ යන්නට අදහස් කරන්නේ නම් හැම විටම මුහුණ දීමට සිදුවන සියලු දෙයට බිය වී පළා නොයා ඒවාට මුහුණ දී සාර්ථකත්වය අත්පත් කරගත යුතුයි.
 
ඔබේ අරමුණ මොනතරම් විශාල වුණත් ඔබේ සිහිනය මොනතරම් විශාල වුණත් ඔබ බිය නො වන්නේ නම් කිසිම ගැටලුවක් ඇතිවෙන්නේ ද නැත.
 
ඒ නිසා අනවශ්‍ය ලෙස ඉක්මන් වීම ඔබ නො කළ යුතුම දෙයකි. අනෙක් කරුණ වන්නේ ඔබට කන්ද දවසකින් තරණය කළ නො හැකි විය හැකියි. සමහර විට එයට දින කිහිපයක් සතියක් සති දෙකක් හෝ මාසයක් ගත විය හැකියි. ඒ නිසා කිසිම දෙයකට ඉක්මන් වී ඉක්මන් තීරණ ගන්න එපා. ඒ වාගේම ඉක්මන් ප්‍රතිපල බලාපොරොත්තු වෙන්නත් එපා. ඕනෙවට වඩා ඉක්මන් වීම කියන්නේ අසාර්ථකත්වයේ ලක්ෂණයක්.
 
 
තමන් පිළිබඳ විශ්වාසයක් නොමැතිකම
 
මෙය ද අසාර්ථක වන බොහොමයක්දෙනා තුළ දැකිය හැකි පොදු ලක්ෂණයකි. සාර්ථකත්වයට පත්වන සියලු දෙනාම තමන් පිළිබඳ ඉහළ විශ්වාසයක් තැබුවෝ වෙති. සමහරු හිතන්නේ සාර්ථක වන්නට නම් දක්ෂකමත් බුද්ධියත් අනිවාර්යයෙන් තිබිය යුතු බවකි. එහෙත් සාර්ථක පුද්ගලයන්ගෙන් අසාර්ථක පුද්ගලයෝ වෙන් කරන්නේ බුද්ධිය හා දක්ෂතාව මත නොවේ. තමා තමාව විශ්වාස කිරීම මතයි.
 
අපි අතර හිඳින බොහොමයක් පුද්ගලයන්ට තමන් පිළිබඳ තමන්ගේ හැකියාවන් පිළිබඳ කිසිම විශ්වාසයක් නැත. අඩුම තරමේ තමන්ට යම් හැකියාවක් තියෙනවා ද කියාවත් දන්නේ නැත. හැමදෙයකටම වඩා වැදගත් වන්නේ ද තමා පිළිබඳ තමා තුළ විශ්වාසයක් ගොඩනගා ගැනීමයි. ඒ විශ්වාසය තුළින්ම ඔබ සාර්ථකත්වය වෙත ගමන් කරනු ඇත. ඒ සඳහා අවශ්‍ය පියවර ගනු ඇත.
 
නිහතමානීකමක් නැතිවීම
 
හැමවිටම නිහතමානී වීම සාර්ථක පුද්ගලයන් වෙතින් දැකිය හැකි ලක්ෂණයකි. නිහතමානීබව අප ඉගෙනගත යුත්තේ කුඩා අවධියේ සිටමය. එය මාපියන් දරුවන්ට දායාද කළ යුතු අපූරු දායාදයකි. නිහතමානීබව යනු පැරදීමක් යැයි සමහරු අර්ථ දක්වති. සමහරෙක් එය නූගතුන්ගේ ලක්ෂණයක් යැයි කියති. තවත් අයෙක් කියන්නේ එය දුප්පතුන්ගේ ලක්ෂණයක් කියාය. එහෙත් ඒ සියල්ල වැරැදිය. නිහතමානීකම යනු සාර්ථක මිනිසකුගේ ලක්ෂණයකි. මේ පිළිබඳ උදාහරණයක් කියන්නම්. අමිතාබ් භච්චන් යනු ලෝකයක් හඳුනන නළුවෙක් යැයි කීවාට ඔහු නොහඳුනන පුද්ගලයෝ ද ඉන්දියාවේ වෙති. නිහතමානී වීම පිළිබඳ මේ කතාව කියා තිබෙන්නේ ද අමිතාබ් භච්චන් ය. එකල ඔහු ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ හිඳි අවදියේ දී දිනක් ගුවන් යානයකින් ගමනක් යාමට පැමිණ ඇත. එහිදී ඔහු හඳුනාගත් සියලු දෙනා ඔහු හා කතාබහ කරන්නටත් ඔහු දෙස උනන්දුවෙන් බලන්නටත් සිනාසෙන්නටත් උත්සාහ කරන අතර ඔහු අසලම හිඳ සිටින මඟියා තමා වැන්නෙක් ළඟ සිටිනවා ද කියාවත් නොදන්නා සේ පුවත්පතක් බලමින් හිඳ ඇත. පුවත්පත් බලා අවසානයේ ලැබුණ තේ එකත් පානය කර කිසිම වගක් නැතුව ගමන් කර තිබේ. අමිතාබ් මේ පුද්ගලයා දෙස බලා ඔහු මධ්‍යම පාන්තික හොඳින් ඉගෙන ගත් මඟියෙක් කියා අනුමාන කර ඇත. ඔහු සමඟ කතා කිරීමට අදහස් කළ අමිතාබ් “හලෝ”
 
එයට ප්‍රතිචාර දැක්වූ නාදුනන අමුත්තා ඔහු හා සිනාසී සුහදව “හලෝ”
 
අමිතාබ් “මම සිනමා කර්මාන්තයේ. ඔබ සිනමා පට බලනවද”
 
අමුත්තා “ඇත්තද සතුටුයි, මම එකක් බලලා තියෙනවා. ඒ සෑහෙන කාලෙකට ඉස්සර. ඉතිං ඔබ එහි මොනවද කරන්නේ”
 
අමිතාබ් ‘මම නළුවෙක්”
 
පසුව යානය ගොඩ බැසි කළ තමාට කිසිදු සැලකිල්ලක් නොදැක් වූ අමුත්තාට අමිතාබ් බොහොම උජාරුවෙන් මේ අමුත්තා මෙතෙක් වේලා පැමිණ ඇත්තේ ජනප්‍රිය නළු අමිතාබ් බච්චන් සමඟ බව ඒත්තු ගැන්වීමට ඔහුට අතට අත දී “මම අමිතාබ් බච්චන්. ඔබ හමුවීම සතුටක්” යැයි පවසා තිබේ.
 
එවිට අමුත්තා හොඳින් සිනාසී “ඇත්ත ද ඔබ හමුවීම සතුටක්. මම බ්.අ.ච්. ඊචබච” යනුවෙන් පවසා ඇත. ජේආර්ඩී ටාටා යනු එකල මහත් ප්‍රසිද්ධියක් ඉසිළූ ටාටා බස්රථ සමාගමේ හිමිකරුය.
 
ඉඳින් අමිතාබ් පවසන්නේ තමා මොනරම් ලොක්කෙක් යැයි සිතා සිටියත් තමා ඉදිරියේ තමන්ට වඩා ලොක්කෙක් සිටිය හැකි බවයි. ඒ නිසා නිහතමානී වීම ජීවිතයේ වැදගත්ම දෙයක් බවය. හරියට ටාටා මහතා මෙනි. ඔහුගේ පෙනුම මධ්‍යම පාන්තිකය. නමුත් ඔහු නියෝජනය කළේ ධනපති පන්තියයි. එමෙන්ම ඔහු තමන් ගැන පාරම්බාන්ට ගියේ නැත. නිහතමානී වීම යනු එය යැයි අමිතාබ් පවසා තිබේ. එසේ නම් සාර්ථක පුද්ගලයක් වන්නට සිහින මවන ඔබ නිහතමානීකම ජීවිතයට එකතුකරගත යුතුය. එසේ නොමැතිව බොරුවට ආඩම්බර වන්නන් ට කිසිදිනෙක සාර්ථක විය නො හැකියි. දැනටමත් ඔබ අසාර්ථක නම් ඔබ ළඟත් මේ ලක්ෂණය තිබේදැයි විමසිලිමත් වන්න. තිබේ නම් එය නිවරද කරගන්න.
 
නිදහසට කරුණු ඉදිරිපත් කිරීම
 
ඔබ ඔබේම වැරැදිවලට හා ගැටලුවලට අනෙක් අයට ඒවා පවරමින් බැණ වදින අයෙක් ද? එහෙම නම් ඔබ සැබැවින්ම අසාර්ථක පුද්ගලයෙකි.
 
අපි සාර්ථකත්වයට යන මාර්ගයේ ඕනෑතරම් ගැටලු තියෙන්න පුළුවන්. අප සිහි තබාගත යුත්තේ, ඒ ගැටලු ඇතිවී ඇත්තේ අපි ඒවාට කෙසේ මුහුණ දෙන්නේ දැයි විමසා බලන්නට යැයි කියාය. ඒ නිසා අන් අයට දොස් පවරන්නේ නැතුව ඒවා විසඳාගන්නට අප උත්සාහ කළ යුතුය. සාර්ථකත්වයට පත්වන්නට හිතන අයට මේ ගැටලු කිසිසේත්ම ගැටලු නොවේ. ඒවා ඔහුගේ/ඇයගේ තරාතිරම මැන බලන්නට ඉදිරිපත්වන ප්‍රශ්න පත්‍රයක් මෙනි.
 
ඒ නිසා වැරැදීම් සිදුවූ කළ නිදහසට කරුණු ඉදිරිපත් කරන්නට නොයා ඒ වරද නිවරද කරගන්නට වෙහෙස විය යුතුයි.
 
වරෙක බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් නම් අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ “නිදහසට කරුණු ඉදිරිපත් කිරීම හොඳය. එහෙත් ඒ හැමවිටම නොවේ” යන්නයි.
 
ඒ නිසා තමන් වැරැදිකර ඒ වැරැදි සිදුවූයේ ඇයි ද යන්නට කිසිම විටෙක කරුණු කියන්නට යන්න එපා. වරද වැරැදි වැරැදී හරි නිවරදවම කරන්න උත්සාහ කරන්න. එවිට ඔබ ද දිනෙක සාර්ථක පුද්ගලයකු බවට පත් වේවි.
 
 
අසමත්වීමට හේතුවන කරුණු 16 න් තවත් කරුණූු 7 ක් ඉතිරියි. අපි ඒවා මොනවාදැයි ලබන සතියේ දී විමසා බලමු