දීගෙක යන දා දිය යුතු ඔවදන් කාලයේ තාලයට ගළපන්න

සැප්තැම්බර් 5, 2022

කෙලි පොඩිත්ති ලොකු වෙලා...

විවාහයත් ළංවෙලා...

 

පුංචිම පුංචි කලලයක් දවසින් දවස වැඩිලා මාස නමකුත් ගෙවිලා. හිරණ්‍යාටයි සේමිතටයි රෝස කැකුළක් වගේ හුරුබුහුටි දුවක් ලැබුණා. දුවක් කියන්නෙම අනාගතයේ දරුවකුට ජීවය දෙන තැනැත්තියක්. මේ නිසා ගැහැනු දරුවකු කුඩා කල සිටම පෝෂණයෙන් සන්නද්ධ වූ අයකු විය යුතුමයි.

 

හිරණ්‍යාගෙයි සේමිතගෙයි පුංචි දෝණි බිඟුනි දැන් තාරුණ්‍යයේ අසිරිය විඳින සුන්දර රුවැත්තියකි. උසස් අධ්‍යාපනය නිම කළ ඇය පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රැකියාවක නිරතව සිටිය දී ඇගේ හිත ගත් තරුණයකු පිළිබඳ තම මව දැනුවත් කරන්නට

 

 

අමතක කළේ නැහැ. කවදත් කීකරු දියණියක් ව සිටින බිඟුනිගේ කැමැත්තට ඉඩ හසර ලබා දෙමින් එම තරුණයාට නිවෙසට ආරාධනා කළා. තවත් සති කිහිපයකට පසු ඒ පුතුගේ පවුලේ උදවියත් නිවෙසට ගෙන්වා ගන්නට සේමිතත් හිරණ්‍යාත් කටයුතු කළාය.

බිඟුනි සහ තිසෙන් ගේ ගතිගුණ, උගත්, බුද්ධිමත් බව කෙරෙහි දෙපාර්ශ්වයේම මාපියන් තුළ ඇති වූයේ මනා පැහැදීමකි.

මේ දියණිය සහ පුතු ඔවුන්ගේ ආදර සබඳතාව ඇරැඹුණු මුල්ම කාලයේ දී තැලසීමියා රෝගය සඳහා වන රුධිර පරීක්ෂාව ද කරගෙන තිබීම දෙපාර්ශ්වයේ ම මාපියන්ගේ පැසසුමට ලක්වූ කරුණක් විය. මාපියන්ගේ ආශිර්වාදය හිමි වූ පසු ඔවුන් විවාහය සඳහා දින නියම කර ගන්නට විය.

 

පවුල් උපදේශන සේවාව

 

මෙහිදී මාපියන් අවධානය ෙයාමු කළේ කතෝලික දේවස්ථානයේ පවත්වන පවුල් උපදේශන සේවාව සඳහා විවාහ වීමට අපේක්ෂා කරන දරුවන් සහභාගී කරවීමේ වැදගත්කම පිළිබඳයි. තිසෙන් එම අදහසට ගරු කරමින් ඒ සඳහා සහභාගි වූයේ සතුටිනි. මෙවැනි වැඩසටහන් සඳහා බෞද්ධ, හින්දු, ඉස්ලාම් පවුල්වල විවාහ අපේක්ෂිත යුවළවලට ද සහභාගි වීමට ලැබීම මහඟු අවස්ථාවකි. මෙවැනි වැඩසටහන් සඳහා සහභාගි වීමට හැකි වීම පිළිබඳ බොහෝ පිරිස් දැනුවත් ව නොමැති තරම්ය. මෙහිදී ගැටලු අවම කර ගනිමින් සාමයෙන්, සමාදානයෙන් පවුල් ජීවිතයක් පවත්වාගෙන ගෙන යෑම සඳහා සැමියා හා බිරිය දෙදෙනාම සතු යුතුකම්, වගකීම් ආදිය පිළිබඳ මනා උපදේශනයක් ලබා දෙයි.

විවාහ මංගලෝත්සවය සඳහා දින නියම කිරීමේ දී දියණියගේ ඔසප් වීෙම් දිනය පිළිබඳ ද සලකා බැලීම වැදගත් කරුණකි. ඔවුන්ගේ ජීවිතයේ සදානුස්මරණීය දිනය චමත්කාරජනක අන්දමින් ගෙවා දැමීමට ඔසප් දින පසු කරමින් හෝ ඔසප් වීමට පෙර දින යොදා ගැනීම පිළිබඳ සිතන්න. මෙහිදී දියණිය සහ පුතු සමඟ විවෘතව කතාබහ කිරීමට මඟපාදා ගන්න. විවාහ වූ අලුතම දරුවන් හදනවා ද තවත් මාස කීපයක් හෝ වසර කිහිපයක් දරුඵල පමා කරනවා ද යන්න පිළිබඳ විවාහ වීමට අපේක්ෂා කරන යුවළ එකඟතාවයකට පැමිණීම අතිශය වැදගත් කරුණකි.

 

උපත් පාලන උපදෙස්

 

සතුට දෝර ගලා යන මධුසමයක් සඳහා උපත් පාලන උපදෙස් ලබාගැනීම ද වැදගත් වන්නකි. මධුසමය බලා පිටත්ව යෑමට අපේක්ෂා දල්වා සිටින යුවළක් හෝ දරුවන් නො ලැබූ අලුත විවාහක යුවළක් නම් උපත් පාලන නික්ශේපන (injection) භාවිත නොකරන්න. වඩාත්ම සුදුසු ක්‍රමය නම් විවාහවීමට (එකතුවීමට) පෙර මස සිට උපත් පාලන පෙති පාවිච්චි කිරීම හෝ එකතු වන දිනවල උපත් පාලන කොපු (condom) භාවිතයයි. උපත් පාලන කොපු භාවිතය මුල් කාලයේ කරදරකාරී විය හැකි නිසා දිනපතා භාවිත කරන පෙති වර්ගයකට යොමුවීම බුද්ධිමත් කාරණයකි. තවද ෆාමසිවල ඇති අනපේක්ෂිත එකතුවීමක දී භාවිත කරන උපත් පාලන පෙති කිසිසේත් භාවිත නො කරන්න.

 

ඉන්ද්‍රියයන්ගේ පිරිසුදුකම

විවාහ දිවියට එළැඹෙන දියණියට ඇයගේ පුද්ගලික ශරීර ඉන්ද්‍රීයයන් අවට පිරිසුදුව හා ප්‍රසන්නව තබාගැනීමට උපදෙස් දෙන්න. එම ප්‍රදේශයන් අවට අප්‍රසන්න ගන්ධයන්, දහඩිය ගඳ ආදිය පැවතිය හැකියි. චර්ම රෝග වෛද්‍යවරුන්ට මෙන්ම දක්ෂ දේශීය වෛද්‍යවරුන්ට ඒවා සුවපත් කළ හැකියි. පුද්ගලික ස්වස්ථතාව (personal hygiene) ඉතා වැදගත් වේ.

 

දියණියගේ කන්‍යාභාවය

 

කන්‍යාභාවය පිළිබඳ ගතානුගතික අදහස් දුවට පුතාට පහදා දෙන්න. කන්‍යාභාවය ලෙස පළමු එක්වීමේ දී රුධිර ගැලීමක් පෙන්වනුයේ සියයට 60ක් වැනි ප්‍රතිශතයකටයි. සියයට හතළිහක් පමණ පසු එකතු වීමක දී ද තවත් ඉතාම අඩු ප්‍රතිශතයකට දරුවකු බිහිකරන විට ද කන්‍යා පටලය කැඩී යා හැකි යි. දියණියගේ පාරිශුද්ධභාවයට කන්‍යා පටලය හේතු සාධකයක් නොවේ. තම දියණියගේ ප්‍රථම රාත්‍රිය සැහැල්ලු මනසකින් එකතුවන්නට උපදෙස් දෙන්න. ආසියානු රටවල ප්‍රජනනය පිළිබඳ ඇති දැනුම අඩුකම නිසා දියණිය ප්‍රථම එකතුවීමේදී බියක් දක්වයි. ඒ නිසාම උකුළු ප්‍රදේශයේ පේශි තද කිරීමෙන් ලිංගිකව එකතු වීම ද අපහසු වේ. ඇතැමුන්ට පළමු දිනම එම කර්තව්‍ය අප්‍රසන්න වෙයි. පළමු රාත්‍රියේ තම සහකාරිය සමඟ සුහදව මිත්‍රශීලීව එම සුසංයෝගය සහයෝගයෙන් කිරීමට වගබලා ගන්න.

උපදෙස්

ආයුර්වේද විශාරද පණ්ඩිත

විශේෂඥ වෛද්‍ය මානව උපදේශක වෛද්‍ය

සුදත් ගුණතිලක