සකපෝරුවටත් හොරෙන් වියැකී යන කුඹල් කර්මාන්තය

සැප්තැම්බර් 11, 2019

මැටි සොයා ගැනීමත් ගැටලුවක් වෙලා

වළං පුච්චන්න ප්‍රමාණවත් දර නෑ

වළං කර්මාන්තය, එහෙමත් නැතිනම් කුඹල් කර්මාන්තය වූ කලී ශ්‍රී ලාංකික වංශ කතාවේ මුල් යුගයට අයත් කර්මාන්තයකි. දේවානම්පියතිස්ස රජ යුගයේ සංඝමිත්තා තෙරණියගේ වැඩම වීම සමඟ එම තෙරණිය හා මෙරටට පැමිණි දහ අට කුලයකට අයත් ශිල්ප ශ්‍රේණිවල වැදගත් ශිල්ප ශ්‍රේණියක් වනුයේ කුඹල් කුලයයි. එම කුලයෙන් පැවැත එන රජරට කුඹල් කර්මාන්තය පවතින ගම්මාන අතුරින් තවමත් එම කර්මාන්තය එදාට වඩා සාර්ථකව සිදු කරගෙන යන ගම්මානයක් සොයා අපි ගියෙමු.

තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 545, ඉහළ අඹතලය තුලානට අයත් ‘පණ්ඩිත රඹෑව’ යනු අප එලෙස සොයා ගිය ගම්මානයයි. කැකිරාව නගරයේ සිට පැමිණෙන්නේ නම් කැකිරාව ගලෙන්බිඳුණුවැව මාර්ගයේ ගලෙන්බිඳුණුවැව දෙසට කිලෝමීටර් 15ක් පමණ පැමිණ හමු වන මුරියාකඩවල තුංමංසලෙන් වම් පසට වැටී ඇති මාර්ගය ඔස්සේ කිලෝමීටර 1.5ක් පමණ ගිය විට මෙම ගම්මානය හමුවේ.

ගම්මානයේ පවුල් 197ක් පමණ ජීවත් වන අතර ඉන් පවුල් 150ගේ පමණ ප්‍රධාන ජීවන උපාය වී ඇත්තේ වළං කර්මාන්තයයි. තම ගම්මානයේ වළං කර්මාන්තයේ අතීතය පිළිබඳව අදහස් දැක්වූ කේ. කුසුමාවතී මහත්මිය(62) මෙසේ පැවසීය.

“අනේ මහත්තයෝ අපේ කිරිකිත්තගෙ කාලෙටත් වැඩි කාලෙක ඉඳන් මේ කර්මාන්තේ කරනවා. පරම්පරාවෙන් තමයි මේක කරන්නේ. මට හිතෙන විදිහට දැනට අවුරුදු දෙසීයකටත් එහා අපේ පරම්පරාව මේ කර්මාන්තේ කරනවා. දැන් දහවැනි පරම්පරාව විතර වෙන්න ඇති. අපේ මුත්තලා ඒ දවස්වල කිව්වා මට මතකයි පවුල් හතයිලු මුලින්ම මේ ගමේ මේ කර්මාන්තේ කරගෙන ඉඳලා තියෙන්නේ. ඉස්සර අපි වළං ටිකක් හදාගෙන ගෝනියක දාගෙන හිසේ තියාගෙන ගම් ගම් ගානේ ගිහිං තමයි වළං විකුණන්නේ. දැන් ඉස්සරට වඩා මේ කර්මාන්තේ ගොඩක් දියුණුයි.”

වර්තමානයේ තම වළං කර්මාන්තයට බලපා ඇති ප්‍රබල ගැටලුවක් පිළිබඳව අනිල් කුමාරරත්න (39) මහතා මෙසේ තම හඬ අවදි කළේය.

“අපිට දැන් තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි වළං පුච්චගන්න ප්‍රමාණවත් දර සොයා ගන්න තැනක් නැතිකම. රක්ෂිතවලට යන්න දෙන්නේ නැහැ. වනජීවී එකෙන් ප්‍රශ්න දානවා. ඒ නිසා සල්ලිවලට තමයි අපි දර ගන්නේ. දර ලෝඩ් එකක් රුපියල් හයදාහක් වෙනවා. හරියට වළඳක සියලු වැඩ ඉවර කරන්න සතියක් විතර යනවා. එහෙම කරලා ගන්න ආදායම ඔක්කොම දරවලට වියදම් වෙනවා. එහෙම වුණාම වළඳක් තලාගෙන එදා වේල හොයා ගන්න අය කොහොමද මහත්තයෝ ජීවත් වෙන්නේ...? මෙහෙම ගියොත් මේ කර්මාන්තේ තව ටික කාලෙකින් සදහටම නැති වෙලා යයි. ඒ නිසා මෙම ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් බලධාරීන් දෙනවා නම් ගොඩාක් වටිනවා.”

වළං කර්මාන්තකරුවන් මුහුණදෙන තවත් ගැටලුවක් පිළිබඳව බන්ධුල වීරරත්න (37) මහතා මෙසේ පැවසීය.

“වළං හදන්න ඕනිම දේ තමයි මැටි. ඒත් අපිට මැටි හොයා ගන්න ගියාම ගොඩක් ප්‍රශ්න. දැනට අපි බෝධිලියන්ගම වැවෙන් හා රඹෑව වැවෙන් තමයි මැටි ගන්නේ. මැටි කපන්නේ අතින් මේක හරි කරදරයි. ලොකු මහන්සියක් වෙන්න ඕන. ඒ වගේම කාලෙත් ගොඩාක් යන වැඩක්. ඒ නිසා අපිට පොඩි බැකෝ යන්ත්‍රයකින් මැටි කපන්න බලධාරීන් අවසර දෙනවා නම් ගොඩාක් වටිනවා.”

වළං කර්මාන්තකරුවන් සියලු දෙනා වෙනුවෙන් තම හඬ අවධි කරමින් නිරංජලා කුමාරි (24) මහත්මිය මෙසේ ඉල්ලීමක් කළාය.

“අපේ ගමේ ගොඩාක් අය ප්‍රධාන රැකියාව විදිහට කරන්නේ වළං කර්මාන්තේ. දවස් ගාණක් මහන්සි වෙලා තමයි වළඳක් සම්පූර්ණයෙන් ඉවර කර ගන්නේ. තද වැස්සයි තද අව්වයි දෙකෙන්ම වළං බේරාගෙන බොහොම අමාරුවෙන් තමයි මේක කරන්නේ. වළං මිල සාමාන්‍ය හොඳ මට්ටමක තියෙනවා. ඒත් වෙළෙඳපොළට මේවා අපි අරං ගිහින් විකුණද්දි ඒ ලාභය අපට ගන්න බෑ. අපි දැනට පාර අයිනේ තියාගෙනත් මේ වළං විකුණනවා. බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ වළංවලට නියමිත මිලක් නියම කර දෙන්න කියලයි. රජය මැදිහත් වීමෙන් හෝ මේ වළං ගන්නවා නම් ඒක අපිට ලොකු සහනයක්.”

අතීතයේ අපි කොයි කාගේත් නිවෙස්වල බතක් මාළුවක් ඉදුණේ මැටි වළඳකය. වර්තමානයේ එය ඇලුමීනියම්වලට මාරු වී තිබුණත් තවමත් කටට රහට කෑමක් කන්න නම් අපි සොයන්නේ මැටි වළඳක්මය. මැටි වළඳේ පිසූ ආහාර බොහොමයක් ලෙඩ රෝග සුව කරන්නටත්, අව වැලඳෙන බොහොමයක් ලෙඩ රෝගවලින් මිදෙන්නටත් උපකාරී විය. මෙලෙස කවර කාලයටත් මහෝපකාරී වෙන මැටි වළං කර්මාන්තය අභාවයට යා නොදී ආරක්ෂා කර ගැනීම කොයි කාගේත් වගකීමක් වී ඇත. ඒ වගකීම වෙනුවෙන් කැපවීමටත් පාරම්පරික කුඹල්කරුවන්ට අත දීමටත් බලධාරීන්ගේද අවධානය යොමු වෙනවා නම් එය සතුටට කරුණකි.

මරදන්කඩවල සමූහ

[කේ.එස්. කරුණාරත්න]

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.