ලස්සන ලෝකයක් තනන්නට යුතුකම් ඉටු කරමු

"ලෝක වැඩිහිටි දිනය හා ජාතික ළමා දිනය වෙනුවෙනි"
ඔක්තෝබර් 3, 2022

 

දරුවන් යනු මෙලොවට පැමිණි අමුත්තන් ය. ඔවුන් හොඳින් රැක බලා ගැනීම මෙන්ම දරුවන්ට මේ ලෝකය ගැන දැනුම්වත් භාවයක් ලබා ගත හැකි වන සේ ඔවුන් මෙහෙයවීම වැඩිහිටි අපගේ යුතුකමයි.

 

ළමා විය සුන්දර වන්නේ ද ඔවුන්ගේ අත්දැකීම් අඩු බව නිසයි. වෛරය, ඉරිසියාව ආදී නපුරු සිතුවිලි කුඩා සිත් තුළ නොමැති තරම් ය. එහෙත් එවැනි හැඟීම් ඔවුන් තුළට ඇතුළු කරන්නේ වැඩිහිටියන් විසින් ම ය. එසේ කොට එම දරුවා නපුරු, අකීකරු දරුවකු යැයි හංවඩු ගසයි.

 

 

 

වෙනසක් එපා

 

හිස් කඩදාසියක් මෙන් නිරවුල් මනසකින් යුතුව මෙලොවට පැමිණෙන දරුවන්ගේ සිත්වලට නොයෙකුත් විස එකතු කරන්නේ වැඩිහිටි අපමය.

දරුවන් විවිධය. විවිධ පැහැයෙන් යුතු මල් මෙනි. විවිධ පැහැයෙන්, සුවඳින් යුතු මල් ලොව ලස්සන කරන්නා සේ ම දරුවන්ට ද ලෝකය ලස්සන කළ හැකිය. එහෙත් ඒ සඳහා ඔවුනට වැඩිහිටි රැකවරණය, ආරක්ෂාව අත්‍යවශ්‍ය ය. ලස්සන ළමයි, ලස්සන නැති ළමයි, දක්ෂ ළමයි, අදක්ෂ ළමයි, ඉගෙන ගන්න කැමැති ළමයි, ඉගෙන ගන්න අකැමැති ළමයි ආදී ලෙසින් ළමයි වර්ග කරමින් එක් ළමයි වර්ගයකට එක් විදියකටත් අනෙක් ළමයින් වර්ගයට තවත් විදියකටත් සලකන වැඩිහිටියන් මෙන්ම ගුරුවරුන් ද කොතෙකුත් වෙති.

කුඩා දරුවන්ගේ මල් මෙන් වූ සියුමැලි සිත් නොරිදෙන අයුරින් ඔවුන් අතින් සිදුවන වැරැද්දක් වුවද නිවැරැදි කිරීමට, එම වරද ගැන දරුවාට පැහැදිලිකර දීමට අපට හැකිවිය යුතුය. බොහෝ විට දරුවන්ට ශාරීරික මෙන්ම මානසික පීඩා ද වැඩි වශයෙන් ඇති වන්නේ තමාගේ නිවෙසේ දී හෝ ඒ අවට පරිසරයේ දී මය. ඒ ගැන දරුවන්ගේ මවුපියන්, ඥාතීන්, භාරකරුවන් මෙන්ම ගුරුවරුන් ද සැලකිලිමත් විය යුතුය.

 

 

සතුට ගැන හිතන්න

 

 

මේ පවතින ආර්ථික අර්බුදය මවුපියන්ට විශාල මානසික පීඩනයක් බව සැබෑවකි. නමුත් කිසි දෙයක් නොදන්නා කුඩා දරුවන්ගේ පිටින් අපගේ ඒ මානසික පීඩාවන් සමනය නොකළ යුතුය. හැකි සෑම විටෙකම දරුවාගේ සිතිවිලි, හැඟීම් තේරුම් ගෙන ඒ අනුව කටයුතු කිරීම දරුවාගේ මානසික නිරෝගී බව රැක ගැනීමට ඉවහල් වන කරුණකි. ඇතැම් විට දරුවා ඉල්ලන රස කැවිල්ලක්, සෙල්ලම් බඩුවක් මිල දී ගෙන දීමට ඔබේ අතේ මුදල් නොමැති විය හැකිය. එවිට දරුවාට බැණ වැදීමෙන් හෝ 'ඕවා ගත්තොත් වෙන්නේ නොකා නොබී ඉන්න තමයි' වැනි රළු වදන් භාවිත කරනවාට වඩා හැකි පමණින් දරුවා සතුටු කිරීමට උනන්දු වන්න. ඒ සඳහා ඔබට නිවෙසේදී එවැනි ආදේශක රස කැවිල්ලක් සාදා දීමට හැකිය. වෙළෙඳපොළේ ඇති සෙල්ලම් බඩු වෙනුවට නිවෙසේදී සෙල්ලම් කිරීමට උපකරණ සාදා දිය හැකිය. එසෙත් නැතිනම් 'අද නම් ඒවා ගන්න සල්ලි මදිනෙ පුතේ.. මම වෙන දවසක අරන් දෙන්නම්' යැයි දරුවාට ඇති තතු පහදා දී අතේ යම් මුදලක් ඇති දිනෙක දී එම පොරොන්දුව ඉටු කළ හැකිය.

 

රසවත් මතක

 

 

 

දරුවාගේ ළමා කාලය ජීවිතය පුරාම නැවත ආවර්ජනය කරමින් රස විඳිය හැකි මතකයන්ගෙන් පුරවාලීමට හැකියාව ඇත්තේ වැඩිහිටි අපට ම ය. පීඩිත ළමා කාලයක් ගෙවූ බොහෝ පුද්ගලයන් වැඩිහිටියන් වූ කල සමාජයට වෛර කරන, සමාජ විරෝධී ක්‍රියාවල නියැළෙන ඇතැම් විට මානසික රෝගවලින් පීඩා විඳින පිරිසක් බවට පත් වේ. ඔවුන් සමාජයට ද කරදරයකි. එබැවින් දරුවන් හොඳින් රැකබලා ගැනීමෙන් අප සිදු කරන්නේ අනාගත සමාජය යහපත් කිරීමයි.

 

ළමයින්ට සමාන වැඩිහිටි විය

 

 

 

වයෝවෘද්ධ වැඩිහිටියන් ද අද වන විට බොහෝ පීඩාවට පත්ව සිටින කොටසකි. වෘද්ධ වැඩිහිටියන් බොහෝ විට ළමයින් මෙනි. ඔවුහු ද නැවත තමා කෙරෙහි අන් අයගේ අවධානය ලැබෙනවාට කැමැත්තක් දක්වති. තනියෙන් සිටීමට අකැමැතිය. ඔවුනට අවශ්‍ය වන්නේ තම දරු මුනුපුරන් සමඟ සතුටින් සිටීමටයි.

නමුත් අද බොහෝ දෙනකුට තම මවුපියන්ට යුතුකම් ඉටුකිරීම මඟහැරෙන තත්ත්වයක් දැකිය හැකිය. අද අප ගෙවන්නේ ඉතාමත් දුෂ්කර කාලයක් බව සැබෑවකි. එහෙත් හැකි උපරිමයෙන් තම මවුපියන්ට හොඳින් සැලකීමට උනන්දු වන්න. ඇතැම් විට ඔවුනට අවැසි වන්නේ ඔබේ මිල මුදල් හෝ, වටිනා බඩු භාණ්ඩ, රස මසවුළු නොවේ. ඔබේ කාරුණික වදන්, ඔවුන්ගේ සුවදුක් විමසීම්, ආදරණීය බව පමණි. ඒ වෙනුවෙන් ඔබට මුදලක් වැය නොවේ. පොල් සම්බෝලයක් බතක් වුවද කා තම දරු මුනුපුරන්ගේ ආදරය විඳිමින් සිටීමට වැඩිහිටියන් කැමැතිය.

ඇතැම් විට තාක්ෂණය නිසා අපේම අයගෙන්, අප බොහෝ දුරස් වී ඇත. මුහුණු පොතේ සැරිසරණ වෙලාවෙන් විනාඩි කිහිපයක් කැපකර නිවෙසේ සිටින වැඩිහිටියන් සමඟ මිනිත්තු 10-15ක සල්ලාපයක යෙදෙන්න. එය ඔබට කුඩා දෙයක් වුවත් ඔවුනට මහත් වූ සතුටක් ගෙන දෙන්නකි.

 

 

තනියම රෝගවලට අත වනයි

 

 

වැඩිහිටියන්ගෙන් වැඩි දෙනෙක් ඩිමෙන්ෂියා වැනි රෝගී තත්ත්වයන්ට ගොදුරු වන්නේ ද තනිවී සිටීමෙනි. දරුවන්ට මෙන්ම හැකි සෑම විටෙකම ඔවුනට ද ඔබේ ආරක්ෂාව, රැකවරණය තිබෙන බව අඟවන්න. එය ඔවුනගේ සිත සනසවන කරුණක් වේවි. වැඩිහිටි වියේ සිටින ඔබේ මවුපියන් කිසිම විටෙක නිවෙසේ මෙහෙකරුවන් සේ නිරන්තර වැඩෙහි යෙදවීම සුදුසු දෙයක් නොවේ. ඔවුන් කැමැත්තෙන් කරන කුඩා කාර්යයන් කිරීමට ඉඩ දෙන්න. නමුත් ඔබ අණ දිදී ඔවුනගෙන් වැඩ ගැනීම නම් සුදුසු දෙයක් නොවේ.

ළමා වියෙන් ඇරෙඹන ජීවිතයක් තරුණ වියට පැමිණ නැවතත් ක්‍රම ක්‍රමයෙන් වැඩිහිටි වියටත් වෘද්ධ අවධියටත් පැමිණේ. මේ චක්‍රය අප හැමටම සම්පූර්ණ කිරීමට සිදුවේ. අප හැම කෙනෙක්ම ළමා විය ගෙවා අද සිටින තත්ත්වයට පැමිණ ඇත. අද අප ගෙවන ජීවිතයට ළමා කාලය කොතෙක් බලපා ඇත්දැයි මඳක් සිතා බලන්න. එමෙන්ම හෙට අප පිය නඟන්නේ වැඩිහිටි වියටයි. වැඩිහිටි විය සැපසේ විශ්‍රාම සුවයෙන් ගෙවීමට නම් අද සිටම යම් ආයෝජනයක් ඒ වෙනුවෙන් සිදු කළ යුතුය. දරුවන් වෙනුවෙන් තමා සතු සියලු දේ කැප කොට දරුවන් තමාට නොසැලකුවයි තැවෙනවාට වඩා තමාගේ විශ්‍රාම දිවිය ගත කරන ආකාරය දැන්ම සැලසුම් කරන්න.