නැවතත් ආරක්ෂිතව දඹදිව වන්දනාවට එක්වන්න...

ඔක්තෝබර් 3, 2022

 

ඕනෑම අයකුගේ සිහිනය වන්නේ තමා අදහන ආගමේ ශාස්තෲන් වහන්සේ ඉපදුණ, ජීවත් වූ ස්ථාන දැක බලා ගැනීමයි. ඒ අනුව බෞද්ධයෝ ද බුදු හිමියන්ගේ ජීවිතයේ මතක සටහන් ඇති බෞද්ධයන්ගේ පූජනීයත්වයට පාත්‍ර වූ දඹදිව වන්දනාවේ යාමට සිහින දකිති.

 

නමුත් පසුගිය වසංගත තත්ත්වයත් සමඟ මේ වන්දනා ගමන් යාම නැවතිණ. වසරින් වසර, දිනෙන් දින ගෙවෙමින් අප මරණය කරා යන මේ ගමනේ බුදුන්ගේ දේශය දැක සිත් පහදවා ගැනීම පසුවට කල් දැමීම එතරම් සුදුසු දෙයක් නොවේ. ඒ නිසා මේ වන විට වන්දනා ගමන් සඳහා පිටත්ව යාමේ නවතම පිළිවෙළ හා ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීම ද වැදගත් වේ.

මේ, ඒ පිළිබඳ විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන්ගේ සංගමයේ මහ ලේකම් ආචාර්ය මහින්ද හල්ලොලුව මහතා කළ පැහැදිලි කිරීමකි.

දඹදිව වන්දනාවේ යාම කොවිඩ් වසංගතයත් එක්කම නවතා දමන්නට අපට සිදු වුණා. නමුත් දැන් නැවතත් සීමාවන් සමඟින් අප වන්දනාව සඳහා චාරිකා යාම ආරම්භ කළා. රජයෙන් පනවා ඇති සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් මේ චාරිකා සංවිධානය කර තිබෙනවා. මේ නීති රීති කොවිඩ් වසංගතය හමාර වනතෙක් පවත්වාගෙන යන ලෙසයි උපදෙස් දී තිබෙන්නේ.

කලින් එක ආයතනයකින් එක් ගමන් වාරයක් සඳහා සංචාරකයන් 100-200 ක් පමණ ප්‍රමාණයක් රැගෙන ගියත් දැන් එය සංචාරකයන් 40-45 ක් අතර ප්‍රමාණයක් දක්වා අඩුකර ඇත්තේ ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන්. රජයෙන් උපදෙස් දී ඇත්තේ කොවිඩ් වසංගතය හමාර වනතෙක් දුම්රිය ගමන් වාර ගණන අඩුකරන ලෙසයි. මේ නිසා කොළඹ සිට බරණැසට, බුද්ධගයාවට, දිල්ලියට පැය 3ක් ඇතුළත ගුවනින් ගමන් කිරීමට පුළුවන්. මේ ගමන් සඳහා ඉන්දියාවට ගිහින් දුම්රියෙන් යාමට පැය 48ක් පමණ ගත වේ.

එහෙත් මේ වන විට වන්දනා ගමන් සඳහා යන වියදම වැඩි වී තිබෙනවා. ඒ වුණත් කලින් දින 20ක් පමණ ගත වන දඹදිව චාරිකාව දැන් ඔබට දින 12ක්-14ක් පමණ කාලයක් ඇතුළත සම්පූර්ණ කළ හැකියි. ගුවනින් ගමන් කිරීම නිසා කෙටි කාලයක් තුළ වන්දනා ගමන සම්පූර්ණ කිරීමට හැකි වීම වාසියක්.

වන්දනාකරුවන්ට නවාතැන් පහසුකම් සැපයීමේ දී වසංගත සමයට කලින් එක් හෝටල් කාමරයක පුද්ගලයන් 5ක් 6ක් පමණ සිටියත් දැන් එක් කාමරයක සිටින්නේ පුද්ගලයන් දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් පමණයි. එක් කාමරයක උපරිමයෙන් සිටිය හැක්කේ පුද්ගලයන් තිදෙනකුට පමණයි.

මෙහි ආහාර පාන ලබා දීම ද පෙරට වඩා මඳක් වෙනස් ආකාරයටයි සිදු කරන්නේ. කෝකිවරුන් විසින් ආහාර පිළියෙල කළත් ඒවා බෙදීම ඔවුන් විසින් සිදු කරන්නේ නෑ. ආහාර බෙදා ගැනීම තමන් විසින් සිදු කළ යුතුයි. පානය කිරීම සඳහා අප ලබා දෙන්නේ බෝතල් කළ පානීය ජලය යි.

ඒ වගේම අපගේ සංවිධානයට අයත් සංචාරක ආයතන මඟින් ඩොලර් 10,000 ක සංචාරක සෞඛ්‍යය රක්ෂණාවරණයක් ලබා දීමටත් කටයුතු කරනවා. දැන් දඹදිව සංචාරයක් සඳහා එක් පුද්ගලයකු වෙනුවෙන් ලක්ෂ 230,000- 250,000 ක් පමණ වැය වෙනවා.

මේ මුදලට ගමන් බලපත්‍රය, ඉන්දියන් හා නේපාල වීසා ලබා ගැනීම, ආහාර පාන, නවාතැන් පහසුකම්, ප්‍රවාහන පහසුකම්, ගමන් මලු දෙකක් මෙන්ම ලංකාවෙන් පිටවන හැම මඟියකුට ම ගුවන්තොටුපොළේ දී ගෙවීමට සිදුවන ඩොලර් 60ක මුදල පවා ඇතුළත්. එමනිසා මේ මුදල් ලබා දුන් පසු නැවතත් මුදල් ලබා දීම් සිදු කළ යුතු නෑ.

සංචාරය සඳහා සහභාගී වන සියලුම වන්දනාකරුවන් අවම ලෙස කොවිඩ් එන්නත් දෙකක්වත් ලබා ගත යුතුයි.

එමෙන්ම පෙර වසරවලට වඩා දැන් ඇති තවත් වෙනස්කමක් වන්නේ සංචාරය සඳහා ආයතනයේ වෙනත් පුද්ගලයකු සහභාගී වීම වෙනුවනට සංචාරක ආයතනයේ සංවිධායකයාම මේ සඳහා සහභාගී වීමයි. එමනිසා ඔබට අමතරව හෝ කිසිදු ගැටලුවක් පැන නොනගින අතර හැම විටම ඔබට ඇතිවන කිසියම් ගැටලුකාරී තත්ත්වයක දී ඔහු ඔබ වෙනුවෙන් පෙනී සිටිනු ඇති.

එමනිසා දැන් ඔබේ මවුපියන් දඹදිව වන්දනා චාරිකා සඳහා කිසිදු බියකින් තොරව යැවීමට හැකියාව ඇත.

අදහස් දැක්වීම

විදේශ බෞද්ධ චාරිකා

සංවිධායකයන්ගේ සංගමයේ

මහ ලේකම් ආචාර්ය

මහින්ද හල්ලොලුව