කැපකිරීමෙන් සහ උත්සාහයෙන් ජීවිතය දිනන්න පුළුවන්

- පවිත්‍රා විජේරත්න
නොවැම්බර් 7, 2022

 

සුන්දර රටා වැටුණු ඔසරි, සාරි ඈ අතින් නිර්මාණය වන්නේ වටිනාකම් තව තවත් ඔපලමිනි. ඒවා අඳින ළඳුන්ගේ රුසිරු වඩාත් ඉස්මතු වන්නේ ඇගේ අතින් මැවෙන මේ අපූර්ව රටාවන් නිසාමය. ඇය බලංගොඩ, ඉඹුල්පේ, අමුපිටිය ගමේ පදිංචි, නිර්මාණි ක්‍රියේෂන් හිමිකාරිනී පවිත්‍රා විජේරත්නයි.

බලංගොඩ ශාන්ත ඇග්නස් බාලිකා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ දක්වාත්, රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ දක්වාත් ඉගෙනගත් ඇය සබරගමුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. දැනට ඇය ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකරණ සේවා නිලධාරිනියක් ලෙස සේවය කරයි.

 

කළමනාකරණ නිලධාරිනියක් වූ ඔබ මැහුම් ක්ෂේත්‍රයට යොමු වුණේ කොහොමද?

මැහුම් වැඩවලට පොඩි කාලෙ ඉඳන්ම ආස කළා. විශ්වවිදාලයේ අවසන් වසරේ ඉගෙන ගනිද්දි ඩේසි විට්ටච්චි මිස් රත්නපුර පන්ති පටන් ගන්නවා දැකලා බොහෝ දුෂ්කරතා මැද කොහොම හරි ඒ පන්තිවලට සහභාගි වුණා. ටික දවසකින් රත්නපුරේ පන්තිය නැවතුණා. ඒත් මගේ තිබුණු ආසාව නිසාම දුර මඟ ගෙවාගෙන ඇගේ නුගේගොඩ පන්තියට ආවා. එතැනින් තමයි මේ කලාව ගැන වැඩිදුර ඉගෙන ගන්න ලැබුණේ. මුලින්ම කළේ පැච්වර්ක් බෑග්, ළදරු ඇඳුම් මහපු එකයි. ඔෆිස් අඳින්න මමම පැච්වර්ක් සාරි හදා ගත්තා. ඒකෙන් තමයි සාරි නිර්මාණය කරන්න පටන් ගත්තේ. ඒකටත් දැන් අවුරුදු හයක් විතර වෙනවා. කළමනාකරණ සේවා නිලධාරිනී ලෙස රැකියාව ලැබෙන තෙක්ම ඩේසි විට්ටච්චි මහත්මියගේ බණ්ඩාරවෙල තිබුණු මැහුම් පාසලේ උපදේශිකාවක් ලෙස වැඩ කළා.

 

කොහොමද මේ වැඩ කටයුතු කරන්නේ?

මම සතියෙ දවස් පහම පැය අටේ පූර්ණ කාලීන රැකියාවක නියුතු වන කෙනෙක්. මගේ දවස පටන් ගන්නෙ උදේ තුනට. සැමියා සේවය කරන්නෙ කඩුවෙල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක. ඒ නිසා අවුරුදු 11ක් හා 10ක් වයසෙ ඉන්න දරුවො දෙන්නාගෙ සියලුම වැඩ කරන්නත් ඕනෙ. ඒත් මම ගෙදර වැඩ, දරුවන්ගෙ වැඩ ආදිය කිසිම දෙයක් අත් නොහැර සාරි නිර්මාණය කරන්නත් කාලය හොයා ගන්නවා. සාරි වැඩ ඔක්කොම කරන්නෙ තනියම. තවමත් සහයට කිසිම කෙනෙක් අරන් නැහැ.

මේ ගමනට මගේ සැමියායි, දරුවො දෙන්නයි ලොකු සහයෝගයක් දෙනවා. ඒ වගේම අම්මායි තාත්තායි ලබාදෙන සහයෝගය ගැන කියන්න වචන නැති තරම්. මගේ සහෝදරියන්ගෙන් ලැබෙන්නෙත් මිල කරන්න බැරි සහයක්.

 

තරගවලට ඉදිරිපත් වෙලා තියෙනවා ද?

ලෙබනන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මඟින් පවත්වන ප්‍රදර්ශනයක් සඳහා මේ වසරේත්, පහුගිය වසරේත් මාගේ නිර්මාණ ඉදිරිපත්කර ලංකාවට විදේශ විනිමය ගෙන ඒමට හැකියාව ලැබුණා.

 

ඔබේ දියුණුවේ රහස කුමක් ද?

උත්සහයයි, කැප කිරීමයි තියෙනවා නම් අපිට වෙලාව කියන දේ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මගේ ජීවිතේ සාර්ථකත්වයේ රහස එයයි. මේ වගේ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින කාලයක රැකියාවේ වැටුප ගැන විතරක් බලා ඉන්න සිදු වූවා නම් ජීවිතේ මහා දුෂ්කර වෙන්න තිබුණා. ඒත් මම රැකියාවට අමතරව වෙලාව කළමනාකරණය කරගෙන සාරි නිර්මාණය කළා. අද මට ශක්තිමත්ව මේ ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ උත්සාහය සහ කැප කිරීම නිසයි. මේ වෙනකොට දිනකට නිම කර ගන්නට අපහසු තරම් සාරි ඇණවුම් ලැබෙනවා. කාන්තාවක් විදිහට රටට දෙන්න තියෙන ලොකුම ආදර්ශය වෙලාවක් නෑ කියලා දෙයක් නෑ, කැප කිරීමෙන් සහ උත්සාහයෙන් ජීවිතය දිනන්න පුළුවන් කියන එකයි.සටහන