මතක්කරලා සතුටු වෙන්න පුළුවන් අතීතයක් මට තියෙනවා

වගකීම් හරියට කළොත් ඕනෙම කෙනකුට දියුණු වෙන්න පුළුවන්
සැප්තැම්බර් 11, 2023

ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි

නීතිඥ හෂිනි නිල්වලා ගුණවර්ධන ජයසේකර

 

සියනෑ පුරවරයේ උඩුගම්පොල කියලා කියන්නෙ එක යායට කුඹුරු, පොල්වතු පිහිටි බත බුලතින් සරුසාර ප්‍රදේශයකි. 80 දශකයේ මේ උඩුගම්පොල පාසලේ හිටපු විදුහල්පතිනියගේ නිවෙස තිබුණෙත් සරුවට වැඩුණු පොල් වත්තක් මැද. පාසලේදී වගේමයි ඇය කලට වේලාවට නීතියටමයි වැඩ.

 

හැබැයි මේ ගෙදර ජීවත් වුණු ඇයගේ එකම දියණියගේ දරුවන් තිදෙනාට නම් මේ නීති අණපනත් අදාළ නෑ. පාසල් ඇරිලා ගෙදර එන පොඩ්ඩෝ තුන්දෙනාට හිතේ හැටියට වත්ත පුරා දුවන්න පනින්න සෙල්ලම් කරන්න, හැංගිමුත්තම් කරන්න කිසිම තහනමක් නෑ. මේ පවුලේ මද්දුමයා හුරුබුහුටි දැරිවියක් වුණාට ගස් නගින්න, සරුංගල් යවන්න, දුවන්න ගියහම අයියටයි, මල්ලිටයි දෙවැනි නෑ. හරියට එයත් කොලු පැටියෙක් වගේමයි.

අද මා ඉදිරිපිට වාඩිවෙලා ඉන්න මේ සොඳුරු කාන්තාවට නම් ඒ දඟකම්, කොලුකම් ගෑවිලාවත් නැති පාටයි. ඔසරියෙන් හැඩවුණු ඇය හරිම තැන්පත්. ජයසේකර මොහොට්ටිරාලලාගේ හෂිනි නිල්වලා ගුණවර්ධන ජයසේකර තමයි ඒ. දිග නමක්. හැබැයි එහෙම කිව්වට වැඩිදෙනෙක් දන්නෙ නැති වුණාට මේ ඉන්නෙ ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි නීතිඥ හෂිනි නිල්වලා කිව්වොත් නම් ඔබ ඈ හඳුනා ගනීවි.

කවුද අප්පේ මෙච්චර දිග නමක් දුන්නෙ.

‘මගේ අම්මයි, අප්පච්චියි තමයි ඉතින්. ජයසේකර මොහොට්ටිරාලලාගේ කියන්නෙ මගේ වාසගම. හෂිනි නිල්වලා කියන නමට අම්මා එයාගේ නමින් ගුණවර්ධන කියන කොටසත්, තාත්තාගේ ජයසේකර කියන කොටසත් එකතු කළා. මොකද අම්මා එයාලගේ පරම්පරාවේ එකම දියණිය වූ නිසාම එයාගේ දූටත් ඒ පරම්පරාවේ නම දෙන්න තීරණය කළා. එහෙම තමයි මට මේ විදිහට දිගම දිග නමක් එකතු වුණේ.’

 

අපි සොඳුරු ළමා අවධිය ගැන මතක් කරලම මේ කතාව පටන් ගනිමු.

‘හරිම ලස්සන, තව අදටත් මතක් කරලා රස විඳින්න පුළුවන් සුන්දර ළමා කාලයක් අපට තිබුණා. අයියයි, මමයි, මල්ලියි පුදුමාකාර නිදහසකින් තමයි අපේ ළමා කාලය ගත කළේ. වත්තපිටියේ හොඳට ඉඩකඩ තිබුණු නිසා හිතේ හැටියට සෙල්ලම් කරන්න හැකියාව ලැබුණා. දැන් කාලේ වගේ අපි ටියුෂන් ගියෙත් නෑනේ. පාසල් ගිහින් ගෙදර එන්නෙම සෙල්ලම් කරන්න බලාගෙන. ඊට පස්සෙ අපි තුන්දෙනා කාටුන් බලනවා. ඔය අතරතුරේ පාසලේ වැඩත් කරනවා. අම්මගෙන්වත්, ආත්තම්මාගෙන්වත් කිසි බලපෑමක් තිබුණේ නෑ අරක, මේක කරන්න කියලා.’

 

එතකොට අප්පච්චි?

‘මගේ අප්පච්චි අරුණ ජයසේකර අපට අහිමි වුණේ මට වයස අවුරුදු හතරේදී. ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවෙක් විදිහට විදේශගතව රැකියාව කළ ඔහු හදිසි අනතුරකින් ජීවිතයෙන් සමුගත්තා. එතකොට මල්ලිට මාස හයයි. ඊට පස්සෙ අම්මයි, ආත්තම්මයි තමයි අපේ මුළු ලෝකයම වුණේ.’

 

තවත් වසර කිහිපයක් ගතවෙද්දී ආත්තම්මගේ රැකවරණයත් ඔයාලට අහිමි වෙනවා.

‘ඔව්. අපේ සීයා දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඔහු මිය ගියාට පස්සෙ අම්මා තමයි ඒ ව්‍යාපාර බලා ගත්තේ. ආත්තම්මා පාසලේ වැඩනේ. ආත්තම්මත් නැති වුණාට පස්සෙ අම්මා අපි එක්ක තනියම ඒ නිවෙසේ ජීවත් වෙන්න කැමැති වුණේ නෑ. ඒ වෙද්දි අපි තුන්දෙනාම ශිෂ්‍යත්වය සමත් වෙලා කොළඹ පාසල්වලට තමයි ආවේ. අපිටත් පහසුවක් වුණු නිසාම ආත්තම්මාගේ වැඩිමහල් සොහොයුරිය පදිංචි පිළියන්දල ප්‍රදේශයේ පදිංචි වෙන්න අම්මා තීරණය කළා.

ඒ නිසා අර සුන්දර මතක පිරුණු උපන්ගම දාලා අපි පිළියන්දලට ආවා. එදා ඉඳන් අද දක්වාම අපේ පදිංචිය වුණේ පිළියන්දල’.

 

අම්මාව ආදර්ශයට අරන් තමයි ඔබේ ජීවිතය ගොඩ නඟාගෙන තියෙන්නෙ කිව්වොත් මම නිවැරැදිද?

‘හරියටම හරි. මම විතරක් නෙමෙයි අපි තුන්දෙනාම හැදුණේ අම්මා දිහා බලාගෙන. ඇයට අවුරුදු 26ක් වාගේ තරුණ කාලයේ දී තමයි සැමියා අහිමි වුණේ. අම්මා හරිම ලස්සන කාන්තාවක්. පුංචි අපිවත් බලාගෙන, ව්‍යාපාර කටයුතුත් කරගෙන පුදුමාකාර ධෛර්යයකින් ජීවිතය දිනපු දිරිය කාන්තාවක්. තව අදටත් මම හැමදේටම ඇයගේ උපදෙස් පතනවා. ඇය හැමදාම අපිට හරි පාර පෙන්නුවා. ජීවිතයේ මම යම් ජයග්‍රහණයක් ලැබුවා නම් ඒ පිටුපස සිටින දැවැන්තම සෙවණැල්ල තමයි මගේ අම්මා.’

පාසල් කටයුතුවලදී පවා ඔබේ කැමැත්තට ඉඩ දෙන්නයි ඇයට අවශ්‍ය වුණේ.

‘අනිවාර්යෙන්ම. ඇය අපිට කිසිම බලපෑමක් කළේ නෑ අරක කරන්න, මේක කරන්න කියලා. මම උසස් පෙළ කලා විෂයයන් තෝරා ගනිද්දි පාසලෙන් විරුද්ධතාවයක් ආවා විශිෂ්ට සාමාර්ථ 8කුත් තියාගෙන කලා කරන්න දෙන්න බෑ කියලා. ඒත් මට අවශ්‍ය වුණේ කලා අංශයෙන් ඉගෙන ගෙන නීතිය හදාරන්න. ඉතින් අම්ම පාසලට ඇවිත් කරුණුූ කියලා තමයි මාව කලා අංශයට ඇතුළු කළේ. මොකද ඇයට අවශ්‍ය වුණේ මම ආසා විෂයයකින් ඉදිරියට යනවා දකින්නයි.

හැබැයි ඔබට නීති පීඨයට යන්න බැරි වෙනවා.

‘සිංහල, දේශපාලන විද්‍යාව, තර්ක ශාස්ත්‍රය කියන විෂයයන් තුනටම ඒ සාමාර්ථ ගත්තත් ඉසෙඩ් පදනම මත මට නීති පීඨයට යන්න බැරි වුණා. ඒත් මම කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළු වෙලා ශාස්ත්‍රවේදී උපාධිය හදාරන ගමන් විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධියත් හැදෑරුවා. ඒ නිසා උපාධි දෙකක්ම එකම සැරේ හිමි කරගන්න මට හැකියාව ලැබුණා.

වර්තමානයේ රාජ්‍ය පරිපාලන අංශයේ ඔබ කටයුතු කළත් පළමු රැකියාව ලෙස තෝරාගත්තේ ගුරු වෘත්තිය.

‘විශ්වවිද්‍යාලයේ ප්‍රතිඵල එනකම් මගේ එකම විනෝදාංශය වුණේ රජයේ තරග විභාගවලට මුහුණදීම. එහිදී බස්නාහිර පළාත් උපාධි ගුරු විභාගයෙන් සමත්වුනු නිසා ගුරුවරියක ලෙසින් පළමු රැකියාව බාර ගත්තා. ආමර් වීදියේ ශාන්ත සෙබස්තියන් පාසල තමයි හිමි වුණේ. මේ වෙනකොට මම අලුත්කඩේ තියෙන නීති විද්‍යාලයේ අවසන් විභාගයට සූදානම් වෙනවා. ඉතින් උදය වරුවේ පාසලේ වැඩ කරලා එතැනින් නීති විද්‍යාලයට යනවා.

ඔය අතරතුරේ ශ්‍රී ලංකා පරිපාලන සේවා විභාගයටත් ඉදිරිපත් වුණා.

‘ඔව්නේ. පරිපාලන විභාගය සමත් වුණත් සම්මුඛ පරීක්ෂණය සඳහා විෂයයන් හයකට සූදානම් වෙන්න ඕනේ. නීති විද්‍යාලයේ විෂයයන් නවයයි. ඔය දෙකටම අමතරව පාසලේ වැඩවලටත් දවස ගානේ මහන්සි වෙන්න වුණා. ඉතින් අපේ අම්මා මට කාලසටහනක් හදලා කාලය කළමනාකරණය කරගන්න කියලා දුන්නා. ඒ නිසා කිසිම පීඩාවක් නැතිව විභාගවලට මුහුණ දුන්නා විතරක් නෙවෙයි. නීතිඥවරියක් විදිහට දිවුරම් දීලා දවස් කිහිපයකින් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ රාජකාරි ආරම්භ කරන්නත් හැකියාව ලැබුණා.’

ඊට පස්සේ තමයි ඔබේ පරිපාලන සේවා ගමන්මඟ ආරම්භ වෙන්නෙ.

2012 වසරේ ජනවාරි 02 වැනි දින පුහුණුවන නිලධාරිනියක් හැටියට ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වැඩ බාරගත් මම සැප්තැම්බර් මාසය වනවිට සංස්කෘතික සහකාර අධ්‍යක්ෂ විදිහට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට සම්බන්ධ වුණා. අනතුරුව සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් හැටියට කටයුතු කළා. පසුව සහකාර ලේකම්වරියක ලෙස අගමැති කාර්යාලයේ වසර හයකුත්, අපේ පරිපාලන සේවයේ මහගෙදර ලෙසින් සැලකෙන ඉඹ්ධ්ච්ඒ එකේ උපදේශකවරිය ලෙසත්, නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරියක ලෙසත් කටයුතු කිරීමෙන් අනතුරුව 2022 වසරේ අගෝස්තු මාසයේදී තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි විදිහට වැඩ පටන් ගත්තේ.

වෙන ආයතන වගේ නෙවෙයි ජාතික ලොතරැයි මණ්ඩලය කියන්නෙ රාජ්‍ය ව්‍යාපාර අයතනයක්. රාජ්‍ය සේවය ස්ථාවරව පවත්වාගෙන යන්න අධ්‍යාපනය, සෞඛ්‍ය, ක්‍රීඩා, රණවිරු සේවා, කෘෂිකර්මය නඟා සිටුවන්න මෙරට ශ්‍රම බළකාය නඟා සිටුවන්න මුදල් යොදවන්නෙ මෙතැනින්. ඒ නිසා මෙතැන කඩා වැටුණොත් අපේ රටේ බොහෝ කටයුතු අඩාළ වෙනවා.

ඒ නිසා මෙහි ඉදිරි දියුණුව පිළිබඳ බොහෝ බලාපොරොත්තු ඇති ඔබට.

‘වසර 60ක් වූ ලොතරැයි ඉතිහාසයේ වැඩිම දෛනික ආදායම සහ වැඩිම මාසික අලෙවි ආදායම වාර්තා කරන්න මේ වසරේදි අපට හැකියාව ලැබුණා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ වසර අවසානය වනවිට ලංකාවේ අංක එකේ ආයතන අතරට මේ ලොතරැයි මණ්ඩලයත් අරගෙන යන්නට.’

 

ඡායාරූප - රංජිත් අසංක