මෝඩයගේ දවසට මෝඩයෙක් වෙනව ද?

අප්‍රේල් 1, 2024

කාට කාටත් වැදගත් දවසක් තමයි අද උදාවෙලා තියෙන්නේ. එහෙම කියද්දි කට්ටියට ටිකක් තරහත් යයි. සමහරුන්ට නම් හිනා යයි. හැබැයි අද ගොඩක්ම වැදගත් දවසක් වෙන්නේ ලණු දෙන්න බලාගෙනම ඉන්න අයටයි. අද අප්‍රේල් පළමුවැනිදා. එහෙම කියද්දි කාටත් මතක් වෙන්නේ මෝඩයගේ දවස. ඔව් අද තමා ඒ දවස. හැමදාම කාගෙන් හරි ඇන්දෙන අපි, මෝඩයගේ දවසටත් ලජ්ජාවක් නැතුවම ඇන්දෙනවා. ඒ තරමටම දූපත්වාසී අපි හරි අහිංසක මෝඩයෝ පිරිසක්.

මෝඩයගේ දවසේ කාටවත් අහුවෙන්නේ නැහැ කියලා කලින් දවසේ රෑම යටි හිතට ඔබලම දාගත්තට.. ඒක අමතක වෙන්න යන්නේ හරිම පුංචි වෙලාවක්.

අප්‍රේල් පළමුවැනිදා ලෝකෙ පුරාම ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ April Fool’s Day එහෙමත් නැත්නම් මෝඩයින්ගේ දිනය කියලා. කවුරු කවුරුත් කිවුවට හේතුව නම් කවුරුත් දන්නවා ඇති කියලා හිතන්න බැහැ. මොකද අපේ අයට දෙයක් සමරන්න හේතු අදාළම නැහැ. හේතුව මොකක් වුණත් දවසේ ආතල් එකයි වැදගත්. හැබැයි මේ දවස ගැන ලොකු අතීත කතාවක් තියෙනවා. මෝඩයෙක් වුණත් ඒවගේ කතාවක් දෙකක් අහලා මතකයට දාලා තියාගන්න එක වටිනවනේ.

 

මෝඩයගේ දවස හැදුණේ මෝඩයන්ට ද?

 

එහි ආරම්භය 1582 වසරේදි ප්‍රංශයෙන් ඇරඹුණු බව ගොඩදෙනෙක් විශ්වාස කරන්නේ. ප්‍රංශයේ රජ කළ 09 වැනි චාල්ස් රජුගේ පාලන සමයේ, 08 වැනි ජෝර්ජ් පාප් වහන්සේ විසින් එතෙක් තිබු ජුලියන් කැලැන්ඩරය වෙනුවට ජෝර්ජියන් කැලැන්ඩරය හඳුන්වා දීමත් සමඟ 09 වැනි චාල්ස් රජු ද ප්‍රංශ ජනතාවට එය භාවිත කිරීමට නියම කරලා තියෙනවා.

එතෙක් භාවිත කරනු ලැබු ජුලියන් කැලැන්ඩරයේ අලුත් අවුරුද්ද මාර්තු 25 සිට අප්‍රේල් 01 වැනිදා දක්වා සැමරීම සිදු කළත් අලුතින් හඳුන්වා දුන් ජොර්ජියන් කැලැන්ඩරයේ අලුත් අවුරුද්ද ආරම්භ වන්නේ ජනවාරි 01 වැනිදායින්.

එකල සන්නිවේදනය මෙතරම් දියුණු නොවීම හින්දම කටින් කට ගිය මේ අලුත් කැලැන්ඩරයේ දින වෙනස ප්‍රංශයේ සමහර නගරවල ක්‍රියාත්මක වුණේ නෑ.

ඔවුන් වෙනදා වගේම මාර්තු 25 සිට සමරමින් අප්‍රේල් 01 අලුත් අවුරුදු දිනය ලෙස සලකා කටයුතු කළා. මෙසේ කටයුතු කළ පුද්ගලයන් “මෝඩයන් “ ලෙස හඳුන්වන්නට වු අතර අප්‍රේල් 01 “මෝඩයින්ගේ දිනය“ ලෙස හඳුන්වලා තියෙනවා.

මෙන්න මේ කතාව තමා අද බොහෝම දෙනා අප්‍රේල් 01 “මෝඩයන්ගේ දිනය“ ආරම්භය විදිහට සලකන්නේ.

කාලයත් සමඟම එය බ්‍රිතාන්‍ය හා ස්කොට්ලන්තය රටවලටත් 18 සියවසේදී අමෙරිකානු කොලනි සඳහා ප්‍රංශ හා බ්‍රිතාන්‍ය පුද්ගලයන් හඳුන්වා දුන් අතරම කාලයත් සමඟ දැන් ලොව පුරා මේ දිනය සමරනු ලබනවා. සමහර රටවල එය නිවාඩු දිනයක් ද වෙනවා.

බොහෝ රටවල එදිනට බොරු රඟපෑම්කර මිනිසුන් මුලා කිරීම්කර නොමඟ යවමින් සතුටක් ලබනවා.

එකල වැඩි වශයෙන්ම බොරු ආරාධනා පත්‍ර යැවීම තමයි සිදුවෙලා තියෙන්නේ.

ගොඩක් අය මේ දවසෙ කාව හරි මෝඩයට අන්දවලා සතුටු වෙන්න උත්සාහ කරලා තියෙනවා. එදා එහෙම පවත්වාගෙන ආපු සම්ප්‍රදාය නිසා තමයි හැම අවුරුද්දකම අප්‍රේල් පළමුවෙනිදාට කාව හරි අන්දවන්න බලන් ඉන්නේ. හැබැයි සමහරුන්ට මෙය සතුටක් වුණාට තවත් කෙනෙක්ට ඇස් රතු වෙන දෙයක් වෙන්නත් පුළුවන්.

 

මෝඩයගේ දවසේ ඒ කාලේ ලණු දීපු ප්‍රසිද්ධ බොරුකාරයෝ

 

ලෝක ප්‍රකට BBC ආයතනය කියන්නේ අප්‍රේල් මෝඩයගෙ දවසට මතක හිටින බේගල් කීපයක්ම පතුරුවාපු ආයතනයක්. මේ අය 1976 අවුරුද්දෙදි කරපු බොරුවක් නිසා බ්‍රිතාන්‍ය ජාතිකයෝ සෑහෙන ප්‍රමාණයක් මෝඩයට ඇන්දෙනවා. ඒ අවුරුද්දෙ අප්‍රේල් 1 වැනිදා තමන්ගෙ රේඩියෝ වැඩසටහනකින් ජනතාව අමතන ඔවුන් කියන්නෙ අප්‍රේල් 1 වැනිදා හරියටම උදේ 9.47ට සිදුවන සුවිශේෂී ග්‍රහ පිහිටීමක් නිසා පෘථිවියේ ගුරුත්වාකර්ෂණය පහත වැටෙනවා කියලයි. ඒ වෙලාවට උඩ පැනනොත් ආයෙත් බිමට වැටෙන්න වෙනදට වඩා වෙලාවක් ගතවෙනව කියලත් ඒ අය කියනව. මේ බොරුව විශ්වාස කරපු එංගලන්ත ජාතිකයො බොහොමයක් දෙනා එදා ඒ වෙලාවෙදි උඩ පැන පැන ඉඳල තියෙනවා. රසවත්ම කතන්දරේ ඒක නෙමෙයි, මෙහෙම උඩ පැනපු ගොඩක් අය තමන්ව ගොඩක් වෙලා උඩ රැඳුනය, පාවි පාවී හිටියය වගේ දේවල් කියල BBC ආයතනයට දුරකථනයෙන් දන්වලත් තියෙන එකයි.

1950 ගණන්වලත් අප්‍රේල් පළමුවැනිදා ඒ වාගේ BBC ආයතනය තවත් බොරුවක් ගොතනවා. මේ අය අප්‍රේල් 1 වැනිදාවක එක සුවිශේෂී වාර්තා වැඩසටහනක් විකාශය කරනවා. ඒ වැඩසටහනේදි පෙන්වන්නේ ගස්වලින් නූඩ්ල්ස්, ස්පැගටි කඩලා ගෙනිහින් අව්වේ වේළන ස්විස් ජාතික ගොවි පිරිසක්ව. මේ රූප රාමු පෙන්වන ගමන්ම මේ වතාවේ ඒ අයගේ ස්පැගටි ඵලදාව හරි ඉහළයි කියලත් BBCය ප්‍රකාශ කරනවා. මේ වැඩසටහන් නිසා රැවටුණු ප්‍රේක්ෂකයන් බහුතරයක් මේ සිදුවීමේ ඇත්ත නැත්ත ගැන විමසන්න BBC ආයතනය අමතලත් තියෙනවා.

එජ්කුම්බෙ කියන්නෙ ඇලස්කාවේ අක්‍රියව පැවතුණු ගිනි කන්දක්. 1974 අවුරුද්දෙ අප්‍රේල් පළමුවැනිදා මේ කන්ද දිහාවට ඇස් යොමන ඒ අසල ජනතාවට භයංකර දසුනක් දකින්න ලැබෙනවා. ඒ තමයි කන්ද මුදුනෙන් ඉහළට දුමක් ඇදී යාම. දුම දැකීමත් එක්ක අහල පහල හැමෝම හොඳටම බයට පත් වෙනවා. ගිනි කන්ද පුපුරලා ගිහින් මහා විනාශයක් වේවිය කියල බය වෙන මේ කට්ටිය කරන්නෙ මේ ගැන අදාළ බලධාරීන් දැනුම්වත් කරන එක. හෙලිකොප්ටරයක් මඟින් ගිනි කන්ද මුදුන නිරීක්ෂණය කරන්න යන නිලධාරීන් පිරිස දකින්නෙ හිතන්නෙවත් නැති දර්ශනයක්. ගිනි කන්ද මුදුනේ හදපු ටයර් සෑයකින් තමයි මේ දුම ඉහළට නඟින්නෙ. ඒ විතරක් නෙමෙයි, ලොකු අකුරින් April Fool කියලත් මේ කන්ද මුදුනේ සටහන් කරලා තියෙනවා ඒ අය දකිනවා.

මේ ප්‍රසිද්ධ බොරු කිහිපයක් විතරයි. ඒ කාලේ මෙහෙම මිනිස්සුන්ව ඇන්දුව නම් දැන් කාලේ කොහොම වෙයි ද?

 

අන්දන කෙනා පොරක් ද?

 

හරි, දැන් මෙතැන ඉන්නවද ජීවිතේට බොරුවක් කියලා නැති අය? නැහැනේ. ඒක ඇත්ත, අපි හැමෝම ජීවිතේට කීප පාරක් හරි බොරුවක් කියලා තියෙනවා. හරි, ඒක ප්‍රශ්නයක් නෑ. සාමාන්‍යයෙන් මිනිස්සු බොහෝමයක් එදිනෙදා ජීවිතේදී දිනපතාම පුරුද්දට බොරු කියන්නෙ නෑ. මොකක් හරි තැනකදී බොරුවක් කියවෙන්න පුළුවන්. ගොඩක් දෙනෙක් බොරුවෙන්ම ජීවත් වෙන්නෙ නෑ. හැබැයි සමහරක් පුරුද්දට බොරු කියන, ජීවිකාවට බොරු කියන, ආතල් එකට බොරු කියන, පොර වෙන්න බොරු කියන උන්දැලත් අපි අතරේ ඕනෙ තරම් ඉන්නවා. හරි, ඒකත් අපිට ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි අප්‍රේල් පළමුවැනිදා නම් බොරුවක් කියන්නේ කැපිලා පේන්න, අහිංසක සතුටක් ලබන්න, එහෙමත් නැත්තම් පොරක් වෙන්න කියලත් කියන්න පුළුවන්. ඒත් ඉතින් හැම බොරුවම විහිළුවලින් අවසන් වෙන්නේ නැහැ. සමහර බොරු ඉවර වෙන්නේ ගහ මරාගෙන. ඒ නිසා අප්‍රේල් පලවෙනිදා කවුරු හරි දෙයක් කිවුවොත් එක පාරක් නෙවෙයි දහ පාරක්වත් හිතන්නම වෙනවා.

 

වෘත්තීමය බොරුකාරයෝ

 

දැන් ඕනෙම තැනක බොරු කියන ඩයල් ඉන්නවනේ. ඒ තත්ත්වය ඔෆිස් එකකදී වුණත් එහෙමම තමයි. එහෙම බොරු කියන ඩයල් අප්‍රේල් පළමුවෙනිදා කොහොමත් මිස් කරගන්නේ නැහැ. ඒ නිසා ඒවගේ අය දෙයක් කියද්දි ටිකක් වැඩිපුර හිතුවට පාඩු නැහැ. මොකද ඔෆිස් එකට සම්බන්ධ, ඔෆිස් වැඩවලට අදාළ දේවල්වලදී බොරු කියන එක නම් ටිකක් කේස්. ඒ වගේ දේවල් නිසා සමහර වෙලාවට ඔෆිස් එකක වැඩ කටයුතු, ඔෆිස් එකෙන් කරන ප්‍රොජෙක්ට් වගේ දේවල් සම්පූර්ණයෙන්ම අවුල් වෙන්න පුළුවන්.

 

පපුවෙ අමාරුව හැදෙන බොරු

 

අද වගේ දවසක එන කෝල් ගැන ටිකක් කල්පනාවෙන් ඉන්න. ළඟම ඉන්න හිතවතෙක්, හිතවතියක් මැරිලා කියලා වුණත් කෝල් එන්න පුළුවන්. මේ වගේ කෝල් නිසා හාට් පේෂන්ට් කෙනෙක් නම් ඉතින් මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ. සමහර විට තරගයකින් දිනලා වාහනයක් ඇදිලා, මිලියනයක් ඇදිලා, ඉඩමක් හිමිවෙලා වගේ එක එක බොරු කියාගෙනත් කෝල් එන්න පුළුවන්. අද එන කෝල් එක මොකක් වුණත් අද මෝඩයාගේ දවස කියලා හිතේ තියාගෙනම කෝල් එක අාන්ස්වර් කරන්න.

 

බොරු කියන්නේ බලාගෙනයි

 

බොරු කියන්න ලේසියි. බොරු විශ්වාස කරන්නත් ලේසියි. හැබැයි කරපු බොරුවකින් කෙනෙක්ගේ හිත ඇත්තටම රිදුණොත් ඒක විහිළුවක් කියලා නම් හිතන්න එපා. සමහරවිට ඒ වැඩෙන් ආයේ ජීවිත කාලෙටම ඔයාගෙ මූණ බලන එකක් නැහැ. සමහර බොරු නීති ප්‍රශ්න දක්වා දුරදිග යන්නත් පුළුවන්. බොරුවක් නිසා නිකම් ප්‍රශ්න දාගන්න ඕනේ නැහැ කියලා හිතනව නම් එදාට අනවශ්‍ය බොරු කියන එක ලණු දෙන එක අතහැරලම දාන්න. මොකද අවුරුද්දට එන එක දවසක් නිසා මුළු අවුරුද්දෙම තිබ්බ හොඳ ටිකත් නැතිවෙලා යන්න පුළුවන්. කිරි කළේට ගොම බිංදුවක් වැටුණා වගේ තමයි.

ඉතින් මේ කියපු හැම දේ ගැනම හිතලා අද දවසේ බොරුවක් කරන්න ඉන්න අය වගේම බොරු අහන්න ඉන්න අයත් හරි පරෙස්සමට අද දවස ඉවර කරන්න.