මැරුණු මිනිස්සුන්ගේ ඇතුළට බහින අමරණීය අමරක්කා

මගේ අත් දෙකෙන් මිනී සීයක් කපලා තියෙනවා
අප්‍රේල් 1, 2024

 

මළ සිරුරක් එම්බාම් කිරීමත් පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා කැපීමත් අතර ලොකු වෙනසක් තියෙනවා. එම්බාම් කිරීමේ අරමුණ මළ සිරුර නරක් නොවී දින කිහිපයක් කල්තබා ගැනීමයි. එහිදී එම්බාම්කරුට පැවරෙන තවත් වගකීමක් වන්නේ මියගිය පුද්ගලයාගේ සිරුර හැකි තරම් ජීවමාන ස්වරූපයට සකස් කිරීමයි. පශ්චාත් මරණ පරීක්ෂණයේදී කපපු සිරුර නැවත මසා සකස් කිරීමත් පැවරෙන්නේ එම්බාම්කරුටයි. නමුත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී මුලු සිරුරම කපන්න, කපා අවයව පිටතට ගැනීමට සිදු වෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී සෑම ශරීර කොටසක් පිළිබඳම දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. මරණයට හේතුව හෘදයාබාධයක් ද හිසට එල්ල වූ තදබල පහරක් ද විසක් ශරීරගත වීමක්ද නැතහොත් අභ්‍යන්තර රුධිර වහනයක් ද ආදී කාරණා අධිකරණ වෛද්‍යවරයා තහවුරු කරගනු ලබන්නේ ශරීර කොටස් පරීක්ෂා කිරීමෙනි. ඒ සඳහා සෑම ශරීර කොටසක්ම ඉතා සූක්ෂ්මව විච්ඡේදනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. මොකද විච්ඡේදනයක් හරියට නොකළොත් මිනීමැරුමක් නම් ඒ කරපු කෙනාව සොයා ගන්න පවා අපහසු වෙන්න පුළුවන්.

විච්ජේදනය කරපු මළ සිරුරක් මැසීමේ හැකියාවත් අමරාට තියෙනවා ද?

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කොටස්වලට වෙන්කරන මළ සිරුර මියගිය පුද්ගලයාගේ ඥාතීන්ගේ කැමැත්ත අනුව මල් ශාලාවකට භාර දීමෙන් පසු සිරුර යළි යථා තත්ත්වයට පත් කරනු ලබන්නේ එම්බාම්කරු විසිනි. ඒ සිංහල හා දෙමළ ජාතීන්ගේ මළ සිරුරු සම්බන්ධයෙනි. ඉස්ලාම් භක්තිකයකු මියගිය පසු සිරුර එම්බාම් නොකර ඥාතීන්ට භාර දෙන්නේ මුස්ලිම් සංස්කෘතියට අනුව මියගොස් පැය 24ක් ගතවීමට පෙර මළ සිරුර භූමදානය කරන බැවිනි. එම අවස්ථාවලදී මළ සිරුර විච්ඡේදනය කිරීමට පෙර තිබූ තත්ත්වයට පත් කරනු ලබන්නේ කපා දැමූ කොටස් යළි මැසීම මඟිනි. ඒ වගේ අවස්ථාව සිරුර මැසීමටත් සිදු වෙනවා. ඒ නිසා මට මළ සිරුරු මැසීමේ හැකියාවත් තිබෙනවා.

මේ වෙනකොට මළ සිරුරු කීයක් විතර විච්ඡේදනය කරලා තියනව ද?

මෝචරියේ ගත වෙච්ච වසර තුන තුළදී මළ සිරුරු 100ක් පමණ විච්ඡේදනය කරලා තියෙනවා. වයස් භේදයක් නැහැ වයසක අයගේ සිට පොඩි දරුවන්ගේ පවා සිරුරු කපන්න වෙලා තියෙනවා.

මේ වසර ගණනාවට එක එක විදිහේ මරණ පරීක්ෂණවලට සහභාගි වෙලා ඇති. හිතේ වෙනසක් දැනුණ අවස්ථාවන්ට මුහුණ පාලා නැද්ද?

එක දවසක් දවස් 5ක් පරණ මළ සිරුරක් ගෙනත් තිබුණා. සියදිවි හානිකරගෙන එල්ලිලා ඉද්දියි ඒ සිරුර හොයාගෙන තිබිලා තියෙන්නේ. මුළු ශරීරයේම පණුවෝ වහලා හිටියා. මෙහෙට ගෙනල්ලා තමයි මරණ පරීක්ෂණය කළේ. හැබැයි ඒ ශරීරය දකිද්දි හිතට අප්පිරියාවක් වගේ හැඟීමක් ඇති වුණා. ඒක මම තත්පරයෙන් අමතක කරලා වැඩේ කරන්න ගත්තා. පණුවෝ හිටියට ශරීරය හොඳ තත්ත්වයේ තිබුණු නිසා පශ්චාත් මරණ පරීක්ෂණයේදී ගැටලුවක් වුණේ නැහැ.

මේ විදිහට කතා බහ කරමින් ඉන්න විට රෝහල් සේවකයෙක් ඇය දෙස බලා... "අමරා අක්කා කියන්නේ පුදුම ගැහැනියක් මිස්." එහෙම දෙයක් අහන්න තරම් ඇය කොතරම් වාසනාවන්ත විය යුතු ද? ඇයව දකින රෝහල් සේවකයින් ඇය දෙස බලන්නේ ඒ තරම් පුදුම ගෞරවයකිනි.

රටේ මෙච්චර රැකියා තියෙද්දී ඇයි මේ වගේ රැකියාවක් තෝරා ගත්තේ?

තෝරා ගැනීමක් නෙවෙයි තිබුණේ. මට අවශ්‍ය වුණේ ඇති වෙච්ච ආසාවත් එක්ක අත්දැකීමක් ගන්න. අන්තිමට ඒ අත්දැකීම ජීවිතයට එකතු කරගෙන ඒ අත්දැකීම රැකියාව බවට පත් වුණා. අනිත්එක මං ඕනෙම අභියෝගයක් බාරගන්න කැමැති කෙනෙක්?

අමරා අක්කා මේ වැඩේ කරනවට ගෙදර අය කැමති වුණා ද?

මම සිරුර විච්ඡේදනය කරන්න කැමැති කියලා ගෙදර ඇවිත් මගේ සැමියට කිවුවම එයා කිවුවේ ඔයාට හිතේ විශ්වාසයක් තියෙනවනම් ඔයා ඒක කරන්න කියලා. ඉතින් මම ලොකු විශ්වාසයකින් තමයි මේ වැඩේ කරන්න පටන් ගත්තේ. මගේ සැමියා සමීර සංජීව දයානන්ද. ඔහු සූපවේදියෙක්. මට දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. දුවට අවුරුදු 14යි. පුතාට අවුරුදු 12යි. එයාලගේ පාසල්වල ගුරුවරුත් මං ගැන ගොඩක් ආඩම්බරයෙන් කතා කරනවා. කවුරුත් මම කරන වෘත්තිය ගැන දොසක් කියලා නැහැ. ඒත් සමහර අය මේ ගැන අහද්දී ටිකක් බය වෙනවා.

ඇත්තටම අමරා අක්කට බයක් ඇත්තෙම නැද්ද?

බය කියන දේ අපි හැමෝ ළඟම තියෙනවා. හැබැයි ඒ බය දේට අපි කීප අවස්ථාවක් මුහුණ දුන්නට පස්සේ ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. මටත් මුලින් බය හිතුණා. හැබැයි දැන් බය නැහැ. මොකද මම දන්නවා බය කියන දේත් බයකර ගන්න. පාසල් කාලේ ඉඳලම මම එහෙමයි.

ඒ කියන්නේ ඒ කාලෙත් අමරක්කා අභියෝග හරි සතුටින් බාර ගන්න ඇති.

දැන් මගේ වයස අවුරුදු 42ක් වෙනවා. මහියංගණය තමයි මගේ උපන් ගම. දැන්නම් ඉන්නේ කළුගමුව. මගේ පවුලේ සහෝදරයන් පහයි එක් සහෝදරියයි. මම ඉගෙන ගත්තේ බතලයාය මධ්‍ය මහා විදුහලෙන්. උසස් පෙළ විභාගයට කලා විෂය ධාරාවෙන් පෙනී සිටියේ. පාසල් කාලේ වැඩියෙන්ම උනන්දු වු‍ෙණ් බාහිර ක්‍රියාකාරකම්වලට. එල්ලේ හා වොලිබෝල් ක්‍රීඩාවෙන් පළාත් හා දිස්ත්‍රික් තරග නියෝජනය කළා. ඒ විතරක් නෙවෙයි ශිෂ්‍ය නායිකාවක් වෙලා හිටියා. කවපෙත්ත හා වොලිබෝල් ක්‍රීඩාවලින් ද මම ජයග්‍රහණ ගොඩක් ලබා ගත්තා. ඒ හැමදේම කළේ සෑහෙන අභියෝග ගොඩක් මැද්දේ. ඒ කාලේ මම මවුපියන් හා සහෝදරයන් සමඟ ගොවිතැන් කරමින් මහ පොළොව හා ඔට්ටු වුණා. ඒ හැමදේම එක්ක මම ඕනෙවටත් වඩා ශක්තියෙන්, වීර්යයෙන් සහ කැපවීමෙන් ඉස්සරහටම ගියා.

 

අමරක්කා මේ ලබාගත් අත්දැකීම් ඇසුරින් අපේ කාන්තාවන්ට දෙන්න තියෙන පණිවිඩය මොකක් ද?

ජීවිතය කියන්නේ ගලන ගඟක් වගේ. ඒ ගඟ ගලන්නේ කොයි පැත්තට ද කියලා අපිට කලින් කියන්න බැහැ. ගඟ කොයි පැත්තට ගැලුවත් ඒ ගඟට එක විදිහට ගලන්න බැහැ. බාධක හමුවෙනවා. ඒ වගේ තමයි ජීවිතෙත්. ජීවිත ගමන කොයි පැත්තට හැරුණත් අපිට එන අභියෝග සතුටින් හරි අකමැත්තෙන් හරි බාරගන්න වෙනවා. බාර ගත්තොත් තමයි ඊළඟට මොකක්ද වෙන්නේ කියලා අදහසක් හරි ගන්න පුළුවන් වෙන්නේ. නැතුව ආපු අභියෝගය දිහා බලාගෙන හූල්ල හූල්ල ඉන්න ගියොත් හැමදාම එතැනමයි. ඒ නිසා හැම දේටම පළමු පියවර තබන්න.

අමරා අක්කා සැබැවින්ම දිරිය ගැහැනියකි. එවන් ගැහැනු රටට දැයට විතරක් නෙවෙයි ලෝකයටම ආඩම්බරයකි. දැන් අපි මේ ගමනේ අවසානයට පැමිණ ඇත. මේ සොබාදහම ඉඟි කරන්නේ දැන් ඇයට සමු දෙන්නට කාලය පැමිණ ඇති බවය. අඳුර වැටෙන්නට පෙර අප නැවත කොළඹ බලා යා යුතුය. පේරාදෙණිය මෘත ශරීරාගාරයෙන් අප එළියට බැස්සේ පැටලිලි සහගත සිතුවිලි සමුදායක් සමඟිනි. මොකද කවදා හෝ දිනෙක සෑබෑවටම අපටත් මෙවන් මෘත ශරීරාගාරයකට පැමිණෙන්නට සිදු වේවි. ඒ මේ විදිහට නෙවෙයි.. දිවිය තොර හිස් ශරීරයක් සමඟිනි. සුසුමක් සමඟින් ඒ සිතිවිලි මා හිස් අවකාශයට මුදා හළෙමි.

 

 

ඡායාරූප - රුවන් මීගම්මන