අවුරුදු කුමාරි වගේ ඉන්න ප්‍රින්සස් ලයින් ගවුමක්

අප්‍රේල් 3, 2023

 

පරණ දේට යන්න කියලා අලුත් දේ ආදරයෙන් වැලඳ ගන්නා බක්මහ සමය උදා වෙලා. නැවුම් මුට්ටියක කිරි උතුරලා අලුත් ඇඳුම් ඇඳ අලුත් වුණු සූර්යය රාජයා පිළිඅරගෙන දහසක් අලුත් බලාපොරොත්තු සමඟින් කාගේත් ජීවිතය අලුත් වෙනවා.

ඉතිං නිවෙසත් අලුත් මුහුණුවරක් ගනිද්දී ඇඳුමෙන් පැලඳුමෙන් ද වෙනස් වෙන්නත් අපේ අය අමතක කරන්නේ නැහැ. එහෙත් මේ දවස්වල නම් අලුතින් ඇඳුමක් මිලදී ගන්නවා කියන්නේ ගෙදර ආර්ථිකයට ලොකුවට දැනෙන දෙයක්. එහෙම කියලත් සිංහල අලුත් අවුරුද්දට අලුත් ඇඳුමක් නොඇඳ කොහොමද. ඒ නිසා මේ අලුත් අවුරුද්දේ මේ විදිහට අපි අලුත් ගවුමක් මහන්න පුංචි උත්සාහයක් දරමු. අලුත් අවුරුදේ කාර්යාලයට යන යුවතියකටත් මේ ප්‍රින්සස් ලයින් ගවුම කදිමයි. ඔබේම අතින් මසා ගතහොත් ඒ සඳහා වැය වන මුදල තරමක් අඩු කරගත හැකිය.

 

උරහිස, පපු වට, ඉණ දක්වා උස, ඉණ වට, ඩාර්ට් පරතරය, අත දිග, අතවට, සායේ උස, පොයින්ට් උසට අඟල් භාගයක් එකතු කරන්න.

 

උරහිස දෙකට බෙදා අඟල් භාගයක් එකතු කරන්න. පපුවට හතරට බෙදා අඟල් 1 1/2ක් එකතු කරන්න. ඉණ දක්වා උසට අඟල් 1ක් එකතු කරන්න. ඉණවට හතරට බෙදා අඟල් 2ක් එකතු කරන්න. ඩාර්ට් පරතරය දෙකට බෙදා අඟල් 1/2ක් එකතු කරන්න. අත දිගට අඟල් 1/2ක් එකතු කරන්න. අත වට දෙකට බෙදා අඟල් 1/2ක් එකතු කරන්න. සායේ උසට අඟලක් එකතු කරන්න. පොයින්ට් උසට අඟල් 1/2ක් එකතු කරන්න.

 

මෙම ගවුම සඳහා 45 හෝ 60 පළලින් රෙදි යාර 2 1/2ක් ප්‍රමාණවත් වේ. ඔබ ගන්නා උස අනුව රෙදි ප්‍රමාණයන් වෙනස් වේ.

මෙහි ඉහළ කොටස, කඳ කොටස සහ ඉදිරිපස කොටස ප්‍රින්සස් ලයින් බැවින් පතරොමක් භාවිත කිරීම මඟින් අපතේ යන රෙදි ප්‍රමාණය අඩුකර ගැනීමට හැකිය.

ප්‍රථමයෙන් කඩදාසියක් මත පළමු රූප සටහන සහ දෙවැනි රූප සටහන පිටපත් කරගන්න.

කඩදාසිය දෙකට නමා එහි නැම්ම මුඳුනේ සිට A - B දක්වා උරහිස දෙකට බෙදා අඟල් 1/2ක් ලකුණු කර එතැන් සිට පහළට අඟල් 1 1/2ක් පහත්කර උරහිස ඇඳ ගන්න.

A සිට පහළට අඟල් 1 1/2 පහත්කර D දක්වා රේඛාවක් ඇඳ එහි පපු වට හතරට බෙදා අඟල් 1 1/2ක් ලකුණුකර රූප සටහනේ පෙනෙන ලෙස අත්කට හැඩය හා කර හැඩය ඇඳ ගන්න.

කර පළලේ සිට පහළට E දක්වා පොයින්ට් උස අඟල් 1/2ක් එකතුකර ලකුණු කරන්න. කර පළලේ සිටම ඉණ දක්වා උස ගෙන ඉණ රේඛාව ඇඳ ඉණ හතරට බෙදා අඟල් 2 ලකුණුකර අංශය ඇඳගන්න.

ඩාර්ට් පරතරය දෙකට බෙදා අඟල් 1/2 ඉණ රේඛාවේ ඇඳ රූප සටහනේ පෙනෙන ලෙස ප්‍රින්සස් ලයින් හැඩය ඇඳගන්න.

එම පළමු රූපයේ මිමි අනුගමනය කරමින් 2 රූප සටහන ඇඳ එහි අංශය සඳහා ප්‍රින්සස් ලයින් හැඩය ඇඳ 1 රූප සටහනේ ඉදිරි මැද කොටසින් 2 රූප සටහනේ අංශ කොටස් දෙකක් කපා මෙම කොටස් රෙද්ද මත තබා ගන්න.

පසුපස සැකසීමේදී පළමු රූපසටහනේ ප්‍රින්සස් ලයින් හැඩය කපා වෙන් කිරීමට ප්‍රථම 3 රූප සටහනේ පෙනෙන ලෙස පසුපස ඇඳ කපාගන්න.

ඇඳුමේ ඉණවට මැන ඉණ හතරට බෙදා අඟල් 1ක් සාය සඳහා ගන්නා රෙද්දේ ලකුණුකර 4 රූප සටහනේ පෙනෙන ලෙස සාය ද, 5 රූප සටහනේ පෙනෙන ලෙස අත ද කපා ගන්න.

 

ප්‍රථමයෙන් ඉදිරි මැද කොටසේ දෙපසට ප්‍රින්සස් ලයින් කොටස් 2ක් අල්ලා ගන්න. පසුපසට ෂිපරයක් තබා මසා ඉදිරිපස සහ පසු කරට පේශීන් තබා මසා උරහිස මූට්ටුකර අංශ මසාගන්න. ඉන්පසු කපාගත් ෆ්ලෙයාර්ඩ් සාය එම ඉණට අල්ලාගත් පසු අත්දෙක තබා මසාගන්න. රූපසටහන් සහ ඡායාරූප දෙස හොඳින් බැලීමෙන් මෙය මසා ගැනීමට පහසුවක් වේවී.

 

 

උපදෙස් -

ප්‍රවීණ මැහුම් හා රූපලාවණ්‍ය උපදේශිකා

කාන්ති බණ්ඩාරනායක

 

ඡායාරූප - ශාන් රූපස්සර