සැලෝන් එකට වැඩි පිරිසක් ගෙන්වාගන්න යස රහස්

අප්‍රේල් 15, 2024

 

හැඩවැඩ කලාව කෙරෙහි නිපුණයකු වන්නට සිතන ඔබට රූපලාවණ්‍ය පිළිබඳ NVQ 4 පාඨමාලාව ගෙන එන අපූර්වතම අත්දැකීම් සමුදායකි. මෙම පාඨමාලාව හදාරන ඔබට සතිපතා තරුණි වෙතින් ගෙන එන මෙම පාඩම් මාලාව වෙසෙසින්ම විපුල පල ගෙනදෙනු ඇත.

රූපලාවණ්‍ය ශිල්පියකු වීම ආවාට ගියාට කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා ප්‍රගු ණ කළ යුතු ගු ණාංග කිහිපයක්ම වේ. අපි අද ඒ පිළිබඳව කතාබහ කරමු.

මනා පෞරුෂයකින් යුක්ත වීම

 

මෙහිදී රූපලාවණ්‍ය ශිල්පියකුගේ පෞරුෂත්වය ලෙස හඳුන්වන්නේ අනුන් තමන්ව දකින ආකාරයයි. එහිදී ශාරීරික හා මානසික පැවැත්ම උසස් තත්ත්වයකට දියුණු කරගෙන තමන්ගේ ආත්ම ශක්තිය සහ ආත්ම විශ්වාසය තහවුරු කර ගැනීම පෞරුෂත්වය වර්ධනයට අත්‍යවශ්‍ය සාධකයකි.

 

සිත් ඇදගන්නා සුලු කතාබහ

තමා වෙත පැමිණෙන සේවා දායකයා හට ප්‍රියමනාප සිනහවකින් සංග්‍රහ කිරීම, සුහදව කතා කිරීම හා ප්‍රශ්න, ගැටලු පිළිබඳ විමසීම හා ඒ සඳහා විසඳුම් සොයා දීම, ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පැහැදිලිකර දීම හා ඔවුන්ගේ අවශ්‍යතාව නිසි පරිදි හඳුනාගෙන සිත සතුටුවන පරිදි සේවාවක් ලබාදීම වැදගත් වේ. සේවාදායකයා සමඟ අනවශ්‍ය දේ කතා කිරීම ද ඔහු ට තරහා යන ආකාරයේ ප්‍රශ්න ඇසීම ආදියෙන් ද වැළකීමට ක්‍රියා කළ යුතුවේ.

 

පිරිසුදුකම

මෙහිදී රූපලාවණ්‍ය ශිල්පියාගේ බාහිර පෙනුම මෙන්ම පිරිසුදුකම ද ඉතා වැදගත් වේ. ඒ සඳහා දිනපතා ස්නානය කිරීම, මුඛ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වීම, සෑම ආහාර වේලකට පසුවම දෑත් හොඳින් පිරිසුදුකර ගැනීම, එනම් ඉඳුල් ගඳ ගැසීම ආදිය කොහෙත්ම සුදුසු නොවේ. ශරීරයෙන් නිකුත්වන දහඩිය දුගඳ පාලනයකර ගැනීම, පිරිසුදු ඇඳුම් ඇඳීම,සම පිරිසුදුව තබා ගැනීම, විශේෂයෙන් නිය පිළිබඳ සැලකිලිමත් විය යුතුය. සතියකට වරක්වත් නිය කැපීම හා දිනපතා නිය පිරිසුදු කිරීම ද රූපලාවණ්‍ය කටයුතුවල නිරත වීමේදී සේවාදායකයාගේ ආරක්ෂාව සඳහා ද මෙය වැදගත් වේවි.

 

ගැළපෙන ඇඳුම් පැලඳුම් අත් බෑග්, ආභරණ භාවිතය

මෙහිදී විශේෂයෙන් වයසට, ශරීරයට හා වෘත්තියට සුදුසු ඇඳුම් පැලඳුම් තෝරා ගැනීම වැදගත් වේ. එහිදී තමා නිරතවන කටයුතුවලදී පහසුවෙන් අත් පා හැසිරවීමට හැකි ඇඳුම් පැලඳුම් තෝරාගත යුතුය. නව විලාසිතා සහිත ඇඳුම් පැලඳුම් රූපලාවණ්‍ය ශිල්පිනියකට අත්‍යවශ්‍ය නමුත් අපිරිසුදු හා අපිළිවෙළින් යුත් විලාසිතා නොකළ යුතු වේ. තම විලාසිතාවලට ගැළපෙන ආභරණ හා පාවහන්

පැලඳීම ද මෙහිදී විශේෂ වෙයි. ඒ සඳහා උචිත වූ අත්බෑග භාවිතයෙන් ද ඔබගේ ආකර්ෂණය තවත් වැඩිකරගත හැකියි.

 

නිවැරදි ඉරියව්වෙන් සිටීම

විශේෂයෙන් නිතර රූපලාවණ්‍ය කාර්යයේ නිරතවන ඔබ කාර්යය කිරීමේදී නිවැරැදි ඉරියව් භාවිතය ඉතා වැදගත් කරුණක් වෙයි. එක දිගට වැඩ කිරීමේ වැරැදි ඉරියව්වලින් සිටීම මඟින් ඔබට සෞඛ්‍ය ගැටලු මතුවීමේ අවදානම ඇතිවනු ඇත. රූපලාවණ්‍ය ශිල්පියකු ලෙස කටයුතු කරගෙන යාමේදී ඔබගේ සෞඛ්‍යය රැකගැනීම ඉතා වැදගත් වේ.

 

වේලාවට කාර්යයන්වල නිරත වීම

රූපලාවණ්‍ය ශිල්පියකු ලෙස වැඩ කිරීමේදී කාලය මනා ලෙස කළමනාකරණය කර ගැනීම ඉතා වැදගත් කරුණක් වේ. සේවාදායකයාගේ කාලය ඉතිරිවන ලෙස වැඩ කිරීම ද, ඔවුන්ට වෙන්කර ඇති නියමිත වේලාවට කාර්යය සිදු කිරීම ද, නිතරම කාලය කළමනාකරණය කරගෙන වැඩ කිරීම රූපලාවණ්‍ය ශිල්පියකුගේ වගකීම වේ.

 

ස්වයංපාලනයක් ඇතිකර ගැනීම

මෙහිදී අප නොදැනුවත්ව හෝ වැඩිදුර සිතා බැලීමෙන් තොරව යම් යම් අවස්ථාවලදී අප අතින් සිදුවන වැරදි හෝ අඩුපාඩු අවම කරගත යුතුවේ. එනම් සේවාදායකයා සිටින විට ආහාර වර්ග ගැනීම, කාර්යය සිදුකරන අතරතුර දුරකතන භාවිතය, අනවශ්‍ය ලෙස කියවීම, දුම් පානය, වෙනත් අය සමඟ කතාවේ යෙදීම ආදී කරුණු අප විසින් අවමකර ගත යුතු වේ. එසේ වීමේදී සේවාදායකයාගේ විශ්වාසය නැතිවන අතර සේවාදායකයා නැවත නොපැමිණීමට ද එය හේතුවක් විය හැකියි.

 

නරක පුරුදු හා සිරිත් නැති කර ගැනීම

සේවාදායකයන් ඉදිරිපිට චුයින්ගම් සැපීම, දුම් පානය, කකුල් සෙලවීම, අයුතු ලෙස ඉඳගැනීම, නරක වචන පාවිච්චි කිරීම සහ වැඩි ශබ්ද ඇති සංගීතය දැමීම ආදී නරක පුරුදු අතහැර ගැනීමට උත්සාහ කරන්න.

 

ප්‍රමාණවත් නින්දක් ගත කිරීම

සාමාන්‍යයෙන් මිනිසෙක් සඳහා දිනකට පැය අටක නින්දක් අවශ්‍ය වේ. එමඟින් තමා කරන ආකාරය නිවැරැදිව හා උනන්දුවෙන් කිරීමට ද කම්මැලිකමකින් තොරව කාර්යය කරගෙන යෑමේ හැකියාව ද ඇතිවනු ඇත. මෙය කායික, මානසික සහ තමන්ගේ සෞඛ්‍යයට ද වැදගත් වේ.

 

ව්‍යායාම්වල නිරත වීම

දිනපතා කාර්යයේ නිරත වන්නකු ලෙස තමන්ගේ සෞඛ්‍යය මනාව පවත්වාගෙන යාමටත්, මානසික සෞඛ්‍යය වැඩිදියුණු කර ගැනීමටත්, ශරීරයේ බාහිර පෙනුම රැක ගැනීමටත්, සේවාදායකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමටත් හැකි වනු ඇත.

 

මානසික සෞඛ්‍යය

නිසි ලෙස තමාගේ මානසික සෞඛ්‍යය පවත්වාගෙන යෑම මඟින් තමා කරන කාර්යය හා සේවාදායකයන් සමඟ ගනුදෙනු කිරීම පහසුවන අතර ගැටලු අවමකර ගනිමින් වැඩ කිරීමේ හැකියාව ලැබෙනු ඇත.

 

නිසි පරිදි දුරකතන භාවිතය

මෙහිදී සේවාදායකයින්ගෙන් ඇමතුම් ලැබෙන විට තුන්වරක් නාද වීමට පෙර ඇමතුම ලබා ගැනීම, ආයුබෝවන්!! සුබ උදෑසනක්!! වැනි වචනවලින් පළමුව ආමන්ත්‍රණය කර දුරකතන සංවාදය ආරම්භ කිරීම, සේවාදායකයාගේ අවශ්‍යතාව හඳුනාගැනීම, සේවාදායකයා ඇමතුම විසන්ධි කිරීමට ප්‍රථම දුරකතනය විසන්ධි නොකිරීම, නැවත සුබ පතා දුරකතනය විසන්ධි කිරීම කළ යුතුය.

ඉදිරිපත් කිරීම:

ප්‍රවීණ මනාලියන් හැඩගැන්වීමේ සහ රූපලාවණ්‍ය පිළිබඳ ශිල්පිනි ඉෂාරා කෝරලගේ