ගෙදර තියෙන කහ කෑල්ලෙන් වැඩ කෝටියක් ගන්න පුළුවන්

පෙබරවාරි 5, 2024

 

අද අපි කතා කරන්නට යන්නේ අපි කවුරුත් හොඳින්ම දන්න අපිට එදිනෙදා ජිවිතයේදී අත්‍යවශ්‍යම දෙයක් ගැන. මේ ලිපිය කියවලා අවසන් කරනවත් එක්කම ඔබට දැනේවි අපි මොනතරම් නම් වටිනා දෙයක්ද මේ අපේ මුළුතැන්ගෙයි රාක්කයකට සීමා කළේ කියලා. එහෙනම් මේ කහ ගැන අපේ කතාවයි. සාමාන්‍ය ව්‍යවහාරයේදී කහ "අත් කහ" ලෙස හඳුන්වනවා වගේම හෙළ වෙදකමේදී මේ කහ "නිශා" ලෙස හඳුන්වනවා. කහ ශාකයේ අලය කහ පැහැයක් ගන්නා වුණත් හොඳින් පැහුණු විට මෙය රතු පැහැයට හුරු පැහැයක් ගන්නවා. මේ ඖෂධය කුංකුම පැහැයට හුරු ඖෂධීය ගුණයෙන් ඉතා ඉහළ බව වෛද්‍ය ග්‍රන්ථවල සඳහන් වෙනවා.

 

නිෙවසේ ගෘහිණිය වගේම දේශීය ඖෂධ පිළිබදව අවබෝධයක් තිබෙන ඕනෑම අයෙක් කහ කොතරම් වටීද යන්නට හේතු දහස් ගණනින් දක්වන්නට සමත් වේවි.

 

ඉතින් අපි බලමු මොනවාද ඊට හේතු කියලා. කහ කියන්නේ නිරන්තරයෙන් කාන්තා ඔබත් එක්කම ගැටෙන දෙයක් . රූප‍ය පවත්වා ගැනීම කියන්නේ කාන්තා ඔබටම සුවිශේෂිම දෙයක්. ඒ නිසා අපි කහත් එක්ක ඔබේ රුව රැක ගන්න පුළුවන් ආකාරය ගැන බලමු. අද වන විට වෙළෙඳපළෙහි ඇති බහුතරයක් රූපලාවණ්‍ය ආලේපනවල කහ අන්තර්ගත වෙන්නෙත් මේ හේතුව නිසාමයි. ඔබත් මේ වනවිටත් කහ ඔබේ රූ සපුව වඩවන්නට යොදා ගන්නවා ඇති. බලන්න මේ වට්ටෝරු ඔබත් දන්නවද කියලා.

 

මේ සඳහා ඔබට නිවෙසේ ඇති දේවල්ම සපයා ගන්නට හැකිවීම ඔබේ පසුම්බියටත් පහසුවක් වේවි. එහෙනම් අපි බලමු මැරුණු සම ඉවත් කරන්න කහවලින් මොනවද කරන්න පුළුවන් කියලා. කැකුළු සහල් පිටි ස්වල්පයකට කහ කුඩු ස්වල්පයක් දමා මිශ්‍ර කර කිරි හෝ මී පැණිවලින් අනා සති දෙකකට හෝ මසකට වරක් ආලේප කිරීමෙන් ඔබට මැරුණු සම ඉවත් කරමින් සමට දීප්තියක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.

 

රන්වන් පැහැ සමක් කියන්නේ කාන්තා ඔබට ආභරණයක්. එවන් දීප්තිමත් සමක් ලබා ගන්න කහ කුඩු ස්වල්පයක් කිරි වීදුරුවකට හෝ තැඹිලි වතුර වීදුරුවකට මිශ්‍රකර දිනපතා පානය ප්‍රතිඵලදායකයි.මේ පානය රූපලාවණ්‍යයේදී "Golden Milk" ලෙසත් හඳුන්වනවා.

 

රුව රැකගැනීම මෙන්ම අත් බෙහෙත් සඳහාද කහ යොදා ගැනෙන අතරම ඉන් අපගේ බොහෝ රෝග පීඩාවන්ටද සහනයක් සලසා ගන්නට පුළුවන්

 

කාන්තා ඔබට නිවෙසේ රාජකාරි කටයුතුත් එක්ක නිරන්තරවම මුහුණදෙන්නට වෙන දෙයක් තමයි කැපීම්; සීරීම් සහ තැලීම්; ඊටත් කහවලින් ක්ෂණික ප්‍රතිකාරයක් තියෙනවා. මීට ඔබට කහවලට අමතරව අවශ්‍ය වන්නේ තවත් එක් අමුද්‍රව්‍යක් විතරයි. ඒ මී පැණි. ඔබට තියෙන්නේ කහ කුඩුත් එක්ක මී පැණි ස්වල්පයක් මිශ්‍රකර ආලේපය පමණයි.

 

ඒවගේම ඔබ ජීවත් වෙන්නේ කූඩැල්ලන් බහුල තෙත් පරිසර කලාපයක නම් කූඩැලි දෂ්ටනයටත් අපි කලින් කියපු කහ මීපැණි මිශ්‍රණය දෂ්ට කළ මොහොතේම ආලේප කිරීමෙන් විෂ ශරීරගත වීම පාලනය කරගත හැකියි.

 

ඒ වගේම ගෘහිණියක් ලෙස ඔබට සකස් කරන ආහාර වේලෙන්ම පිළිකා තත්ත්වයන් පාලනය කරගන්නට හැකියාව තිබෙනවා නම් කොතරම් හිතට සහනයක් ද, ඔන්න එහෙනම් ඔබ සකස් කරන මල්ගෝවා වෑංජනයට කහ ටිකක් වැඩිපුර දමා සකස්කර ගැනීමෙන් පිළිකා සම්බන්ධයෙන් ඔබට ඇති භීතිය තරමකින් හෝ පාලනයකර හැනීමට හැකිවේවි.

 

ඔබ මවක් නම් දරුවන් කෑම වර්ජනය කරද්දී ඔබට දැනෙන්නේ අසාමාන්‍ය වේදනාවක්. ඇතම් විට ඒ පණු රෝගයක් විය හැකියි. එවන් අවස්ථාවකදී ඔබ ඔබේ දරුවාට තැඹිලි වතුර වීදුරුවකට හෝ කිරි වීදුරුවකට කහ කුඩු ස්වල්පයක් මිශ්‍රකර පානය කිරීමට ලබ දෙන්න. ඔබේ දරුවා සතුටින් ආහාර ගනීවී. ඔබටත් සැනසීමක් දැනේවි. දරුවන්ට විතරක්ම නොවෙයි වැඩිහිටියන්ටත් පණු රෝග උත්සන්න වූ විටත් මේ අත් බෙහෙත පාවිච්චි කළ හැකියි.

 

ග්‍රීෂ්මය වැඩිවෙනවත් එක්කම හමේ දද, කුෂ්ඨ, සම මතුපිට බිබිලි දැමීම්, කැසීම් ඇතුළු විවිධාකාර චර්ම රෝග ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක්. එවන් තත්වයකදීත් ඔබට පුළුවන් කහ යොදා ගනිමින් ඊට පිළියමක් සලසා ගන්න. ඊට අමු කහ සහ කොහොඹ කොළ තැම්බූ ජලය වගේම එයට පින්න කොළ, හීන් උඳුපියලිය, නිදිකුම්බා සහමුලින් ගෙන තම්බාගත් ජලය යොදා ගැනීමට ද හැකියි. එයටම ගන්සූරිය කොළ, පොතු හා අමුකහ කැබැල්ලක් දමා තම්බා ගත් වතුර භාවිත කිරීමත් විශේෂිත ප්‍රතිඵල ලබා ගත හැකියි. ඒ විතරක්ම නෙවෙයි රත්කර ගත් අමු පොල් කොළ හා කහ කුඩු මිශ්‍රකර අඟුරු මත දමා දුම් ඇල්ලීමත් පෙති තෝර කොළ හෝ ඇත් තෝර කොළ අමු කහ සමඟ අඹරා ආලේපය අළුහම් ඇතුළු බොහෝමයක් දිලීර රෝග සුවකර ගැනීමට පහසු අත් බෙහෙතක් ලෙස භාවිත කළ හැකියි.

 

උදෑසන කාලයේ පවතින සිසිල් පරිසර තත්ත්වයත් සමඟ පීනස තත්ත්වයක් ඇතිවීමෙන් බොහෝ දෙනෙක් පීඩාවට පත් වෙනවා.එවන් අවස්ථාවකදී කහ කුඩු ස්වල්පයක් හා එළඟිතෙල් මිශ්‍රකර රෙදි කඩක ආලේපකර පහන් තිර මෙන් සකස්කර වියලා තබා දැල්වීමෙන් පසු එකවර නිවා ඉන් නැඟෙන දුම ආඝ්‍රාණය කිරීම නාසයෙන් සොටු දියර ගැලීම පාලනයටත්, හිසරදයේදී ක්ෂණික සහනයක් ලබා ගැනීමටත් හැකියාව පවතිනවා. මේ සඳහා සූදානම් රහිත හදිසි අවස්ථාවකදී වියළි කහ අල කැබැල්ලක් දල්වා නිවා ඉන් නැගෙන දුම ආඝ්‍රාහණය කිරීමටත් පුළුවන්.

 

ආතරයිටිස් වැනි හන්දි වේදනා තත්ත්ව අද වනවිට සමාජය තුළ බහුලයි. එවන් අවස්ථාවලදී කහ කුඩු හා ඉඟුරු කුඩු සමව මිශ්‍රකර විනාකිරිවලින් අනා රෙදිකඩක ආලේපකර ස්ථානිකව පත්තු දැමීම මඟින් වේදනාව හා ඉදිමුම පහසුවෙන් සමනයකර ගැනීමටත් පුළුවන්. කහ රුධිරයේ සුදු රුධිරාණු වැඩි කිරීමේ හැකියාව පවතින අතර ප්‍රතිශක්තිය වර්ධනයටත් බෙහෙවින් උපකාර කරනවා.

 

නමුත් කහ මඟින් ශරීරගත පිත වර්ධනය කරන බැවින් පිත අධික රෝග අවස්ථා හා ගැස්ට්‍රයිටීස් රෝගීන්ට නම් නිරන්තරයෙන් භාවිත කිරීම සුදුසු වන්නේ නෑ.

 

ඉතින් ඔබට පැහැදිලි නේද ආයුර්වේද ඖෂධ සංයෝග බොහෝමයක කහ අන්තර්ගතව පවතිනවා වගේම දිව ඔසුවක් ලෙස මෙම කහ සලකන්නේත් මෙහි ඇති ඖෂධ ගුණයන් නිසාවෙන් බව .