ඔයාගෙ කොණ්ඩෙත් සුදු වෙලාද?

සුදට තිත මෙන්න බෙහෙත
ජනවාරි 29, 2024

 

අද කාලේ තියෙන ප්‍රශ්නත් එක්ක කොණ්ඩෙ සුදු නොවී තියෙවීද? හැමෝම ඉන්නේ හිස ගිනි අරන් වගේ. ඒ කෙසේ වෙතත් ගසට වර්ධනයට මූල පද්ධතිය වැදගත් වන්නේ යම්සේද මිනිස් ශරීරයෙහි පැවැත්මට හිස සුවිශේෂී වැදගත්කමක් ගෙන දෙයි. ඒ විතරක් නෙවෙයි මේ හිස සහ කෙස් ආරක්ෂා වීම මඟින් මුහුණට විශේෂිත වූ අලංකාරයක් ද එක් කරයි.

වයසට යනවාත් සමඟම හිසකෙස් පැසීම, සම රැලි වැටීම යන මේවා ස්වභාවික සංසිද්ධියි. එය එසේ වුවත් ළමා වියේදී හෝ තරුණ වියේ දී හිසකෙස් පැසීමට ලක් වුවහොත් එය මානසික අසහනකාරී තත්ත්වයකි. එසේම ඔවුන් කෙරෙහි සමාජය ඉතා ඕනෑකමින් අවධානය යොමු කිරීම සිත් වේදනාව දෙගුණ තෙගුණ කරවයි.

ආයුර්වේද සංහිතා ග්‍රන්ථවලට අනුව හිසකෙස් අකලට පැසීමට වා, පිත්, සෙම් යන ත්‍රිෙදා්ෂයම බලපානු ලබයි. එසේම ක්‍රෝධය, ශෝකය, වෙහෙස වීම, ශරීරයේ අධික උෂ්ණය යන මේ කරුණු හේතු කොටගෙන හිසකෙස් අකලට සුදුවීම සිදු වේ. ඊට අමතරව අවේලාවේ ස්නානය, තද අව්වට නිරාවරණය වීම, පීනස, කෘත්‍රිම ආලේපන භාවිතය, උෂ්ණාධික ආහාර පාන නිතර නිතර භාවිත කිරීම, නිදි මැරීම යනාදී කරුණු ද හිසකෙස් සුදුවීමට සෘජුවම බලපානු ලබයි. ගසක මූල පද්ධතියට ජලය, පොහොර අවශ්‍ය වන්නාක් සේ හිසකෙස් වර්ධනය වීමට හා හිසකෙස්වල ස්වභාවික පැහැය රැක ගැනීමට හිසට ද පෝෂණය වැදගත් වේ. ඒ සඳහා ආහාර පාන මෙන්ම හිසට තෙල් ගැල්වීම, හිසෙහි නීරෝගී භාවය සුරැකීමට ඉවහල් වේ. හිස් කබලට නිසි පෝෂණය නොලැබෙන කල්හි එය අකලට හිසකෙස් පැසීමට ප්‍රධානතම හේතුවක් වේ. එම නිසා හිසට තෙල් ගැල්වීම කළ යුතු වේ. මෙහිදී තෙල් මඳක් රත්කර ඇඟිලි තුඩු මඟින් විනාඩි 15ක් පමණ කේශ මූලයන් හොඳින් සම්බාහනය කළ යුතු වේ.

එමඟින් හිසට හොඳින් රුධිරය සම්පාදනය වීමත් සමඟම මනා ව්‍යායාමයක් ද ලැබේ. එහිදී හිසකෙස් මනා ලෙස වර්ධනය වීමත්, කළු පැහැ වර්ණය දීප්තිමත් වීමක් ද සිදු වේ.

එසේම පිරිසුදු ජලය ස්නානය කිරීම මඟින් ද හිසකෙස් පෝෂණය වේ. අතීතයේ දී පිරිසුදු වැසි ජලය, ළිං ජලය, ගංගා ජලය ස්නානය සඳහා භාවිතා කෙරිණ. වර්තමානයේ එකී සාම්ප්‍රදායික ජල භාවිතයෙන් දුරස් වීමත් සමඟ බොහෝ දෙනා හිස කෙස් ‍රෝගවලට ගොදුරු වෙමින් පවතී. අතීතයේදී ළිඳක් හෝ වැවක් හෝ ගංගාවක් අසල කුඹුක් ගස් බහුලව පැවතුණි. ඒ ආශ්‍රිත ජලය ඉතාමත් පිරිසුදුය. කැල්සියම්, මැග්නීසියම් වැනි ඛනිජ ලවණවලින් එම ජලය සුපෝෂිතව පැවතුණි. එපමණක් නොව ගත සිත ප්‍රබෝධමත්වන පරිදි සිසිලස ද රැඳුණි. නමුත් අද බොහෝ දෙනකු භාවිතා කරන්නේ ක්ලෝරීන් මිශ්‍ර නළ ජලය බව අපි දනිමු. තරගකාරී ජීවන රටාවකට හුරු වී සිටින වර්තමාන සමාජයේ ජීවත්වෙන සෑමදෙනාම රාත්‍රිෙය් හෝ පාන්දර ස්නානය කොට රැකී රක්ෂා පිණිස යාමත් සමඟ හිසකෙස් තෙත පිටින් බොහෝ වේලාවක් පැවතීම හේතු කොට ගෙන අකලට හිසකෙස් පැසීම පමණක් නොව අකලට හිසකෙස් ගැලවී යාමේ තර්ජනයට ද ගොදුරු වී සිටිති. විදුලි පංකා භාවිත කිරීම, වායු සමීකරණ කාමරවලට කොටුවීම යන මේවා හේතු කොට ගෙන ද මෙකී අකලට හිසකෙස් පැසීමේ අවාසනාවන්ත තත්ත්වයට බොහෝ දෙනකු ගොදුරුව සිටිති.

තවද පාසැල් වයසේ සිිටින බාලක බාලිකාවියන් අතර ද මෙම හිසකෙස් සුදුවීම ප්‍රබලව දැකිය හැකියි. තරගකාරී අධ්‍යාපන රටාවකට යොමු වීම හේතු කොට ගෙන මෙම තත්ත්වයට ඔවුන් ගොදුරු වූ කල්හි ඔවුනගේ මානසික තත්ත්වය කෙලෙස විස්තර කරන්නද? ඔවුන් සමාජයට විවෘත වීමට පවා නොහැකිව බලවත් සිත් වේදනාවට පත්වීම අරුමයක් නොවේ.

අකලට හිසකෙස් පැසීමේ තත්ත්වය වළක්වා ගැනීමට නම්,

* උෂ්ණාධික ආහාර පානවලින් ඈත්වීම.

* සමබල ආහාර වේලක් ලබා ගැනීම.

* හිස් කබල පිිිරිසුදුව තබා ගැනීම.

* හිසට තෙල් ගැල්වීම හා සම්බාහනය කිරීම.

* අලුත් එළවළු, පලතුරු, පලා වර්ග නිතර ආහාරයට ගැනීම.

* හිස් කබලට දැනෙන ලෙස දෑති ලොකු පනාවකින් හිස පීරිම.

* සතියකට වරක් හෝ ඖෂධීය ද්‍රව්‍ය ආලේපනය කොට හිස සේදීම.

* තද සුර්ය රශ්මියෙන් ඈත් වී සිටීම.

* ශරීරයේ උෂ්ණත්වය පාලනය කිරීමට පිරිසුදු ජලය, පලතුරු යුෂ, කොළ කැඳ පානය කිරීම.

* සුවබර නින්දක් ලබා ගැනීම.

 

කුඩා දරුවන් සඳහා ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය පාලනය කිරීම හා ලේ පිරිසුදු කිරීමට ඉපදී සති දෙකෙන් පසු රත කල්කය ලබාදීමත්, මාස 03න් පමණ පසු ඖෂධීය තෙල් හිස ගල්වා සම්බාහනය කොට ස්නානය කරවීමෙන් නීරෝගී ලෙස හිසකෙස් වැඩේ. කුඩා දරුවන් සඳහා අරූද තෙල ප්‍රත්‍යක්ෂ වේ.

 

අරූද යුෂ සිවු නැලියක් සමඟි න
පිිරිසුදු තලතෙල් නැලියක් ගතිමි න
දෙදුරු කපුරු නාමල් හිරිවෙර ගෙ න
බුලත් ලූනු කොට්ටම් අඹරා ල න

 

මෙම තෙල සකසා කුඩා දරුවන්ගේ හිසේ ගෑමෙන් කැස්ස, හතිය, පීනස දුරු වී කේශ වර්ධනය සිදු වේ.

වම්මුතු වැල්මී වගපුල් ගෙන සම වා
මහනෙල් අල සඳුනුත් එක්ව අඹර වා
ඇඹුල් කෂායත් තලතෙල් එහි යොද වා
සිඳි තෙල් නස්න කළ පලිතය නැති කර වා

මෙම තෙල සකසා නස්න කිරීමෙන් අකලට හිසකෙස් සුදුවීම දුරුකර ගත හැකි වේ.

 

අරළු සුනු පරණ උක් හකුරු සමඟි න
මී හා සිද්ධිගුරුන් සහිතව වැළඳු තැ න
ජරා වලි පලිත නැතිවෙයි රසාය න
සත් හැවිරිදි වයසපත් ළදරුවෙකු මෙ න

 

ශරීරයේ ලේ පිරිසුදු වීමට හා අධික උෂ්ණය පාලනය කිරීම සඳහා සුදුසු කෂාය,

1. දුම්මැල්ල, කටුකරෝසන, හතාවාරිය අල, අරළු, බුළු, නෙල්ලි, රසකිඳ යන මේවා කෂායකර සීනි හෝ මී පැණි සමඟ පානය කරන්න.

2. හාතාවරිය අල, ඉරමුුසු, සුදු හඳුන්, සැවන්දරා මුල්, ඉරිවේරිය, කූර මුල්, වියළි මුද්දරප්පලම්, වැල්මදට, මානෙල් අල, වැල්මී යන මේවා කෂායකර සීනි, මී පැණි දමා උදේ, හවස පානය කරන්න.

හිසකෙස් කළු වීමට යෝගයක්

ත්‍රිපල්, නිල් අවරිය කොළ, ලෞහ චූර්ණය, කීකිිරිදිය යුෂ එළු මූත්‍රයෙන් අඹරා ආලේප කරන්න. හිසකෙස් වැවීමට යෝගයක් තල මල් එළිකිරෙන් අඹරා ගිතෙල්, මී පැණියෙන් අනා හිසේ ආලේප කරන්න.

හිසකෙස් පැසීම පමණක් නොව හිසේ වියළි බව සහ හිස්හොරි ඇතිවීම, හිසකෙස් වර්ධනය පමා වීම, හිසකෙස් හැලීම යන මෙකී තත්ත්වයන්ගෙන් මිදීමට නිවැරදි සත්කාර කිරීමට උත්සාහ ගත යුතුය.

 

කෙසේ වෙතත් ඖෂධී්‍ය තෙල් වර්ග භාවිතා කිරීමෙන් මෙකී අසහනකාරී රෝග තත්ත්ව පාලනයකර ගත හැක. මේ සඳහා දේශීය චිකිත්සාවේ බොහෝ තෙල් වර්ග ඇත.

නෙල්ලි, කීකිරිදිය, තලතෙල්, එළකිරි, වැල්මී යන මේවා යොදා පදමට සැකසූ තෙල ආලේප කිරීම සියලුම ශීර්ෂ රෝග සඳහා ඉතාමත්ම ගුණදායක වේ.

කෙසේ වෙතත් රෝග ප්‍රතිකාරයේදී වෛද්‍ය උපදෙස් අනුගමනය කරන්නේ නම් සාර්ථක ප්‍රතිඵල උදාකර ගත හැකියි.

 

 

උපදෙස් -

ආයුර්වේද වෛද්‍ය

කාන්ති මදුරප්පෙරම