මලක මෙළෙක සුමුදු ගතට මෙන්න නොවරදින රෝම සත්කාරයක්

මාර්තු 11, 2024

හිසෙහි ඇති හිසකෙස් හැරුණු කොට සිරුරේ අනෙකුත් ස්ථානවල ඇති හිසකෙස් නැතහොත් රෝම කෙනකුට අඩු වැඩි වශයෙන් පීඩා ගෙනදෙයි. ලේසර් හිසකෙස් ඉවත් කිරීම යනු ශරීරයේ විවිධ ප්‍රදේශවල රෝම ඉවත් කිරීම සඳහා ලේසර් හෝ සාන්ද්‍රිත ආලෝක කදම්භයක් භාවිත කරන ක්‍රියා පටිපාටියකි.

කාන්තා පිරිමි භේදයකින් තොරව මේ ප්‍රතිකාරය සඳහා යොමු විය හැකියි.

රෝම වර්ධනය ස්ථිරව අඩු කිරීමේ මෙම ක්‍රමවේදයේ පිටුපස ඇති මූලික මූලධර්මය වන්වේ ෆොටෝතර්මොලයිසීස්ය. එහිදී ලේසර් ආලෝකය ශක්තිය මඟින් රත් කරයි. රෝමවල අඳුරු වර්ණකය මෙලනින්ය. ලේසර් ප්‍රතිකාරය ඉලක්ක කර ගන්නේ මෙලනින් පමණක්වන අතර ආලෝක ශක්තිය එම වර්ණකය අවශෝෂණය කරගනියි. මෙය රෝමවල මුලට පමණක් හානි කරන අතර අවට පටකවලට හානි නොකරයි. ලේසර් මඟින් රෝම ඉවත් කිරීම ක්‍රියාත්මක වන්නේ අඳුරු පැහැ රෝම මත පමණි. එය සුදු හෝ දුඹුරු රෝම සඳහා ක්‍රියාත්මක නොවේ.

රෝම වර්ධනය වන ඇනගන් අවධියේදී ලේසර් ප්‍රතිකාරය සිදු කළහොත් රෝම වර්ධනය ස්ථීරවම අක්‍රිය කරයි.

විකල්ප ක්‍රම

අනවශ්‍ය රෝම ඉවත් කිරීම, රැවුල බෑම සම්බන්ධයෙන් වැක්ස් කිරීම ගැන ඔබ තෘප්තිමත් නොවන්නේ නම්, ලේසර් රෝම ඉවත් කිරීම සලකා බැලිය යුතු විකල්පයක් විය හැකියි.

ෂේවින් හෝ වැක්ස් කිරීමට විකල්පයක් ලෙස ලේසර් සත්කාරය භාවිත කළ හැකියි.

ලේසර් හිසකෙස් ඉවත් කිරීම විදෙස් රටවල බහුලව සිදු කරන රූපලාවණ්‍ය ක්‍රියා පටිපාටිවලින් එකකි. එහිදී අධික සාන්ද්‍රිත ආලෝකය රෝම කූපවලට විහිදුවයි. මින් රෝම විනාශ වෙයි.

ලේසර් මඟින් රෝම ඉවත් කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ

මුහුණ, කකුල, නිකට, පිටුපස, අත, ඉකිලි හෙවත් බිකිනි රේඛාව සහ අනෙකුත් ප්‍රදේශවලින් අනවශ්‍ය රෝම ඉවත් කිරීමට ලේසර් ප්‍රතිකාරය ප්‍රයෝජනවත් වේ. කෙසේ වෙතත්, ඔබට ඔබේ ඇස්වල, ඇස් අවට ප්‍රදේශවල හෝ පච්ච කොටා ඇති ඕනෑම තැනක ලේසර් ප්‍රතිකාරය සිදු කළ නොහැකියි.

ලේසර් කිරණ මඟින් නිකුත් කරන ආලෝකය රෝමවල මෙලනින් පමණක් ඉලක්ක කරන බැවින් සමට හානියක් සිදු නොවේ. ලේසර් ක්‍රමවේදය ඔස්සේ රෝම ඉවත් කිරීම අයත් වන්නේ රූපාලංකරණ වෛද්‍ය විද්‍යාවටයි. ඔබ ලේසර් මඟින් රෝම ඉවත් කිරීමට සැලසුම් කරයි නම්,

පළමු පියවර

ඒ සඳහා පැමිණෙන ඔබට පළමුව උපදේශනයක් පැවැත්වේ. යම් යම් තහවුරු කිරීම්වලින් අනතුරුව ඔබ ලේසර් මඟින් කෙරෙන ප්‍රතිකාරය සඳහා සුදුස්සෙකු බව වෛද්‍යවරයා සහතික කරයි. අනතුරුව සිදු සිදුකරන පැච් පරීක්ෂණයෙන් පසු පැය 48ක කාලයකදී අහිතකර ප්‍රතික්‍රියාවක් නොමැති නම් පළමු වෛද්‍ය හමුව ආරම්භ කළ හැකියි. ප්‍රතිකාර කිරීමට සති හයකට පෙර බ්ලීච් කිරීම හෝ වැක්ස් කිරීමෙන් වැළකී සිටීම වැදගත්ය.

ප්‍රතිකාරයට පෙර සහ පසු සති 6ක් හිරු එළියට නිරාවරණය වීමෙන් වැළකී සිටිය යුතුය. හිරු එළියට නිරාවරණය වීමෙන් ලේසර් කෙස් ඉවත් කිරීමේ ඵලදායිතාව අඩු වන අතර ප්‍රතිකාර කිරීමෙන් පසු සංකූලතා ඇති කරයි. නිතිපතා ඇස්ප්‍රින් ලබා ගන්නේ නම් හෝ වෙනත් ඖෂධ ගන්නේ නම් කුමන ඖෂධ නැවැත්විය යුතුද යන්න පිළිබඳව ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න.

දෙවැනි පියවර

ප්‍රතිකාරය සඳහා පැමිණෙන විට සම හොඳින් පිරිසුදු කර ගැනීමට වග බලා ගන්න. පැය 24ක් 48කට පෙර සුවඳ විලවුන් හෝ ඩියෝඩ්රන් භාවිත නොකරන්න.

ලේසර් හිසකෙස් ඉවත් කිරීමට පෙර මෙම ක්‍රියා පටිපාටියට මිනිත්තු 20-30කට පෙර අදාළ කර්තව්‍යය සිදු කරන තැනැත්තා

හිරිවැටීමේ ඖෂධයක් යොදනු ඇත. ඔවුන් ඔබේ රෝමවල වර්ණය, ඝනකම සහ ස්ථානය මෙන්ම ඔබේ සමේ වර්ණය අනුව ලේසර් උපකරණ සකස් කරනු ඇත.

භාවිත කරන ලේසර් හෝ ආලෝක ප්‍රභවය අනුව, ඔබ සහ ලේසර් ප්‍රතිකාරය සිදු කරන තැනැත්තා සුදුසු අක්ෂි ආරක්ෂාවක් පැලඳිය යුතුය.

ලේසර් ප්‍රතිකාරයට ලක් වූ සියලුම රෝම දින හතකින් දහයකින් ගැලවී යයි. එය ගැලවෙන බව ඔබ නොදකින්නට පුළුවනි.

ලේසර් හිසකෙස් ඉවත් කිරීමෙන් පසු

එම ප්‍රදේශය රතු පැහැ වී ඉදිමීම් ඇති විය හැකියි. ප්‍රතිකාරය සිදු කරන තැනැත්තා ඔබට සීතල ගෙන දෙන්නට අයිස් පැකට්, දියර හෝ සීතල වතුර වැනි අපහසුතාව ලිහිල් කිරීමට ඉවහල්වන දෑ ලබා දිය හැකියි. නැවත සති 4-6ක කාලයකින් පසු ලේසර් ප්‍රතිකාරයේ ඊළඟ පියවර සිදු වනු ඇත.

කාන්තා සිරුරේ පැහැපත් බවට තර්ජනයක්වන අනවශ්‍ය රෝම ඉතා ඝනව රළු ලෙස පිහිටා තිබෙන්නට පුළුවනි. ලේසර් ප්‍රතිකාරය ඔස්සේ රෝම ඉවත් කිරීම ලිංගික ප්‍රදේශය ඇතුළුව මුළු ශරීරයටම වුවත් කළ හැකියි.

ලේසර් හිසකෙස් ඉවත් කිරීම වේදනාකාරීද?

මින් තාවකාලික අපහසුතාවක් ඇති විය හැකි අතර ලේසර් ක්‍රියා පටිපාටියෙන් පසු ඇතැමෙකුට අදාළ ප්‍රදේශයේ රතු පැහැයක් සහ ඉදිමීමක් ඇති වීමට පුළුවනි. එහෙත් රෝම ඉවත් කිරීමට අනුගමනය කරන අනෙකුත් ක්‍රමවලට වඩා මෙය අඩු වේදනාකාරී එකකි.

 

ඉදිරිපත් කිරීම :

රූපාලංකාරය පිළිබඳ

විශේෂිත පුහුණු වෛද්‍ය

ඩබ්ලිව්. ඒ නුවන් කුමාර