පාදවල හම වේළිල ද? නිවෙසේදී මේ දේවල් කරලා බලමු ද?

මාර්තු 4, 2024

 

දෑත් කෙරෙහි දක්වන සැලකිල්ලම පාද කෙරෙහි දක්වන්නත් අමතක කළ යුතු නැහැ. ඔබේ පාදවල සම වියළි බවින් ආරක්ෂාකර පැළීම් අවම කරගන්නේ කෙසේදැයි සහ එවැනි තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට නිවෙසේදී ඔබට කළ හැකි දෑ මොනවාදැයි මෙවර අපි කතා කරමු.

පාදවල තද, මැරුණු සහ වියළි සම ඇතිවීමට හේතුවන්නේ අපි චලනයවන සෑම විටම අපගේ පාදයේ විළුඹේ සිට පාද මත පීඩනය යෙදෙන නිසයි. ශරීරයේ සෑම චලනයකදීම අපගේ සම සහ සපත්තු අතර හෝ අපගේ සම සහ බිම අතර ඝර්ෂණය වැඩි වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සමේ වැඩි පීඩනය හා ඝර්ෂණයට ඔරොත්තු දීමට අපහසු වේ. එසේ ඝර්ෂණයට ලක්වෙන සම දැඩි බවට පත්වේ.

පෙඩිකියු සත්කාරය මඟින් අංගසම්පූර්ණ ප්‍රතිකාරයක් පාදවලට ලැබුණ ද, සෑමවිටම ඒ සඳහා සැලෝන් එකක් වෙත යෑමට සිදුවේ. මෙහිදී ඔබට නිවෙසේ සිට යටි පතුල්වල ඇති මැරුණු සම ඉවත් කරමින් වියළි බවෙන් ආරක්ෂාකර ගැනීමට නිවෙසේදී කළ හැකි ප්‍රතිකර්මයන් පිළිබඳ ව දැන් විමසා බලමු.

මැරුණු සහ වියළි සම ඉවත් කිරීම සඳහා නිවෙසේදී කළ හැකි විකල්ප කිහිපයකි.

පියුමික් ගල් භාවිතය (Pumice Stone)

පියුමික් ගල් යනු ඔබේ පාදවල ඇති මැරුණු සම සහ වියළි සම ඉවත් කිරීමට උපකාරී වන ස්වාභාවික ලාවා ගලකි. වෙළෙඳපොළෙන් පහසුවෙන් මිලදී ගත හැකියි.

ඔබේ පාද උණුසුම් ජලයේ මිනිත්තු දහයක් පමණ පොඟවා ගන්න. පොඟවා ගත් පාදවල මියගිය සම ඉවත් කිරීම සඳහා පියුමික් ගල ගෙන, ඔබේ යටි පතුල්වල රවුම් හෝ පැති චලනයකින් මෘදු හෝ මැරුණු සම ඇඹරී එන තරමේ දැඩි බවකින් ඇඹරී එන ආකාරයට යටිපතුල් මත ගෙනයන්න. මෙම ඇතිල්ලීමෙන් මැරුණු උඩ සම ඉවත්ව යයි. තුවාල හෝ සීරීම් ඇති විට කිසිවිටකත් පියුමික් ස්ටෝන් භාවිතයෙන් වළකින්න. ස්ටෝන් භාවිතයෙන් අනතුරුව තෙතමනය සුරක්ෂිතවන මොයිස්චරයිසර් සහිත ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න.

පැරෆින් ඉටි

පැරෆින් ඉටි යනු ෆැරන්හයිට් අංශක 125 (සෙල්සියස් අංශක 51) පමණ මධ්‍යම උෂ්ණත්වයකදී උණුකරන මෘදු ඉටි වර්ගයකි. ඉටි උණුකර භාවිත කිරීමේදී ඔබේ සම පිළිස්සීමට හෝ අධික රත්වීමකට පත් කිරීමට තරම් උණුසුම් නොවිය යුතුය. සාමාන්‍ය ප්‍රමාණයේ උණුසුමක් තුළ පැරෆින් ඉටි දියවීමට ලක්වේ.

නිවෙසේදී පැරෆින් ඉටි සකස්කර ගැනීම සඳහා සෝස් පෑන් එකක් ආධාරයෙන්, ඉටි උණුකර ඔබේ පාද ගිල්වීම සඳහා බඳුනකට මාරු කරන්න. පැරෆින් ඉටි ප්‍රතිකාරය අතරතුර, ඔබ ඔබේ පාද කිහිප වතාවක් ඉටිවල ගිල්විය යුතුයි. ඉටි ස්ථර කිහිපයක් යෙදීමෙන් පසු, ඔබේ පාද ප්ලාස්ටික් කොළයකින් ඔතා, ඉටි දැඩි වූ පසු, ඔබට ඉටි ඉවත් කළ හැකිය. ඔබේ පාදවල ඇති ඕනෑම මැරුණු සමක් ඉටි සමඟ ඉවත් වේ. ඉටි ප්‍රතිකාරයෙන් පසුව ඔබේ පාද මෘදු වේ. නිරන්තරයෙන් පාදයේ තෙතමනය ආරක්ෂාකර ගැනීමෙන්, ඔබේ පාද වියළි බවෙන් ආරක්ෂා කරගත හැකියි. එනිසා පාද සඳහා සුදුසු ක්‍රීම් වර්ගයක් ඔබට තිබිය යුතුවේ. දිනපතා මොයිස්චරයිසර් සහිත ක්‍රීම් වර්ගයක් භාවිත කිරීම මඟින් ඔබට යටි පතුල්වල වියළි බව අවමකර ගත හැකියි.

සැලකිලිමත් විය යුතු කරුණු වන්නේ ඔබට දුර්වල රුධිර සංසරණයක් ඇති විටෙක පැරෆින් ඉටි භාවිත නොකළ යුතුයි. ඔබේ පාදවල කැසීම් හෝ විවෘත තුවාලයක් තිබේනම් ෆැරෆින් ඉටි භාවිතය සුදුසු නොවේ. දියවැඩියාව, ස්නායු රෝග වැනි ඔබේ පාදවල දැනීම් නැති වී තිබෙන විටත් ඔබ නිවෙසේදී පැරෆින් ඉටි භාවිත නොකළ යුතුයි. ඒ සඳහා සුදුසුකම්ලත් රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙත යන්න.

ස්ක්‍රබ් භාවිතය (Foot Scrub)

ෆාමසි සහ වෙළෙඳපො⁣ළේ පහසුවෙන් සොයා ගත හැකි නිෂ්පාදනයකි. මුහුණ සේම කකුල් සඳහා පමණක් විශේෂිත වූ ස්ක්‍රබ් වර්ග වෙළෙඳපොළේ ඕනෑතරම් තිබේ. ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදනයක් තෝරාගන්න. පාදවල මැරුණු සම ඉවත් කිරීම සඳහා කැට සහිත බව අධිකව ඇති නිෂ්පාදනයක් යෝග්‍ය වේ.

එසේ නොමැති නම් ස්ක්‍රබ් එකක් නිවෙසේදීම ඔබට සකසාගත හැකියි.

ඒ සඳහා මේස ලුණු මේස හැඳි දෙකක්, සීනි මේස හැන්දක්, බේබි ඔයිල් මේස හැන්දක්, සහ ලෙමන් යුෂ මේස හැන්දක ප්‍රමාණවලින් ගෙන මිශ්‍රණය සකසා ගන්න.

අනතුරුව ස්ක්‍රබ් එක ඔබේ පාදයේ ආලේප කර අත්ල මඟින් මෘදු ලෙස සම්බාහනය කරන්න. වියළි සම ඝන ව ඇති තැන්වල ස්ක්‍රබ් බ්‍රෂ් එකක් මඟින් යම් තද බවක් සමඟ අතුල්ලන්න. උණුසුම් ජලය සමග ස්ක්‍රබ් භාවිත කරන්න.

ඔට්මීල් ස්ක්‍රබ් ආලේපනය

මැරුණු සම ඉවත්කර ගැනීම සඳහා Oatmeal Scrub එකක් සකස් කරගත හැකියි. ස්ක්‍රබ් සෑදීම සඳහා ඕට්ස් මීල් මේස හැඳි කිහිපයක්, සීනි හැන්දක්, රෝස වතුර හෝ කිරි සමග මිශ්‍රකර පේස්ට් එකක් සාදා ගන්න. භාවිත කිරීමට: ස්ක්‍රබ් එක ඔබේ පාදවල ආලේපකර විනාඩි 20ත් 30ත් අතර කාලයක් තබන්න. ඔබේ පාදවලින් ස්ක්‍රබ් ඉවත් කිරීමට, පාද බුරුසුවක්(foot brush) භාවිත කරන්න.

 

සීතල වතුරෙන් සෝදා ඔබේ පාද වියළීමට ඉඩ දෙන්න. සුදුසු මොයිස්චරයිසර් ක්‍රීම් වර්ගයක් ආලේප කරන්න. හොඳම ප්‍රතිඵල සඳහා දින තුනකට වරක් මෙම ප්‍රතිකාරය සිදු කරන්න.

 

පාද විනාකිරෙන් පොඟවා ගැනීම

 

විනාකිරි පොඟවා ගැනීම පාද මෘදු කිරීමට සහ මිය ගිය, වියළි හෝ ඉරිතළා ඇති සම ඉවත් කිරීමට ඉඩ සලසයි.

මේ සඳහා ඔබට ඕනෑම විනාකිරි වර්ගයක් භාවිත කළ හැකියි. ඇපල් සයිඩර් විනාකිරි හෝ සුදු විනාකිරි ඔබේ මුළුතැන්ගෙයෙහි තිබිය හැකියි. පාද පොඟවා ගැනීමට සුදුසු ප්‍රමාණයේ උණුසුම් වතුර භාජනයක් ගෙන, ජලය කොටස් 2 කට විනාකිරි කොටස් 1 ක් දමන්න. පාද විනාඩි 5 සිට 10 දක්වා පොඟවා ගන්න. අවශ්‍ය නම්, ඉහත සඳහන් කළ පියුමික් ගල ද භාවිතයට ගත හැකියි.

වියළි හෝ ලිහිල් සම ඉවත් කිරීමට විනාකිරි යෙදූ ජලයෙහි පොඟවාගත් යටිපතුල් අතුල්ලා ගනිමින් වියළි, මැරුණු සම ඉවත් කර ගන්න. අනතුරුව හොඳින් පිසදා තෙතමනය ඉවත් කරගන්න. සමේ තෙතමනය ආරක්ෂා කර ගැනීම සඳහා මොයිස්චරයිසර්, පෙට්‍රෝලියම් ජෙලි හෝ පොල් තෙල් යොදන්න.

මෙම සත්කාරය සතියකට වරක් පමණක් සිදු කළ යුතුවන්නේ එය සම මත තවදුරටත් වියළීමට ඉඩ ඇති බැවිනි.

 

පරිස්සමෙන් භාවිත කළ යුතු, නිවෙසේදී භාවිතා කළ හැකි, බේකිං සෝඩා සත්කාරය

 

බේකිං සෝඩා යනු පාදවල ඇති මැරුණු සම ​​ඉවත් කිරීම සඳහා නිවෙසේදී භාවිත කරන ජනප්‍රිය ප්‍රතිකාරයකි. නමුත් සමහර චර්ම රෝග විශේෂඥයින් අනතුරු අඟවන්නේ බේකිං සෝඩා මඟින් සමේ ගැටලුකාරී තත්ත්වයන් ඇති කළ හැකි බවත්, සම රත් පැහැ වීම, සම තවදුරටත් වියළි යා හැකි බවත්ය. එය සමේ ස්වාභාවික pH සමතුලිතතාවට බාධා කළ හැකියි. ඔබට සමේ සංවේදීතාවක් හෝ අසාත්මිකතා තිබේ නම්, ඔබේ පාදවලට බේකිං සෝඩා භාවිත නොකරන්න.

අඩි භාගයක් පමණ වතුර යෙදූ භාජනයකට බේකින් සෝඩා තේ හැඳි 1ක් පමණ යොදන්න. විනාඩි 10ක් පමණ කාලයක් කකුල් පොඟවා ගැනීමෙන් පසු, මැරුණු සම ​​ඉවත් කිරීමට පියුමික් ගල් හෝ පාද බුරුසුවක් මෘදු ලෙස භාවිත කරන්න. පසුව මොයිස්චරයිසර් ක්‍රීම් වර්ගයක් යොදන්න.

 

ප්‍රවීණ මනාලියන්
ඇන්දවීමේ සහ රූපලාවණ්‍ය
උපදේශිකා
ඉෂාරා කෝරලගේ