හැඩ වැඩ කරන්න වැඩ පටන් ගන්නයි හදන්නේ

අප්‍රේල් 1, 2024

 

රූපලාවණ්‍ය කෙරෙහි උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන්ම වෙන්වූ අනගි අවස්ථාවයි මෙතැන් පටන් දිගහැරෙන්නේ. මේ ලිපි මාලාව රූපලාවණ්‍ය ශිල්පියකු ලෙස තම වෘත්තිය පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන අයට මෙන්ම රූපලාවණ්‍ය කෙරෙහි නොතිත් ආශාවෙන් පෙළෙන ඔබටද වැදගත් වනු ඇති. ඒ අනුව පළමුව දිගහැරෙන්නේ රූපලාවණ්‍ය පාඨමාලාවක් හැදෑරීමේ වැදගත්කමේ සිට රූපලාවණ්‍ය ශිල්පියකු විසින් වැඩි දියුණු කරගත යුතු, ගුණාංග සහ ආකල්ප පිළිබඳ යි.

 

රූපලාවණ්‍ය ශිල්පිනිය

 

රූපලාවණ්‍ය කටයුතුවල නිරත වන තැනැත්තකු හෝ තැනැත්තියක් රූපලාවණ්‍ය ශිල්පියකු ලෙස හැඳින්වේ. මෙම වෘත්තිය තෝරා ගන්නා කෙනකු වඩා කාර්යක්ෂම සහ ප්‍රියමනාප අයකු විය යුතුයි.

මෙහිදී රූපලාවණ්‍ය ශිල්පියකු ලෙස මූලධර්ම නිසි පරිදි හදාරා තිබීමත් තම අත්දැකීම්ද එක්කොට සාර්ථක ලෙස රූපලාවණ්‍ය කටයුතුවල නිරත වීමත් වැදගත් වේ. එහිදී උනන්දුවෙන් හා සුපරික්ෂාවෙන් කටයුතු කිරීමෙන් තම අරමුණු හා අපේක්ෂා සාර්ථක කර ගත හැකි වනු ඇත.

රූපලාවණ්‍ය ශිල්පියකු ලෙස සියලුම අංශ හදාරා තිබුණද අවශ්‍ය නම් එක් අංශයක් පමණක් වුවද ප්‍රගුණ කළ හැකි වේ. එහිදී පහත පරිදි තමන්ගේ කැමැත්ත අනුව එක් අංශයක් වුව තෝරා ගැනීමේ හැකියාව ඇත.

* Beautician (රූපලාවණ්‍ය ශිල්පියකු ලෙස)

* Nail Decorator (නිය අලංකරණ ශිල්පියකු ලෙස)

* Make- up Artist (මුහුණ හැඩගන්වන ශිල්පියකු ලෙස)

* Bridle Dresser (මනාලියන් හැඩගන්වන ශිල්පියකු ලෙස)

රූපලාවණ්‍ය ශිල්පියකු ලෙස රූපලාවණ්‍ය කටයුතුවල යෙදීමේදී මුදල් උපයා ගැනීම පමණක් නොව කායික හා මානසිකව ද තෘප්තියක් ලැබිය යුතුය. එනම් න්‍යායික දැනුම (Theory) පමණක් නොව ප්‍රායෝගිකව ද (Practically) හොඳින් ඉගෙන ගෙන තිබීම වැදගත් වේ.

රූපලාවණ්‍ය පිළිබඳ කෙතරම් දැනුම දියුණු කළ ද තම දේශයට හා සංස්කෘතියට ගැළපෙන පරිදි රූපලාවණ්‍ය කටයුතුවල යෙදීමට රූපලාවණ්‍ය ශිල්පියෙක් කටයුතු කළ යුතු වේ.

 

රූපලාවණ්‍ය ශිල්පියකුගේ පෞරුෂත්වය

 

මෙහිදී රූපලාවණ්‍ය ශිල්පියකුගේ පෞරුෂත්වය ලෙස හඳුන්වන්නේ අනුන් තමන්ව දකින ආකාරයයි. එහිදී ශාරීරික හා මානසික පැවැත්ම උසස් තත්ත්වයකට දියුණු කරගෙන තමන්ගේ ආත්ම ශක්තිය හා ආත්ම විශ්වාසය තහවුරු කර ගැනීම පෞරුෂත්ව වර්ධනයට අත්‍යවශ්‍ය සාධකයකි.

පෞරුෂත්ව වර්ධනය යනු කෙනකු සිතන පතන විදිහ, කෙනකු ලෝකය දකින විදිහ, කෙනකු ලෝකය සමඟ ගනුදෙනු කරන ආකාරය, සිතුම් පැතුම් සහ එය ක්‍රියාවෙන් පෙනෙන ආකාරයත්, අපේ ඇතුළාන්තය සහ අපිව පිටතට ⁣පෙනෙන අන්දම අපි කියන්නේ කවුද? අපිව ලෝකෙට පේන විදිහ කියලා හඳුන්වන්න පුළුවනි.

නිමේෂයකින් සිත් ඇදගන්නා සුලු පැවැත්මක් හා වාතාවරණයක් ඇතිකර ගැනීම රූපලාවණ්‍ය ශිල්පයේ නියැළී සිටින්නන් විසින් කළ යුතු ඉතාම වැදගත් කාර්යයක් වේ. ඔබ වෙත පැමිණෙන සේවාදායකයාගේ සිත් දිනා ගැනීම සඳහා පිරිසුදු නවීන පන්නයේ ආයතනයක් හා පෞරුෂත්වයෙන් යුත් උසස් කාර්යය මණ්ඩලයක් සිටීම වැදගත් වේ.

 

රූපලාවණ්‍ය ශිල්පියකුගේ වගකීම

 

* සේවාදායකයාගේ විශ්වාසය ගොඩනඟා ගැනීමට කටයුතු කිරීම

* සුදුසු පෞරුෂත්වය පෙන්නුම් කිරීම

* ඉහළ ගුණාත්මකභාවය හා පිළිවෙළ පිරිසුදුකම රැක ගැනීම

* නවීන තාක්ෂණික ක්‍රම නිවැරදිව යොදා ගැනීම

* හොඳ මහජන මතයක් ගොඩනඟා ගැනීමට කටයුතු කිරීම

* තම ක්ෂේත්‍රය පිළිබඳ නව දැනුමක් ලබා ගැනීම

* රජයේ නීති මාලාව අනුව ආයතනය පාලනය කිරීම

* අවංකව හා නිහතමානී ලෙස සේවය සැපයීම

* කාර්යක්ෂම ලෙස වේලාවට වැඩ කිරීම

 

ඉදිරිපත් කිරීම:

ප්‍රවීණ මනාලියන් හැඩගැන්වීමේ සහ රූපලාවණ්‍ය පිළිබඳ ශිලපිනී ඉෂාරා කෝරලගේ